නමො භගවතො සම්බුද්ධස්ස
ධුතාඞ්ග පරිහරණයෙන් අල්පේච්ඡතාදි ගුණ ලැබෙන්නේ ය. අල්පේච්ඡතාදි ගුණයෙන් ශීලය ඔප වැටෙන්නේ ය. යට දැක්වුනු ධුතාඞ්ග පරිහරණයෙන් ලත් අල්පෙච්ඡතාදි ගුණයෙන් ඔප ලා ගත් ශීලයෙන් යුක්ත භික්‍ෂු විසින් මතු කුමක් කළ යුතු ද “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤංච භාවයං” යි චිත්ත ශීර්‍ෂයෙන් වදාළ සමාධි වැඩිය යුතු ය. “චිත්තං භාවයං” යි ගාථායෙහි ඒ සඳහා වදාළ දේශනාව ඉතා සංක්‍ෂිප්ත ය. එයින් සමාධි වඩනු තබා ඒ දැනගැන්ම පවා දුෂ්කර ය. එබැවින් ඒ සමාධි පිළිබඳ විස්තරය ද, වඩන ක්‍රමය ද, ප්‍රශ්නෝත්තර වශයෙන් මෙහි දක්වනු ලැබේ.
ප්‍රශ්න මෙසේ ය.
1. සමාධි නම් කිම
2. කවර අර්‍ථයකින් සමාධිය යි කියනු ලැබේ ද
3. සමාධි පිළිබඳ ලක්‍ෂණ - රස-පච්චුපට්ඨාන - පදටඨාන කවරේද
4. සමාධි කී වැදෑරුම් ද
5. සමාධියෙහි කිලිටි බව කිමෙක් ද
6. සමාධියෙහි පිරිසිදු බව කිමෙක් ද
7. සමාධි වැඩිය යුතු කෙසේ ද
8. සමාධි භාවනායෙහි ආනිසංස කවරේ ද
උත්තර මෙසේ ය.
1. සමාධි නම් කිම
සමාධි නානාවිධ ය. ඒ සියල්ල විසඳන්නට ගියහොත් මෙහි අභිප්‍රේතාර්‍ථය සිද්ධ නො වන්නේ ය. මතු වික්‍ෂේප පිණිස ද වන්නේ ය. එබැවින් මෙහි ලා අදහස් කරනු ලබන අර්‍ථය පමණක් කියමි. ‘සමාධි නම් කුසල් සිත් පිළිබඳ ඒකාග්‍රතාව යි.’
2. කවර අර්‍ථයකින් සමාධිය යි කියනු ලැබේ ද
සමාධානාර්‍ථයෙන් සමාධිය යි කියනු ලැබේ. සමාධාන නම් කිම? චිත්ත - චෛතසිකයන් ඔබ මොබ විසිර යා නොදී මනා කොටැ - අවික්‍ෂේප වශයෙන් එක අරමුණෙහි පිහිටුවා ලීම ය. එ බැවින් යම් ධර්‍මයෙක බලයෙන් චිත්ත-චෛතසික එක අරමුණෙහි සම වැ - මනා වැ - අවික්‍ෂේප වැ - අවිප්‍රකිර්‍ණ වැ පවත්නේ ද ඒ ධර්‍මය මෙහි සමාදානය යි කී නියා දත යුතු.
3. සමාධි පිළිබඳ ලක්‍ෂණ-රස-පච්චුපට්ඨාන-පදට්ඨාන කවරේද
සමාධියෙහි ලක්‍ෂණය අවික්‍ෂේපය යි හෙවත් නානා ලම්බනයෙහි නො විසිරෙන බවයි. (ලක්‍ෂණ නම් සාමාන්‍ය ස්වභාවය. “ධම්මානං සාමඤ්ඤ සභාවො ලක්ඛණං”) රසය වික්‍ෂේප විධ්වංසනය යි හෙවත් නො සන්සුන් බව නැති කිරීම යි. (රස නම් කෘත්‍ය හෝ සම්පත්තිය. “කිච්චසම්පත්තියොරසො”) පච්චුපට්ඨානය අවිකම්පනය යි. හෙවත් උද්ධච්ච හේතුයෙන් කම්පා නැති බවයි. (පච්චුපට්ඨාන නම් වැටහෙන ආකාරය හෝ ඵලය “උපට්ඨානා කාරො ඵලං ච පච්චුපට්ඨානා”) “සුඛිනො චිත්තං සමාධියති”[1] යනු වදාළ හෙයින් සුඛය පදට්ඨානය යි. (පදට්ඨාන නම් ආසන්න කාරණය යි. හෙවත් හේතුව යි. “කාරණං යං සමාසත්තං පදට්ඨානංති තං මතං”).
