ආචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ විසිනි.
මහා කාරුණික වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් තමන් වහන්සේ ගේ ශ්‍රාවක වූ භික්ෂු භික්ෂුණීන් හට පරූපවාද විරහිත ව, ජනප්‍රසාදය ඇතිව, සුවසේ ජීවත් විය හැකි වනු පිණිස හා අපායදුඃඛයෙන් මිදිය හැකි වනු පිණිස ද, ධ්‍යානාභිඥා මාර්ගඵල සංඛ්‍යාත උත්තරීමනුෂ්‍ය ධර්මයන් ඇති කරගත හැකි වනු සඳහා ද, පරූපවාදාදියට හේතුවන දෙයින් මුදවා භික්ෂු භික්ෂුණීන් ආරක්ෂා කරනු පිණිස පනවා වදාළ බොහෝ නීති ඇත්තේ ය. ඒවාට සසුන සිකපදයයි ද කියනු ලැබේ. බුදුන් වහන්සේ ගේ පිරිනිවීමෙන් පසු චිර කාලයක් සසුන පවතින්නට සැලැස්වීමත් සිකපද පැනවීමේ එක් කරුණෙකි. ඇතැම් බුදුවරයෝ ශ්‍රාවකයනට සිකපද පනවති. ඇතැම් බුදුවරයෝ සිකපද නො පනවති. සිකපද නො පනවන්නා වූ බුදුවරුන් ගේ සසුන් ඒ බුදුවරයන් ගේ හා බුද්ධානුබුද්‍ධ ශ්‍රාවකයන්ගේ ද පිරිනිවීමෙන් පසු නොබෝ කලකින් අතුරුදහන් වේ.
සිකපද පනවන්නා වූ බුදුවරයන් ගේ සසුන් බොහෝ කල් පවතී. ශ්‍රාවකයනට සික පද නො පැන වූ විපස්සී, සිඛී, වෙස්සභූ යන අතීත බුදුවරයන් වහන්සේලාගේ ශාසනයන් වැඩිකල් නො පැවති බවත්, ශ්‍රාවකයනට සිකපද පැන වූ කකුසඳ, කෝණාගම, කස්සප යන බුදුවරයන් වහන්සේලාගේ සසුන් ඒ නිසා බොහෝ කල් පැවති බවත් අප බුදු රජාණන් වහන්සේ විසින් සැරියුත් මහ තෙරුන් වහන්සේට වදාරන ලද්දේ ය.
පැවිදි කිරීම සහ උපසම්පදා කිරීම සම්බන්ධයෙන් ඇත්තා වූ විනය නීති ටිකම බුදුසස්නට මහත් ආරක්ෂාවෙකි. ඒ ටික නොමැති නම් කැමති කැමති අය සිවුරු හැඳ පොරවා ගෙන භික්ෂූන් සැටියට පෙනී සිටිමින් බුදුසස්න විනාශ කරන්නාහු ය. පසුගිය කාලයේ ‘තාපස භික්ෂූහුය’යි කියමින් රට පුරා හැසුරුණු පිරිසට බුදුසසුනට ඇතුළු වන්නට ඉඩ නො ලැබුණේ ද ඒ නීති රැස නිසා ම ය. ඔවුනට මේ බුදුසස්නට ඇතුළු වන්නට ලැබුණා නම් මහා ශාසන හානියක් වනු නො අනුමාන ය.
ලෝකයෙහි භික්ෂු පිරිස තරම් නීති ඇති නීති ගරුක තවත් පිරිසක් නැතය යි කිය යුතුය. භික්ෂූන් වහන්සේට විනය නීති නැත්තේ ආශ්වාස ප්‍රශ්වාස දෙක ගැන, ඇසිපිය හෙලීම ගැන පමණය යි කිය යුතුය. හිඳගැනීම නිදා ගැනීම ගමන් කිරීම සිවුරු පිණිස වස්ත්‍ර සැපයීම සිවුරු කැපීම මැසීම පඬු පෙවීම හැඳීම පෙරවීම අතිරේක සිවුරු ලබා ගැනීම දීම ගැනීම පරණ සිවුරු සේදීම පාත්‍රය පිළියෙල කිරීම පාත්‍ර තබා ගැනීම පාත්‍රය පරිභෝග කිරීම පිඬුසිඟා යෑම අහර පිළිගැනීම වැළඳීම අනුන්ට දීම සෙනසුන් පිළියෙල කිරීම සෙනසුන් පරිභෝග කිරීම බෙහෙත් සැපයීම පිළිගැනීම පිළිගත් බෙහෙත් තබා ගැනීම බෙහෙත් වැළඳීම පාවහන් කුඩා භාජනාදි වස්තූන් පරිභෝග කිරීම දත් මැදීම මුවදෙවීම අත්පා සේදීම වතුර නෑම කෙල ගැසීම, මලමුත්‍ර කිරීම හිසකේ කැපීම රැවුල කැපීම කථා කිරීම ස්ත්‍රීන් ඇසුරු කිරීම දහම් දෙසීම ගමෙහි හැසිරීම රජුන් ඇසුරු කිරීම ගුරුන් ඇසුරු කිරීම ගෝලයන් තැනීම ආගන්තුකයන් කෙරෙහි පිළිපැදීම තමන් ආගන්තුකයකු වශයෙන් අන්තැනකට ගිය කල්හි හැසිරීම පැවිදිකිරීම උපසම්පදා කිරීම සඟසතු දේ පරිහරණය කිරීම යනාදි නොයෙක් කරුණු ගැන භික්ෂූන්ට සිකපද ඇත්තේය. භික්ෂු පිරිස සම්පූර්ණයෙන් ම ගිහියන්ගෙන් වෙනස් පිරිසක් වන්නේ ඒ සිකපද සමූහය නිසා ය.
