දෙවැනි එළුලොම් වග

  1. යම් භික්ෂුවක් කොසෙය්‍ය නූල් මිශ්‍ර‍ කිරීමෙන් එළුලොම් ඇතිරියක් කරවන්නේ නම් (ඕහට) නිසඟි පචිති වේ.
  2. යම් භික්ෂුවක් හුදු කළු එළුලොම් වලින් ඇතිරියක් කරවන්නේ නම් (ඕහට) නිසඟි පචිති වේ.
  3. අළුත් ඇතිරියක් කරවන භික්ෂුව විසින් (ඊට අවශ්‍ය ප්‍ර‍මාණයෙන්) දෙකොටසක් කළු එළු ලොම් ද තුන්වැනි කොටස සුදු එළු ලොම් හා සිව්වැනි කොටස පඬුවන් එළු ලොම් ද ගත යුතුය. මේ නියමය ඉක්මවා අළුත් ඇතිරියක් කරවන්නේ නම් (ඕහට) නිසඟි පචිති වේ.
  4. අළුත් ඇතිරියක් කරවූ භික්ෂුව විසින් එය සය අවුරුද්දක් පාවිච්චි කළ යුතුය. ඉදින් ඒ ඇතිරිය කිසිවකුට දී හෝ නොදී හෝ සංඝයා ගේ කැමැත්තක් නැතිව ඉන් මෙපිට නැවත අළුත් ඇතිරියක් කරවන භික්ෂුවට නිසඟි පචිති වේ.
  5. හිඳගැනීම සඳහා අළුත් ඇතිරියක් කරවන භික්ෂුව විසින් එය දුර්වර්ණ කිරීම පිණිස පරණ ඇතිරියෙන් සුගත් වියතක් පමණ කොටසක් කපාගත යුතුය. මෙසේ පරණ ඇතිරියෙන් කොටසක් නොයොදා අළුත් ඇතිරියක් කරවන භික්ෂුවට නිසඟි පචිති වේ.
  6. මඟට පිළිපන් භික්ෂුවකට එළුලොම් ලැබේ යයි (සිතමු.). කැමති නම් එය පිළිගත හැකිය. ගෙනයාමට කැපකරුවකු ද නැති නම් තුන් යොදුනක සිය අතින් ම ගෙනගිය හැකිය. කැපකරුවකු නැතිව එය ඉක්මවා සියතින් ම එළුලොම් ගෙනයන භික්ෂුවට නිසඟි පචිති වේ.
  7. යම් භික්ෂුවක් නොනෑ වූ භික්ෂුණියක ලවා එළුලොම් සෝදවා නම් සායම් කරවා නම්, හෝ අවුල් හරවා නම් (ඕහට) නිසඟි පචිති වේ.
  8. යම් භික්ෂුවක් රන්රිදී ගනී ද, අනිකකු ලවා ගන්වාද, ගෙනැවිත් තබන ලද්දක් හෝ සිතින් ඉවසා ද, (ඕහට) නිසඟි පචිති වේ.
  9. යම් භික්ෂුවක් නොයෙක් අයුරින් රන් රිදී කහවනු ගනුදෙනු කෙරේ නම් (ඕහට) නිසඟි පචිති වේ.
  10. යම් භික්ෂුවක් පා සිවුරු ආදී අනිකුත් දැයින් නොයෙක් ගනුදෙනු කෙරේ නම් (ඕහට) නිසඟි පචිති වේ.

දෙවැනි එළුලොම් වගයි.