4. සමාධි කී වැදෑරුම් ද
අවික්‍ෂේප ලක්‍ෂණයෙන් සමාධි එක් වැදෑරුමි. උපචාර සමාධි අර්පණා සමාධි වශයෙන් ද, ලෞකික සමාධි, ලොකොත්තර සමාධි වශයෙන්ද, සප්පීතිකසමාධි, නිප්පීතිකසමාධි වශයෙන් ද, සුඛසහගත සමාධි, උපෙක්ඛාසහගත සමාධි වශයෙන් ද දෙවැදෑරුම් වේ.
හීනසමාධි, මධ්‍යමසමාධි, ප්‍රණිතසමාධි වශයෙන් ද, සචිතක්කසවිචාරසමාධි, අවිතක්කවිචාරමත්තසමාධි, අවිතක්කඅවිචාරසමාධි වශයෙන් ද, පීතිසහගත සමාධි, සුඛසහගත සමාධි, උපෙක්ඛාසහගත සමාධි වශයෙන් ද, පරිත්තසමාධි, මහග්ගතසමාධි, අප්පමාණ සමාධි වශයෙන් ද තෙවැදෑරුම් වේ.
දුක්ඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදාඛිප්පාභිඤ්ඤා, සුඛාපටිපදාදන්‍ධාභිඤ්ඤා, සුඛාපටිපදාඛිප්පාභිඤ්ඤා වශයෙන් ද, පරිත්තපරිත්තාරම්මණ, පරිත්තඅප්පමාණා-රම්මණ, අප්පමාණපරිත්තාරම්මණ, අප්පමාණඅප්පමාණාරම්මණ වශයෙන් ද, චතුර්‍ධ්‍යානාඞ්ග වශයෙන් ද, හානභාගිය, ඨිතිභාගිය, විසේසභාගිය, නිබේබධභාගිය වශයෙන් ද, කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න වශයෙන් ද, ඡන්‍ද, චිත්ත, විරිය, විමංසා වශයෙන් ද සිව්වැදෑරුම් වේ.
පඤ්චධ්‍යානාඞ්ග වශයෙන් පස් වැදෑරුම් වේ. මේ සියල්ල පිළිබඳ විශේෂ විභාග මතු දක්වනු ලැබේ. එයිනුදු අවික්‍ෂේප ලක්‍ෂණයෙන් සමාධි එක්වැදෑරුම්ය යි කී අර්‍ථය සුගම ය. විශේෂයෙන් වර්‍ණනා කළ යුත්තෙක් නැත.
ප්‍රථම ද්විකය.
අපචාරසමාධි හා අර්පණාසමාධි
බුද්ධානුස්සති, ධම්මානුස්සති, සඞ්ඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණසති, ආහාරෙ පටික්කූලසඤ්ඤ, චතුධාතු වවත්‍ථාන යන දශකර්‍ම ස්ථානයන් ගේ වශයෙන් ලැබෙන එකග්ගතාව ද, අර්පණා සමාධියට පූර්‍වභාගයෙහි ලැබෙන එකග්ගතාව ද උපචාර සමාධි නම් වේ. “පඨමස්ස ඣානස්ස පරිකම්මං පඨමස්ස ඣානස්ස අනන්තර පච්චයෙන පච්චයො”[2] ප්‍රථම ධ්‍යානයාගේ පරිකර්‍මය ප්‍රථම ධ්‍යානයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. යනාදීන් වදා බැවින් ගෝත්‍රභූ සංඛ්‍යාත පරිකර්‍මයට අනතුරු වැ ලැබෙන එකාග්‍රතාව අර්පණා සමාධි නම් වේ. (මේ පිළිබඳ විස්තරය මතු පළ වේ.)
ද්විතීය ද්විකය
ලෞකිකසමාධි හා ලෝකෝත්තරසමාධි
කාම, රූප, අරූප යන භූමිත්‍රයෙහි කුසල චිත්ත එකග්ගතාව ලෞකික සමාධි ය. ආර්‍ය්‍ය මාර්‍ග සම්ප්‍රයුක්ත වූ එකග්ගතාව ලෝකෝත්තර සමාධි යි. (ආර්‍ය්‍ය මාර්‍ග නම් සෝවාන් ආදිය යි.)
