සිව්වැනි බොජුන් වග

  1. නොගිලන් භික්ෂුව විසින් ආගන්තුකාදීන් සඳහා ශාලාවක එළවූ දානය22 එක් දිනක් ම අනුභව කළ යුතුය. ඉන් මත්තෙහි අනුභව කරන්නා හට පචිති වේ.
  2. නුසුදුසු කාලයෙහි ගණභෝජනය23 පිළිගන්නා වූ භික්ෂුවට පචිති වේ. ගිලන් කාලය, සිවුරු දෙන කාලය, සිවුරු කරවන කාලය, දීර්ඝ ගමනකට පිළිපන් කාලය, නැව් නඟින කාලය, බොහෝ භික්ෂූන් රැස්වන කාලය හා භික්ෂූන්ට දන්දෙන කාලය ද ගණ භෝජනයෙහි ලා සුදුසුය.
  3. ගිලන් කාලය, සිවුරු දෙන කාලය, හා සිවුරු කරවන කාලය හැර පරම්පර භෝජනය24 පිළිගත් භික්ෂුවට පචිති වේ.
  4. ගෙදරකට පැමිණි භික්ෂුවකට (ගෙහිමියන් විසින්) කැවුම් හෝ අග්ගලා වලින් හෝ පවරණ ලද නම් එය කැමතිවන ඔහු විසින් දෙතුන් පාත්‍ර‍යක් පුරා පිළිගත හැකිය. ඉන් මත්තෙහි පිළිගන්නාහට පචිති වේ. දෙතුන් පාත්‍ර‍යක් පුරාගත් භික්ෂුව එය ගෙනගොස් භික්ෂූන් සමග බෙදා වැළඳිය යුතුය. මේ ඒ පිළිබඳ පිළිවෙතයි.
  5. යම් භික්ෂුවක් වැළඳූයේ, භෝජනය ද පවාරණය කරන ලද්දේ25 විනයානුකූලව ඉතිරි කර නොගත් කෑයුතු හෝ බුදියයුතු දැයක් අනුභව කෙරේ නම් පචිති වේ.
  6. යම් භික්ෂුවක් චෝදනා කරන අදහස ඇතිව වැළඳූ භෝජනය ද පවාරණය කළ භික්ෂුවකට ඒ බව දැන දැනත් විනයානුකූලව ඉතිරිකර නොගත් කෑයුතු බුදියයුතු දෙයින් පවරා ද, මෙය අනුභව කරවයි කියාද (ඒ ඇදහූ) භික්ෂුව වැළඳූ කෙණෙහි පචිති වේ.
  7. යම් භික්ෂුවක් කෑයුතු බුදියයුතු දැයක් විකාලයෙහි අනුභව කරන්නේ ද පචිති වේ.
  8. යම් භික්ෂුවක් සන්නිධි කොට26 තැබූ කෑයුතු බුදියයුතු දැයක් අනුභව කෙරේ නම් පචිති වේ.
  9. නොගිලන් භික්ෂුවක් ගිතෙල්, මී, වෙඬරු, උක්සකුරු, තලතෙල් යන පස් බෙහෙත් ද දියගොඩ මස්, කිරි හා දී ආදි ප්‍ර‍ණීත ආහාර ද තමන් සඳහා ඉල්ලාගෙන වළඳා නම් පචිති වේ.
  10. යම් භික්ෂුවක් දැහැටි පැන් හැර (කිසිවකු විසින්) නො පිළිගැන්වූ අහරක් වළඳා නම් පචිති වේ.

සිව්වැනි බොජුන් වගයි.