බුදුරජාණන් වහන්සේ විසින් පනවා ඇති බොහෝ සිකපදයන් අතුරෙන් භික්ෂූන් විසින් පොහෝ දිනයන්හි මසකට දෙවරක් සීමාවකට රැස්ව පොහෝ කිරීම් වශයෙන් එක් භික්ෂුවක් විසින් සඟමැද හිඳ උදෙසීමටත් (කීමටත්) අන්‍ය භික්ෂූන් විසින් අසාගෙන සිටීමටත් නියමිත ප්‍රධාන සිකපද සමූහය “භික්ඛු පාතිමොක්ඛ” නම් වේ. භික්ෂුණීන්හට පොහෝ කිරීම් වශයෙන් භාවිතයට නියමිත ප්‍රධාන සිකපද සමූහය “භික්ඛුණී පාතිමොක්ඛ” නම් වේ.
එයින් භික්ඛු පාතිමොක්ඛය නිදානුද්දේස, පාරාජිකුද්දේස, සංඝාදිසේසුද්දේස, අනියතුද්දේස, විත්ථාරුද්දේස යන උද්දේස පසකින් හා සික පද (220) දෙසිය විස්සකින් ද යුක්තය. භික්ඛුණී පාතිමොක්ඛය අනියතුද්දේසය හැර ඉතිරි උද්දේස සතරින් යුක්තය.
පාතිමොක්ඛ නම් වූ මේ ග්‍රන්ථය සියලු ම භික්ෂූන් විසින් විනිශ්චය සහිතව ඉතා හොඳින් උගත යුත්තකි. භික්ෂූන්ට සැම කල්හි ම පාඩම් තිබිය යුත්තකි. එබැවින් බුරුමයේ බොහෝ සංඝාරාමවල වස්කාලය තුළදී වර්ෂයක් පාසා ම නවක මධ්‍යම ස්ථවිර සකල භික්ෂූන්ගෙන් ම ප්‍රාතිමෝක්ෂය පාඩම් ගනිති. දිනපතා සවස තුනුරුවන් වැඳීමෙන් පසු සැමදෙනා ම එක්ව ප්‍රාතිමෝක්ෂයෙන් යම්කිසි කොටසක් සජ්ඣායනා කිරීම ද එරට බොහෝ පන්සල්වල පවත්වන චාරිත්‍රයෙකි.
විනය පිටකයට අයත් පොත් පස අතුරෙන් පාරාජිකා පාලිය පාචිත්තිය පාලිය යන පොත් දෙකෙහි ඇත්තේ ප්‍රාතිමෝක්ෂයට අයත් සිකපද වල විස්තරයකි. ඒ විස්තරයට මේ සිකපද සමූහය මාතෘකා වන බැවින් ප්‍රාතිමෝක්ෂයට මාතිකා පාලිය යයි ද කියනු ලැබේ.
පාතිමොක්ඛ යන වචනය මේ ග්‍රන්ථයට පමණක් නොව ඒ සිකපද රක්නා වූ භික්ෂුවගේ ශීලයට ද නමෙකි. පාතිමොක්ඛ යන වචනයේ තේරුම “පාතිමොක්ඛන්ති-ප අති මොක්ඛං අතිපමොක්ඛං, අතිසෙට්ඨං, අති උත්තමන්ති අත්ථො” යි කඞ්ඛාවිතරණී අටුවාවෙහි දැක්වෙන පරිදි ඉතා උතුම් දෙය ය යනුයි. මේ ශීලය බිඳුන හොත් භික්ෂුත්වය ද නැතිවන බැවින් භික්ෂුවගේ ඉතා උතුම් දෙය ප්‍රාතිමෝක්ෂ සංවර ශීල නම් වූ ඒ ශීලයය. ඒ ශීලය ඉතා උතුම් වීමෙන් එයට අයත් සිකපද සමූහය වූ මේ ග්‍රන්ථය ද ඉතා උතුම් වේ. ඉතා උතුම් දෙය වූ මේ ප්‍රාතිමෝක්ෂය පොතක් වශයෙන් මුද්‍රණයට පැමිණවිය යුත්තේ ද ඉතා උතුම් ලෙසට ය.
රන් රිදී පත්වල වුවද ලියා තැබීමට සුදුසු මේ පොත ඇතමුන් විසින් බාල කඩදාසිවල අශෝභන ලෙස මුද්‍රණය කරවීමෙන් ද, හරි වැරදි බැලීම පවා සැලකිල්ලෙන් නො කොට ඉතා අපිරිසිදු ලෙස මුද්‍රණය කරවීමෙන් ද සිදුකර තිබෙන්නේ විනය ශික්ෂාකාමීන්ගේ සිත් කම්පා කරවන අපරාධයෙකි. ගොඩිගමුවේ සෝරත, පණ්ඩිත කණදුල්ලේ රතනරංසි යන ස්ථවිරවරුන් විසින් බුරුම සංගායනාවෙන් ශුද්ධියට පැමිණ වූ පොත් අනුව සංශෝධනය කොට සුගම අනුවාදයකින් ද යුක්ත කොට ශෝභන ලෙස මේ උතුම් පොතට නිසි ගෞරවය දී මුද්‍රණයට පැමිණවීමෙන් කර තිබෙන්නේ බුදුසස්නට ඉමහත් සේවයකි. මෙය විනයගරුකයන්ගේ ප්‍රීතියට ද හේතු වනු ඇත.
මීට, ශාසනස්ථිතිකාමී, රේරුකානේ චන්දවිමල ස්ථවිර.