තෘතීය ද්විකය
සප්පීතිකසමාධි හා නිප්පීතිකසමාධි
චතුෂ්කනය වශයෙන් ප්‍රථම - ද්විතීය ධ්‍යාන දෙක්හි ද, පඤ්චකනය වශයෙන් ප්‍රථම - ද්විතීය - තෘතීය ධ්‍යාන තුනෙහි ද, පවත්නා එකග්ගතාව සප්පීතිය සමාධි ය. චතුෂ්කනය වශයෙන් තෘතීය-චතුර්‍ථ ධ්‍යාන දෙක්හි ද පඤ්චකනය වශයෙන් චතුර්‍ථපඤ්චම ධ්‍යාන දෙක්හි ද පවත්නා සමාධි නිප්පීතික සමාධි යි. උපචාර සමාධි වනාහි සප්පීතික ද නිප්පීතික ද වන්නේ ය.
චතුර්ථ ද්විකය.
සුඛසහගත හා උපෙක්ඛාසහගත සමාධි
චතුෂ්කනය වශයෙන් ප්‍රථම-ද්විතීය-තෘතීය-ධ්‍යානයන්හි ද, පඤ්චකනය වශයෙන් ප්‍රථම-ද්විතීය-තෘතීය-චතුර්‍ථ ධ්‍යානයන්හි ද, එකග්ගතාව සුඛසහගත සමාධිය චතුෂ්කනය වශයෙන් චතුර්‍ථ ධ්‍යානයෙහි ද පඤ්චකනය වශයෙන් පඤ්චම ධ්‍යානයෙහි ද, ඒකග්ගතාව සුඛසහගත සමාධි යි. උපචාර සමාධි වනාහි සුඛ සහගත ද උපේක්‍ෂාසහගත ද වන්නේ ය.
ප්‍රථම ත්‍රිකය
හීන, මද්‍ධ්‍යම, ප්‍රණීත, සමාධි
ආසේචිත නො වූ ලද මාත්‍ර සමාධි හීන ය. අතිශය ප්‍රගුණ බවට නො පමුණුවන ලද සමාධි මධ්‍යම ය. අතිශය ප්‍රගුණ බවට පමුණුවන ලද සමාධි ප්‍රණීත යි.
ද්විතීය ත්‍රිකය
සවිතක්කසවිචාර, අවිතක්ක විචාරමත්ත, අවිතක්කඅවිචාර සමාධි
උපචාරසමාධි හා සමග ප්‍රථම ධ්‍යානය සවිතක්කසවිචාර සමාධියි පඤ්චකනයද්වියෙහි ද්විතීය ධ්‍යානය අවිතක්ක විචාර මත්ත සමාධි යි එහි අදහස නම් යමෙක් විචාරයෙහි නො වැ විතර්‍කයෙහි පමණක් ආදීනව දැකැ හුදෙක් විතර්‍කය පමණක් ප්‍රහාණය කරනු කැමැති වැ ප්‍රථම ධ්‍යානය ඉක්මවා ද්විතීය ධ්‍යානය ලබන්නේ ද ඔහුගේ ඒ සමාධිය අවිතක්කවිචාරමත්තසමාධිය වන්නේ ය යනුයි. චතුෂ්කනය වශයෙන් තෘතීය ධ්‍යානාදියෙහි ද එකග්ගතාව අවිතක්කඅවිචාර සමාධි යි.
තෘතීය ත්‍රිකය
පීති, සුඛ, උපෙක්ඛා, සහගත සමාධි
චතුෂ්කනය වශයෙන් ප්‍රථම - ද්විතීය ධ්‍යානයන්හි ද, පඤ්චකනය වශයෙන් ප්‍රථම-ද්විතීය-තෘතීය ධ්‍යානයන්හි ද, එකග්ගතාව පීති සහගත සමාධි යි. චතුෂ්කනය වශයෙන් තෘතීය ධ්‍යානයෙහි ද, පඤ්චකනය වශයෙන් චතුර්‍ථ ධ්‍යානයෙහි ද, එකග්ගතාව සුඛ සහගත සමාධියි. චතුෂ්කනය වශයෙන් චතුර්‍ථ ධ්‍යානයෙහි ද, පඤ්චකනය වශයෙන් පඤ්චම ධ්‍යානයෙහි ද එකග්ගතාව උපෙක්ඛා සහගත සමාධියි. උපචාර සමාධි වනාහි පීති සුඛ සහගත හේ උපේක්‍ෂා සහගත හෝ වන්නේ ය.
