සත්වැනි සප්පාණක වග

  1. යම් භික්ෂුවක් දැන දැන සතකු දිවි තොර කෙරේ නම් පචිති වේ.
  2. යම් භික්ෂුවක් දැන දැන ප්‍රාණීන් සහිත වතුර පරිභෝග කෙරේ නම් පචිති වේ.
  3. යම් භික්ෂුවක් විනයානුකූලව සමථය වූ අධිකරණයක් ඒ බව දැන දැන නැවත විනිශ්චය පිණිස අධිකරණයට ගනී ද පචිති වේ.
  4. යම් භික්ෂුවක් දැන දැන භික්ෂුවකගේ සඟවෙසෙස් ඇවතක් සඟවා ද ඕහට පචිති වේ.
  5. යම් භික්ෂුවක් විසිවයසින් අඩු පැවිද්දකු උපසපන් කෙළේ නම් ඔහු ද උපසපන් බවට නො පැමිණේ. සීමාවෙහි භික්ෂූහු ද නින්දා කටයුත්තාහු වෙති. උපාධ්‍යාය භික්ෂුවට පචිති වේ.
  6. යම් භික්ෂුවක් දැන දැන හොර වෙළඳකු සමග සාකච්ඡා කොට දීර්ඝමගකට පිවිසියේ යටත්පිරිසෙයින් ගමකින් අනික් ගමකට හෝ යේ ද ඕහට පචිති වේ.
  7. යම් භික්ෂුවක් ස්ත්‍රියක සමග සාකච්ඡා කොට අදන්මගකට පිළිපන්නේ යටත්පිරිසෙයින් ගමකින් අනිත් ගමකට හෝ යේ ද පචිති වේ.
  8. යම් භික්ෂුවක් “යම් මේ ධර්ම රැසක් භාග්‍යවතුන් වහන්සේ විසින් අන්තරාය කරයයි වදාරණ ලද නමුත් ඒ ධර්මයන් සේවනය කරන්නාහට අන්තරාය පිණිස නො පවතී, ධර්මය අනුව එය මම දනිමි”යි ද කියා නම්, සෙසු භික්ෂූන් ඔහුට මෙසේ කියයුතු වන්නේය. “ඇවැත්නි, එසේ නොකියව. භාග්‍යවතුන් වහන්සේට අභිභවනය නොකරව. භාග්‍යවතුන් වහන්සේට ගැරහීම සුදුසු නොවෙයි. මක්නිසාද, උන්වහන්සේ එසේ නොවදාරණ ලද්දේ ය. එහෙයිනි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ යම් මේ ධර්ම කෙනෙක් අන්තරායකරය’යි වදාරණ ලද නම් ඒ ධර්මයන් සේවනය කරන්නාහට අන්තරාය පිණිස පවත්නේ මය”. මෙසේ පියවි භික්ෂූන් විසින් කියනු ලබද්දීත් යථෝක්ත භික්ෂුව ඒ මතයම ගෙන සිටී නම් තුන්වරක් ම කිය යුතුය. තෙවැනි වර ඒ දෘෂ්ටිය හළේ නම් මැනවි. නො හළේ නම් පචිති වේ.
  9. යම් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේට නුගුණ කියන්නා වූ පැමිණි ඇවතට පිළියම් නො කළා වූ ලාමක දෘෂ්ටීන් අත් නොහළා වූ භික්ෂුවක සමග ධර්මාමිෂ සම්භෝගය පවත්වා ද, උපෝෂථාදි සංඝකර්ම කෙරේ ද, එක ගෙහි හෝ ශයනය කෙරේ ද ඕහට පචිති වේ.
  10. යම් සාමණේරයෙක් “භාග්‍යවතුන් වහන්සේ යම් මේ ධර්ම රැසක් අන්තරායකරය”යි වදාරණ ලද නමුත් ඒ ධර්මයන් සේවනය කරන්නාහට අන්තරාය පිණිස නො පවතී, ධර්මය අනුව එය මම දනිමි’යි කියා නම් භික්ෂූන් විසින් ඔහුට මෙසේ කියයුතු වන්නේය. “සාමණේරය, එසේ නො කියව. උන්වහන්සේට අභිභවනය නො කරව. භාග්‍යවතුන්වහන්සේට ගැරහීම සුදුසු නොවෙයි. මක්නිසාද, උන්වහන්සේ එසේ නොවදාරණ ලද හෙයිනි. එම්බා සාමණේරය, භාග්‍යවතුන් වහන්සේ යම් මේ ධර්‍ම කෙනෙක් අන්තරායකරයයි වදාරණ ලද නම් ඒ ධර්මයන් සේවනය කරන්නාහට අන්තරාය පිණිස පවත්නේ ම ය. මෙසේ භික්ෂූන් විසින් ඔහුට කියනු ලබද්දීත් යථෝක්ත සාමණේර නම ඒ මතයම ගෙන සිටීනම්, නැවත ඒ භික්ෂූන් විසින් අද පටන් තොප ශාස්තෘන් වහන්සේ නොඇදහිය යුත්තේය. දෙතුන් රැයක් වුවද භික්ෂූන් සමග නොවිසිය යුත්තේ ය. එහෙයිනි කැමති තැනක යව’යි කියයුතු වන්නේය. යම් භික්ෂුවක් ඒ බව දැන දැනත් නෙරපන ලද එබඳු සාමණේරයකු නළවා ද, උවටැන් කරවා ගනී ද, සම්භෝගය පවත්වා ද, එක ගෙයි ශයනය හෝ කෙරේ ද ඕහට පචිති වේ.

සත්වැනි සප්පාණක වගයි.