දස පලිබොධ

star_outline

“ආවාසො ච කුලං ලාභො - ගණො කම්මංච පඤ්චමං,

අද්ධානං ඤාති ආබාධො - ගන්‍ථා ඉද්දී ති තෙ දස”

1. ආවාස 2. කුල 3. ලාභ 4. ගණ 5. නවකර්‍ම 6. අද්ධාන 7. ඥාති 8. ආබාධ 9. ග්‍ර‍න්‍ථ 10. සෘද්දි යන මොහු යි.

1. ආවාස යන්නෙන් එක කාමරයෙක් හෝ එක පිරිවෙනක් හෝ සියලු සංඝාරාම හෝ කියවේ. ඒ ආවාස වනාහි සියල්ලන්ට පලිබොධ වන්නේ නොවේ. යමෙක් ඒ ආවාසවල නමකර්‍මාදියෙහි යෙදී වසන්නේ ද, බොහෝ බඩු රැස්කොට තබන්නේ ද, සිහිල් සෙවන ඇත මිහිරි පැන් ඇත මැනව යනාදි යම්කිසි කාරණයෙකින් අපේක්‍ෂාවත් වැ - පිළිබඳ සිත් ඇති වැ වසන්නේ ද, ඔහුටම පලිබොධ වේ. එසේ නැත්තකුට පලිබෝධ නොවේ. ඒ සඳහා දෘෂ්ටාන්ත කථාවෙක් මෙසේ ය.

අනුරාධපුරයෙන් නික් මැ කුලදරුවෝ දෙදෙනෙක් ථූපාරාමයෙහි පැවිදි වූහ. ඔවුන් අතුරෙන් එක් නමෙක් උභය ප්‍රාතිමොක්‍ෂ ප්‍ර‍ගුණ කොටැ පස් වස් වීමෙන් පවාරණය කොටැ පාචීනඛණ්ඩරාජි නම් තැනට වාසය පිණිස ගියේ ය. අනෙක් නම ථූපාරාමයෙහි ම විසී ය. පාචීණඛණ්ඩරාජීයට ගිය භික්‍ෂුව එහි ම කලක් වැස ස්ථවිර භාවයට ද පැමිණැ “මේ ස්ථානය විවේකයට සුදුසු ය. මගේ යහලුවන් වහන්සේට ඒ බව දන්වමි” යි සිතා ථූපාරාමයට ගියේ ය. එන්නාවූ ම උන්වහන්සේ දැකැ සමානවස්සික තෙරුන්වහන්සේ පෙර ගමන් ගොස් පා සිව්රු පිළිගනිමින් වත් පිළිවෙත් කළ සේක. ආගන්තුක තෙරුන් වහන්සේ සේනාසනයට ප්‍ර‍විෂ්ට වැ “මේ මෙහි බොහෝ කලක පටන් වසන්නෙකි මගේ මිත්‍ර‍යා -මට දැන් ගිතෙල් හෝ පැණි හෝ වෙන පාන වර්‍ගයක් හෝ එවනවා ඇතැ”යි සිතුවේ ය. රාත්‍රි ඉක්මිණි. කිසිවක් නො ලැබුණේ ය. උදෑසන සිතන්නේ “දැන් උපස්ථායකයන් එවූ හඹු හා කැවුම් එවතී”යි සිතුවේ ය. එවිට ද එවන්නෝ නො වූහ. “මෙහි නො එවුව ද ගමට ගිය කල ලබන්නෙම් වේ දැ”යි උදෑසන ම නේවාසික භික්‍ෂු හා සමඟ ගමට පිවිසියේ ය. මුළු වීථියක හැසිරැ කැඳිත්තක් ලදින් දෙදෙනා වහන්සේම එය ආසන ශාලාවෙක හිඳැ වැළඳුවාහු යැ. “පේරු කැඳ නැතත් දහවල මනුෂ්‍යයන් ප්‍ර‍ණීත භෝජන දෙතී”යි හේ වැළිඳු සිතුවේ ය. දහවල ද පිඬු පිණිස හැසිර ලද දෙයක් ම වළඳා “කිම ස්වාමීනි! ඇමදාම මෙසේ ද යැපෙන්නේ” යයි ඇසුවේ ය. උන්වහන්සේ “එසේ ය”යි කී සේක. ‘ස්වාමීනි! අප වසන ප්‍රාචීනඛන්ඩරාජිය මෙයට වඩා පහසු ය. එහි වඩිනු මැන වැ”යි ආගන්තුක භික්‍ෂු කීයේ ය. තෙරුන් වහන්සේ නුවර දකුණු දොරින් නික් මැ ථූපාරාමයට යන මඟ හැරැ කුඹල්ගම මාර්‍ගයට පිළිපන් සේක. “ස්වාමීනි! කුමක් හෙයින් මේ මඟට පිළිපන් සේක් දැ”යි විචාළ කල “හැයි ආයුෂ්මත්නි! පාචීනඛණ්ඩරාජිය වර්‍ණනා කෙළේ නොවේ ද එහි යමු”යි කී සේක. “ස්වාමීනි මෙතෙක් කල් විසූ තැන කිම වැඩි පිරිකරෙක් හේම නැද්ද”යි ඇසූ කල ආයුෂ්මත්නි! ඇඳ පුටු සාඞ්ඝික ය. එය අපි එද්දී ම තැන්පත් කළෙමු. අන් කිසිවක් එහි නැතැ”යි කීයේ ය. “ස්වාමීනි! මගේ සැරයටිය ද තෙල් ගුලාව ද, වහන්උරය ද එහි ය.” “ආයුෂ්මත්නි! එක දවසක් විසූ තොප එතෙක් බඩු එහි තබන ලද්දේ දැ”යි ඇසූයේ “එසේ ය”යි කීයේ ය. ආගන්තුක භික්‍ෂු පැහැදුණේ ය. හෙතෙමේ තෙරුන් වහන්සේ වැඳ “ස්වාමීනි! නුඹ වහන්සේ වැන්නවුන්ට ඇම තැන අරණ්‍යම ය. ථූපාරාමය සතර බුදුවරුන් වහන්සේගේ ධාතු නිධාන ස්ථානය යි. ලෝවාමහාපායෙහි පහසුවෙන් ධර්‍ම ශ්‍ර‍වණය කළ හැකි ය. ඇම වේලේ රුවන්වැලි මහා චෛත්‍යය ද, ස්ථවිර භික්‍ෂූන් ද, දක්නට ලැබෙයි. එතැන බුදුරජාණන් වහන්සේගේ ධර්මාන කාලය වැනි ය. ස්වාමීනි! නුඹ වහන්සේ මෙහි මැ වසනු මැනව අප යම්හ”යි දෙවන දවසෙහි පා සිව්රු ගෙනැ තෙමේ ම පාචීනඛණ්ඩරාජියට ගියේ ය. මෙබන්දන්ට කෙබඳු ආවාසයෙකුත් පලිබෝධ පිණිස නො වන්නේ යැ.