චතුර්ථ ත්‍රිකය
පරිත්ත, මහග්ගත, අප්පමාණ සමාධි
උපචාර භූමියෙහි එකග්ගතාව කාමාවචර බැවින් පරිත්ත සමාධි නම් වේ. රූපාවචර-අරූපාවචර කුසලයන් පිළිබඳ එකග්ගතාව මහග්ගත සමාධි නම් වේ. ආර්‍ය්‍ය මාර්‍ග සම්ප්‍රයුක්ත එකග්ගතාව අප්‍රමාණ සමාධි නම් වේ.
ප්‍රථම චතුෂ්කය
දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤ, දුක්ඛාපටිපදා, ඛිප්පාභිඤ්ඤ, සුඛාපටිපදා දන්‍ධභිඤ්ඤ, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤ සමාධි.
(1) දුඃඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති සමාධියෙක් ද
(2) දුඃඛ වූ ප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති සමාධියෙක් ද
(3) සුඛ වූ ප්‍රතිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති සමාධියෙක් ද
(4) සුඛ වූ ප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති සමාධියෙක් දැ යි සමාදි චතුෂ්කයෙක් ඇත්තේ යැ.
එහි ප්‍රතිපදා නම් භාවනාවට පටන්ගන්නවුන් ගේ පඨවි පඨවි යනාදීන් කරන ප්‍රථමාභිනිවේශයෙහි පටන් ඒ ඒ ධ්‍යාන පිළිබඳ උපචාරය උපදින තාක් පවත්නා සමාධි භාවනාව යි. උපචාරයෙහි පටන් අර්පණාව තාක් පවත්නා ප්‍රඥාව අභිඥාය යි කියනු ලැබේ. ඇතැම් කෙනෙකුන්ට ඒ ප්‍රතිපදාව දුක් සහගත වේ. නීවරණාදි විරුද්ධ ධර්‍මයන් ගේ පැවැත්මේ බලවත් බැවිනි. දුක්සහගත වීම නම් පහසුවෙන් නො පවත්නා බවයි. ඇතැම් කෙනෙකුන්ට සුඛසහගත වේ. නීවරණාදි විරුද්ධ ධර්‍මයන් ගේ බලවත් පැවැත්මක් නැති බැවිනි සුඛසහගත නම් පහසුවෙන් පවත්නා බව යි. අභිඥාව ද ඇතැම් කෙනෙකුනට දන්‍ධ වේ. දන්‍ධ නම් මඳ වැ පැවැත්ම ශීඝ්‍ර වැ නො පැවැත්මය යි සේයි. ඇතැම් කෙනෙකුනට ක්‍ෂිප්‍ර වේ. ක්‍ෂිප්‍ර නම් නො මඳ වැ පැවැත්ම ශීඝ්‍ර ප්‍රවෘධ්තිය යි සේයි.
ප්‍රතිපදාව දුඃඛ සුඛ වීමේ ද,
අභිඥාව දන්‍ධ ක්‍ෂිප්‍ර වීමේ ද හේතු.
යම් කෙනෙක් මතු දැක්වෙන සප්පාය අසප්පායයන්හි ද, පළිබෝධ සිඳලීම් ආදි පූර්‍ව කෘත්‍යයන්හි ද අර්පණා කෞශල්‍යයන්හි ද, සප්පාය සේවනය නො ලබද් ද, ඔවුන්ගේ ප්‍රතිපදාව දුඃඛ වේ; අභිඥාව දන්‍ධ වේ. එහි සප්පාය සේවනය ලබන්නවුන්ගේ ප්‍රතිපදාව ද සුඛ වේ. අභිඥා ක්‍ෂිප්‍ර වේ. යම් කෙනෙක් වනාහි පූර්‍වභාගයෙහි සප්පාය නො ලැබැ අපරභාගයෙහි සප්පාය ලබද් ද, පූර්‍වභාගයෙහි හෝ සප්පාය ලැබැ අපරභාගයෙහි සප්පාය නො ලබද්ද ඔවුන්ට මේ දෙක පිළිබඳ ව්‍යතිමිශ්‍රකත්වය වන්නේ ය. හෙවත් දුක්ඛපටිපදාව හා ඛිප්පාභිඤ්ඤාව ද, සුඛපටිපදාව හා දන්‍ධාභිඤ්ඤාව ද වන්නේය ය දත යුතුයි.
