තිස් නිසඟි පචිති ඇවැත්


ආර්‍ය්‍යාවරුනි, අනතුරුව තිස් නිසඟි පචිති ඇවැත් උදෙසනු ලැබේ.

  1. යම් භික්ෂුණියක් අධිෂ්ඨානයට ප්‍ර‍මාණවත් අතිරේක පාත්‍ර‍යක් තබා ගනී නම් නිසඟි පචිති ඇවැත් වේ.
  2. යම් භික්ෂුණියක් නො කල්හි ලැබුණු සිවුරක් කාලචීවරයකැ’යි සිතා බෙදවා නම් නිසඟි පචිති වේ.
  3. යම් භික්ෂුණියක් වෙනත් භික්ෂුණියක සමග සිවුරකින් සිවුරක් මාරුකරගෙන පසුව ඔබේ සිවුර ඔබ ම ගනුව. මගේ සිවුර මට දෙවයි තමා සතු සිවුර ආපසු ගනී නම් අනිකකු ලවා හෝ ගන්වා නම් ඇයට නිසඟි පචිති වේ.
  4. යම් භික්ෂුණියක් යම්කිසි දෙයක් ඉල්වා (එය නො පොහොනා බැවින්) නැවතත් අනිකකුගෙන් ඉල්ලා නම් නිසඟි පචිති වේ.
  5. යම් භික්ෂුණියක් අනිකක් හඟවා අනිකක් ගන්නී නම් නිසඟි පචිති වේ.
  6. යම් භික්ෂුණියක් අනිකක් සඳහා පුදන ලද සඟසතු පිරිකරකින් අනිකක් ගනී ද නිසඟි පචිති වේ.
  7. යම් භික්ෂුණියක් අනිකක් සඳහා පුදන ලද තමා ඉල්වාගත් සඟසතු පිරිකරකින් අනිකක් ඉල්ලා ගනී ද නිසඟි පචිති වේ.
  8. යම් භික්ෂුණියක් අනිකක් සඳහා පුදන ලද තමා ඉල්ලා ගත් ගණයාට අයිති වූ පිරිකරකින් අනිකක් ඉල්ලා ගනී ද නිසඟි පචිති වේ.
  9. යම් භික්ෂුණියක් අනිකක් සඳහා පුදන ලද ගණයාට අයත් වූ තමා ඉල්ලා ගත් පිරිකරකින් අනිකක් ගනී ද නිසඟි පචිති වේ.
  10. යම් භික්ෂුණියක් අනිකක් සඳහා පුදන ලද පුද්ගලයකුට අයත්වූ තමා ඉල්ලාගත් පිරිකරකින් අනිකක් ගනී ද නිසඟි පචිති වේ.

පළමුවැනි පත්ත වගයි.

  1. ශීත කාලයෙහි පෙරවිය යුතු බර පොරෝණයක් ඉල්ලන භික්ෂුණිය විසින් උපරිමය සොළොස් කහවණුවක් වටිනා පොරෝණයක් ඉල්ලිය යුතුය. ඊට වඩා වටිනාකම් ඇති පොරෝණයක් ඉල්ලන භික්ෂුණියට නිසඟි පචිති වේ.
  2. උෂ්ණ කාලයෙහි පෙරවියයුතු සැහැල්ලු පොරෝණයක් ඉල්ලන භික්ෂුණිය විසින් උපරිමය කහවණු දහයක් වටිනා පොරෝණයක් ඉල්ලිය යුතුය. ඊට වඩා වටිනාකම් ඇති පොරෝණයක් ඉල්ලන භික්ෂුණියට නිසඟි පචිති වේ.

(3, 4, 5, 6, 7, 8, 9, 10 වැනි නිසඟි පචිති භික්ෂු ප්‍රාතිමෝක්ෂයෙහි දැක්වූ අයුරුයි.)

දෙවැනි චීවර වගයි.

(තෙවැනි ජාතරූප වග ද භික්ෂු ප්‍රාතිමෝක්ෂයෙහි දැක්වූ අයුරුයි.)

ආර්‍ය්‍යාවරුනි, තිස් නිසඟි පචිති ඇවැත් උදෙසන ලදී. එහි ලා ඔබ අතින් විචාරමි. කෙසේද පිරිසිදු ද? දෙවැනි වර ද විචාරමි. කෙසේද පිරිසුදු ද? තෙවැනි වර ද විචාරමි. කෙසේද පිරිසුදු ද? මේ තිස් නිසඟි පචිති ඇවැත්හි ලා ආර්‍ය්‍යාවරු පිරිසුදු වූවහුය. නිශ්ශබ්දවීම පිරිසුදු බව කොට සලකම් ද එහෙයිනි.

නිසඟි පචිති යි.