- යම් භික්ෂුවක් පියවි භික්ෂුවක විසින් විනයානුකූලව අවවාද කරනු ලබන කල්හි ඇවැත්නි, මම අනිත් ව්‍යක්ත විනයධරයකු අතින් නො විචාරා මේ ශික්ෂාපදයෙහි ලා නොහික්මෙන්නෙමි’ යි කියා නම් පචිති වේ. හික්මීම කැමති භික්ෂුව විසින් වස්තු නිදානාදිය දතයුතුය. පිළිවිසය යුතුය. ප්‍රශ්න කටයුත්තේය. මේ එහි ලා පිළිපැදිය යුතු වතයි.
- යම් භික්ෂුවක් පාමොක් උදෙසන විට “(ඇවැත්නි,) මේ කුඩා වූද ඉතා කුඩා වූද සිකපද උදෙසීමෙන් කවර වැඩක්ද? හුදෙක් ඒවා කුකුස පිණිසත්, වෙහෙසීම හෝ මනෝවිලේඛය හෙවත් සිත කීරි ගැසීම පිණිසත් පවත්නේ ය. එහෙයිනි”යි කියා නම් සිකපදයන්ට නින්දා කිරීමෙහි පචිති වේ.
- යම් භික්ෂුවක් අඩමසක් පාසා පාමොක් උසුරුවනු ලබන කල්හිත්, “ඇවැත්නි, මේ විනය කොටස් පෙළෙහි ආයේලු, පෙළට ඇතුළත්ලු, සෑම අඩමසකට වරක් උදෙසාලු, එහෙත් මා දැන ගත්තේ දැන්මය’යි කියා නම්, සීමස්ථ භික්ෂූන් විසින් එබඳු භික්ෂුවක් දෙතුන් වරෙක දක්නා ලද්දේ නම් ඕහට ඒ නොදැනීම පමණකින් නිදහස් වීමක් නොවේ. ඒ භික්ෂුව එම වරදෙහි ලා යම් ඇවතකට පැමිණියේ නම් ඊට සුදුසු දඬුවම් කරවිය යුතුය. එසේම ඇවැත්නි, පාමොක් උදෙසන විට ඔබ අර්ථ වශයෙන් මෙනෙහි නො කරන්නෙහිය. එය ඔබට අලාභයකි. මිනිසත් බව දුලබ යයි ඕහට මෝහාරෝපන කර්මය කරවිය යුත්තේය. නැවතත් මුළාවෙන් දොඩන භික්ෂුවට පචිති වේ.
- යම් භික්ෂුවක් කුපිතව නො සතුටු සිත් ඇතිව වෙනත් භික්ෂුවකට පහර දේ නම් පචිති වේ.
- යම් භික්ෂුවක් කුපිතව නො සතුටු සිත් ඇතිව වෙනත් භික්ෂුවකට පහර දීමේ අදහසින් අත් පා ඔසවා ද පචිති වේ.
- යම් භික්ෂුවක් හේතු රහිත වූ සඟවෙසෙස් ඇවතකින් භික්ෂුවකට චෝදනා කෙරේ නම් පචිති වේ.
- යම් භික්ෂුවක් “මොහොතකට හෝ මොහුට කරදරයක් ඇති කරන්නෙමි’යි” සිතා අනිත් කාරණයක් නැතිව ම කුකුස් උපදවා නම් පචිති වේ.
- යම් භික්ෂුවක් දබර කරන, කෝළාහල කරන, විවාදයට බැසගත් භික්ෂූන්ගේ කථාබස් අසමි’යි සිතා ඔවුන්ගේ කථා ඇසෙන දුර ප්‍රමාණයේ අනිත් කාරණයක් නැතිව ම සිටී නම් පචිති වේ.
- යම් භික්ෂුවක් අපලෝකනාදි විනය කර්‍මයන්ට ඡන්දය දී පසුව දොස් කියා ද පචිති වේ.
- යම් භික්ෂුවක් සංඝයා පිළිබඳ වූ විනිශ්චයක් පැවැත්වෙද්දී ඡන්දය නො දී හුනස්නෙන් නැගී යේ ද ඕහට පචිති ඇවැත් වේ.
- යම් භික්ෂුවක් සමඟි සංඝයා සමග භික්ෂුවකට සිවුරක් දී පසුව සංඝික ලාභය විශ්වාසයන්ට (හිතවතුන්ට) පිරිනමන්නේය’යි දොස් කියා ද පචිති වේ.
- යම් භික්ෂුවක් දැන දැන සඟසතු දැය පුද්ගලයකුට පවරා ද පචිති වේ.
අටවැනි සහධම්මික වගයි.