එසේ ම පලිබෝධ සිඳැලීම් ආදි පූර්‍වකෘත්‍ය සම්පාදනය කොටැ නො ගෙනැ භාවනායෙහි යෙදෙන්නවුන් ගේ ප්‍රතිපදාව දුක්ඛ වේ. එසේ සම්පාදනය කොටැ ගෙන භාවනායෙහි යෙදෙන්නවුන් ගේ ප්‍රතිපදාව සුඛ වේ. අර්පණා කෞශල්‍යය සම්පාදනය කැරැ නො ගන්නවුන් ගේ අභිඥාව දන්‍ධ වේ. අර්පණා කෞශල්‍යය සම්පාදනය කැරැ ගන්නවුන් ගේ අභිඥාව ක්‍ෂිප්‍ර වේ. (මෙහි දු ව්‍යතිමිශ්‍රකත්‍වය පෙර කී සේ සැලකිය යුතුයි.)
තවද තෘෂ්ණා වශයෙන් හා අවිද්‍යා වශයෙන් ද, සමථාධිකාර වශයෙන් හා විදර්‍ශනාධිකාර වශයෙන් ද, මොවුන්ගේ ප්‍රභේද දත යුතු ය.
ඒ එසේ මැ යි:- තෘෂ්ණාව සමාධියට ඉඳුරා විරුද්ධ බැවින් තෘෂ්ණාධිකයන් ගේ ප්‍රතිපදාව දුඃඛ ය. තෘෂ්ණාධික නො වූවන් ගේ ප්‍රතිපදාව සුඛ ය. අවිද්‍යාව ප්‍රඥාවට ඉඳුරා විරුද්ධ බැවින් අවිද්‍යාදිකයන් ගේ අභිඥාව දන්‍ධය. අවිද්‍යාධික නො වූවන්ගේ අභිඥාව ක්‍ෂිප්‍ර යි. ජන්මාන්තරයෙහි සමථය පුරුදු නොකළවුන් ගේ ප්‍රතිපදාව දුඃඛය. ජන්මාන්තරයෙහි සමථය පුරුදු කළවුන් ගේ ප්‍රතිපදාව සුඛය. ජන්මාන්තරයෙහි විදර්‍ශනාව පුරුදු නො කළවුන්ගේ ප්‍රතිපදාව සුඛය. ජන්මාන්තරයෙහි විදර්‍ශනාව පුරුදු නො කළවුන්ගේ අභිඥාව දන්‍ධ ය. පුරුදු කළවුන්ගේ ක්‍ෂිප්‍රයි.
තවද ක්ලේශයන් ගේ හා ඉන්‍ද්‍රියන් ගේ වශයෙන් ද මොවුන් ගේ ප්‍රභේදය දත යුතුය. තියුණු වූ කාමච්ඡන්‍දාදි ක්ලේශයන් ඇති මෘදු වූ ශ්රද්ධාදි ඉන්‍ද්‍රියයන් ඇත්තවුන් ගේ ප්‍රතිපදාව දුඃඛ ය. අභිඥාව දන්‍ධය. එබඳු වූ ම තික්‍ෂණ වූ ශ්රද්ධාදි ඉන්‍ද්‍රියයන් ඇත්තවුන්ගේ අභිඥාව ක්‍ෂිප්‍ර යි. මඳ වූ කෙලෙස් ඇති මෘදු වූ ඉඳුරන් ඇත්තවුන්ගේ අභිඥාව ක්‍ෂිප්‍ර යි.
මෙසේ මේ දැක්වුණු ප්‍රතිපදා-අභිඥා අතුරෙන් යමෙක් දුඃඛ ප්‍රතිපදායෙන් හා දන්‍ධ අභිඥායෙන් සමාධි ලබන්නේ ද ඔහුගේ ඒ සමාධි දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා යි කියනු ලැබ්. සෙස්සෙහි දු ක්‍රමය මෙසේ යි.
ද්විතීය චතුෂ්කය
1. පරිත්ත පරිත්තාරම්මණ
2. පරිත්ත අප්පමාණාරම්මණ
3. අප්පමාණ පරිත්තාරම්මණ
4. අප්පමාණ අප්පමාණාරම්මණ සමාධි
1. පරිත්ත වූ පරිත්තාරම්මණ සමාධිය, 2. පරිත්ත වූ අප්පමාණාරම්මණ සමාධිය, 3. අප්පමාණවූ පරිත්තාරම්මණ සමාධිය, 4. අප්පමාණ වූ අප්පමාණාරම්මණ සමාධිය යි වැළිත් සමාධි චතුර්විධ වේ.
2. ප්‍රගුණ නොකළ වසඟ කැරැ නො ගත්, මතු ධ්‍යාන පිණිස ප්‍රත්‍යය වන්නට අසමර්‍ථ සමාධි පරිත්තය. හෙමැ නො වඩන ලද කසිණාරම්මණයෙහි පැවැතියේ පරිත්තාරම්මණ ය.
3. ප්‍රගුණ කළ වසඟ කැරැ ගත්, මතු ධ්‍යාන පිණිස ප්‍රත්‍යය වන්නට සමර්‍ථ සමාධි අප්පමාණය හෙමැ වඩන ලද අරමුණෙහි පැවැතියේ අප්පමාණාරම්මණයි. සෙසු සමාධි දෙක මේ ගුණද්වයයෙන් මිශ්‍ර වූ පරිදි දත යුතුයි.
තෘතීය චතුෂ්කය
ධ්‍යානාඞ්ග සතර වශයෙන් සමාධි චතුර්විධ වේ.
1. පඤ්චනීවරණයෙන් විෂ්කම්භනය කැරැ ලන විතර්‍ක විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන අඞ්ග පඤ්චකයෙන් යුක්ත වූයේ ප්‍රථම ධ්‍යාන ය.
2. විතර්‍ක විචාර සංසිඳුවීමෙන් ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන අඞ්ග ත්‍රිකයෙන් යුක්ත වූයේ ද්විතීය ධ්‍යාන ය.
3. ප්‍රීතිය සංසිඳුවීමෙන් සුඛ, ඒකාග්‍රතා යන අඞ්ගද්වයයෙන් යුක්ත වූයේ තෘතීය ධ්‍යාන ය.
4. සුඛ සංසිඳුවීමෙන් උපේක්‍ෂා, ඒකාග්‍රතා යන අඞ්ගද්වයයෙන් යුක්ත වූයේ චතුර්‍ථ ධ්‍යාන යි.
චතුර්‍ථ චතුෂ්කය
1. හානභාගිය 2. ඨිතිභාගිය 3. විසෙසභාගිය 4. නිබේබධභාගිය සමාධි.
1. හානභාගිය 2. ඨිතිභාගිය 3. විසේසභාගිය 4. නිබේබධභාගිය සමාධියයි සමාධි චතුර්විධ වේ.
1. හානභාගිය සමාධි නම් පිරිහීම සෙවුනා සමාධි යි. ඒ වනාහි ඒ ඒ ධ්‍යානයන්ට ප්‍රතිපක්‍ෂ වූ නීවරණ - විතර්‍ක-විචාරාදීන් ගේ පැවැත්මෙන් වන්නේ ය. “පඨමස්ස ඣානස්ස ලාභිනො කාමසහගතසඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා”[3] ‘ප්‍රථම ධ්‍යාන ලාභීහට කාමාස්වාදයෙන් කාමාලම්භන වූ සංඥාමනස්කාරයෝ පවතිත් නම් පරිහානිය සෙවුනා ප්‍රඥාව යි’ යනු එහෙයින් කීහ.
2. ඨිතිභාගිය සමාධි නම් (පිරිහීම හෝ වැඩීම් නැති වැ) ස්ථිතිය සෙවුනා සමාධි යි. ඒ වනාහි තදනුරූප ස්මෘතියගේ පැවැත්මෙන් වන්නේ ය. “තදනුධම්මා සති සත්තිට්ඨිති ඨිතිභාගිනී පඤ්ඤා”[4] යනු එහෙයින් කීහ.
3. විසේසභාගිය සමාධි නම් විශේෂ (වැඩීම) සෙවුනා සමාධි යි. ඒ වනාහි මතු විශේසාධිගමයට ප්‍රත්‍යය වශයෙන් වන්නේ ය. “අවිතක්කසහගතා සඤ්ඤමනසිකාරා සමුදා චරන්ති විසෙස භාගිනී පඤ්ඤා”[5] අවිතර්‍කාලම්බන වූ සංඥා මනස්කාරයෝ වෙත් නම් විශේෂ සෙවුනා ප්‍රඥාව යි’ යනු එ හෙයින් කීහ.
4. නිබේබධභාගිය සමාධි නම් නිවන් සෙවුනා සමාධි යි. ඒ වාහි ආදිනව දර්‍ශනය පූර්‍ව කොටැ ඇති නිබ්බිදාසහගත සංඥා මනස්කාරයන්ගේ වශයෙන් වන්නේ ය. “නිබ්බිදාසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති විරාගුපසංහිතා නිබ්බෙධ භාගිනී පඤ්ඤා”[6] යනු එයින් කීහ. යට දැක්වුණු චතුර්විධ ප්‍රඥායෙන් යුක්ත බැවින් සමාධිය ද චතුර්විධ ය යි දත යුතු යි.
පඤ්චම චතුෂ්කය
1. කාමාවචර, 2. රූපාවචර, 3. අරූපාවචර, 4. අපරියාපන්න සමාධි.
1. සියලු උපාවාරයන්හි පවත්නා ඒකාග්‍රතා කාමාවචර සමාධිය යි.
2. රූපාවචර කුශල චිත්තයන්හි පවත්නා ඒකාග්‍රතා රූපාවචර සමාධිය යි.
3. අරූපාවචර කුශල චිත්තයන්හි පවත්නා ඒකාග්‍රතා අරූපාවචර සමාධිය යි.
4. ලෝකොත්තර කුශල චිත්තයන්හි පවත්නා ඒකග්‍රතා අපරියාපන්න සමාධිය යි.
ෂෂ්ඨ චතුෂ්කය
1. ඡන්ද 2. විරිය 3. චිත්ත 4. විමංසා සමාධි
1. භික්‍ෂු කෙනෙක් ඡන්‍දය අධිපති කොට සමාධියක් (සිත්හි එකඟතාවක්) ලබද් ද එය ඡන්‍ද සමාධිය යි කියනු ලැබේ.
2. භික්‍ෂු කෙනෙක් වීර්‍ය්‍යය අධිපති කොට සමාධියක් (සිත්හි එකඟතාවක්) ලබද් ද එය විරිය සමාධිය යි කියනු ලැබේ.
3. භික්‍ෂු කෙනෙක් චිත්තය අධිපති කොට සමාධියක් (සිත්හි එකඟතාවක්) ලබද් ද එය චිත්ත සමාධිය යි කියනු ලැබේ.
4. භික්‍ෂු කෙනෙක් ප්‍රඥාව අධිපති කොට සමාධියක් (සිත්හි එකඟතාවක්) ලබද් ද එය විමංසා සමාධිය යි කියනු ලැබේ.
පඤ්චවිධ සමාධි
1. විතර්‍ක - විචාර - ප්‍රීති - සුඛ - ඒකාග්‍රතා යන අඞ්ග පඤ්චකයෙන් යුක්ත වූයේ ප්‍රථම ධ්‍යාන සමාධි යි.
2. විතර්‍කය පමණක් ඉක්මීමෙන් විචාර - ප්‍රීති - සුඛ - ඒකාග්‍රතා යන අඞ්ග චතුෂ්කයෙන් යුක්ත වූයේ ද්විතීය ධ්‍යාන සමාධි යි.
3. විචාරය ද ඉක්මීමෙන් ප්‍රීති - සුඛ - ඒකාග්‍රතායෙන් යුක්ත වූයේ තෘතීය - ධ්‍යාන සමාධි යි.
4. ප්‍රීතිය ද ඉක්මීමෙන් සුඛ - ඒකාග්‍රතායෙන් යුක්ත වූයේ ප්‍රථම චතුර්‍ථ - ධ්‍යාන සමාධි යි.
5. සුඛ හැර ඒ සිලව්වට උපේක්‍ෂාව ලැබ එයින් හා ඒකාග්‍රතායෙන් යුක්ත වූයේ පඤ්චම ධ්‍යාන සමාධි යි.
චතුෂ්කනයයෙහි විතර්‍ක - විචාර දෙක ම එකවර ඉක්මීමෙන් ද්විතීය ධ්‍යානය විය.
මෙහි විතර්‍කය පමණක් ඉක්මවීමෙන් ද්විතීය ධ්‍යානය ද, විතර්‍ක-විචාර දෙකම ඉක්මවීමෙන් තෘතීය ධ්‍යානය ද වී යයි දත යුතු යි.
සමාධි භේද නිමියේ ය.
5. සමාධියෙහි කිලිටි බව කිමෙක් ද
6. සමාධියෙහි පිරිසිදු බව කිමෙක් ද
යන මේ ප්‍රශ්න ඥානවිභඞ්ගයෙහි විසඳන ලද්දේ ම ය. එහි විසඳූ ආකාරය මෙසේ ය. “සංකිලෙසංති හානභාගියො ධම්මො. චොදානංති විසෙසභාගියො ධම්මො”[7] කිලිටි බව නම් හානභාගිය ධර්‍ම යි. පිරිසිදු බව නම් විසේසභාගිය ධර්‍ම යි.
(එහි දු “පඨමස්ස ඣානස්ස ලාභිං කාමසහගතාසඤ්ඤා මනසිකාර සමුදාචරන්ති හානභාගිනි පඤ්ඤා”[8] යයි කී නියායෙන් හානභාගිය ධර්‍ම ද, “අවිතක්කසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනි පඤ්ඤා”[9] යි කී නියායෙන් විසෙසභාගිය ධර්‍ම ද දත යුතුයි.
පඨමස්ස ඣානස්සලාභිං = අප්‍රමාණ වූ ප්‍රථම ධ්‍යාන ලාභීහු; කාමසහගතා = ආලම්බන වශයෙන් කාම සහගත වූ සඤ්ඤා මනසිකාරා = සංඥා - මනස්කාර යන මොහු; සමුදාචරන්ති = චෝදනා කෙරෙද් ද, ධ්‍යානයෙන් නැංගහු පෙළද් ද යන අර්‍ථ යි.) හානභාගිනී පඤ්ඤා = කාමයෙහි පවත්නා සංඥා මනස්කාරයන් ගේ වශයෙන් ප්‍රථම ධ්‍යාන සංඥා තොමෝ පිරිහෙන්නේ ය.
අවිතක්කසසහගතා = අවිතර්‍ක වූ ද්විතීය ධ්‍යාන ආලම්බන වශයෙන් අවිතර්‍ක සහගත වූ; සඤ්ඤා මනසිකාරා = සංඥා මනස්කාරයෝ; සමුදා චරන්ති ප්‍රගුණ වූ ප්‍රථම ධ්‍යානයෙන් නංගහු ද්විතීය ධ්‍යානාධිගමය පිණිස චෝදනා කරද් ද, (පෙළද් ද), විසෙසභාගිනී පඤ්ඤා = ද්විතීය ධ්‍යානයෙහි පවත්නා සංඥා මනස්කාර වශයෙන් ප්‍රථම ධ්‍යාන ප්‍රඥා තොමෝ විශෙෂ වූ ද්විතීය ධ්‍යානොත්පත්තියට පදස්ථාන බැවින් විශෙෂ භාගිනී නම් වේ.” යන (පරාක්‍රමබාහු සන්නය)
7. සමාධි වැඩිය යුතු කෙසේ ද
ලෞකික - ලෝකෝත්තර වශයෙන් දෙවැදෑරුම් වූ සමාධි අතුරෙන් ලෝකෝත්තර සමාධි වඩන ක්‍රමය ප්‍රඥා භාවනායෙහි සඞ්ගෘහීත ය. ප්‍රඥාව වඩන කල්හි එද වැඩෙන බැවිනි එහෙයින් ඒ සඳහා කිසිවක් මෙහි නො දක්වමු.
ලෞකික සමාධි වනාහි යට ශීල පරිච්ඡෙදයෙහි දැක්වුණු සේ සිල් පිරිසිදු කොටැ ගෙනැ සුපරිශුද්‍ධ ශීලයෙහි පිහිටා දශපලිබොධ අතුරෙන් එක පලිබොධයක් හෝ ඇත්නම් එ ද දුරුකොට, කමටහන් දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් කරා එළඹැ, සතලිස් කර්‍මස්ථාන අතුරෙන් ස්වකීය චරිතානුකූල වූ කර්‍මස්ථානයක් ලබාගෙනැ සමාධි භාවනාවට අයෝග්‍ය විහාරස්ථානන හැරැපියා යෝග්‍ය විහාරස්ථානයෙක වසමින්, සුලු පලිබොධ ද දුරුකොටැ, භාවනාවට නියම විධි එකකුදු නොපිරිහෙලමින් භාවනා කළ යුතු. මේ මෙහි සංක්‍ෂෙපය යි.
විස්තර මෙසේ දත යුතු යි.
“දශ පලිබොධ අතුරෙන් එක පලිබොධයක් හෝ ඇත්නම් එ ද දුරු කොට” කී තන්හි