2. කුල නම් ඥාති කුල හෝ උපස්ථාන කුල යි. ඇතැම් කෙනෙකුන්ට උපස්ථායක කුලය පවා පලිබෝධ පිණිස වන්නේ ය. “සුඛිතෙ සුඛිතො” සැපෙහි තුටු වේ. (දුකෙහි දුක් වේ) යනාදි ක්‍ර‍මයෙන් ඔවුන් හා එක් වැ හැනී වසන බැවිනි. එබඳු භික්‍ෂූහු කුල මිනිසුන් නැති වැ අසල විහාරයකට බණ අසන්නට පවා නොයෙති. කොරණක නම් වෙහෙර වැසි මහතෙරුන් වහන්සේගේ බෑණණූ වූ දහර භික්‍ෂුවට මෙන් ඇතැම් කෙනෙකුන්ට මව්-පියෝ ද පලිබොධ පිණිස නො වන්නාහ.

හේ වනාහි ත්‍රිපිටක පාළිය පුහුණු කැරැ ගන්නා පිණිස රුහුණු ජනපදයට ගියේ ය. තෙරුන් වහන්සේගේ සහෝදරී ඇම විට ම තෙරුන්වහන්සේගෙන් පුතණුවන් ගේ තොරතුරු විචාරන්නී ය. එක් දවසෙක තෙරුන් වහන්සේ දහරභික්‍ෂු කැඳවා ගෙන එනු පිණිස රුහුණට ගිය හ. දහරභික්‍ෂුහු ද “මම මෙහි විසීමෙන් බොහෝ කල් ගත විය. උපාධ්‍යායයන් වහන්සේ දදැකැ මෑණියන්ගේ ද තොරතුරු දැන එමි”යි රුහුණින් නික්මුණේ ය. දෙදෙනා වහන්සේ ම මහවැලි ගං ඉවුරෙහි දී සම්මුඛ වූහ. දහරභික්‍ෂු එක් රුක් මුලෙක දී තෙරුන්වහන්සේට වත් දක්වා “කොයි යන්නේ දැ”යි විචාළ කල්හි තමන් ගම්න පවත් කීය. තෙරුන්නාන්සේ ද ඒ අසා “තා කෙළේ යහපතෙක. උපාසිකාවෝ ඇම විට තොපගේ සුවදුක් අසති. අපි එන්නමෝත් තොප එහි යවනු සඳහා ආයෙමු. තොපි එහි යව්. අපි මෙහි වසන්නමු”යි ශිෂ්‍ය නම යැවූ සේක. දහරභික්‍ෂුව වස්වසන දිනයෙහිම කොරණක විහාරයට සම්ප්‍රාප්ත විය. ස්වකීය පියාණන් කරවූ සේනාසනය උන්වහන්සේට වස් එළඹෙනු සඳහා ලැබුණේ ය. දෙවන දවසෙහි පියාණෝ විහාරයට අවුත් “අපගේ සෙනස්න කා හට ලැබුණේ දැ”යි භික්‍ෂූන්ගෙන් විචාරා “ආගන්තුක දහර භික්‍ෂූහට ය”යි කී කල්හි උන්වහන්සේ කරා එළඹැ වැඳැ “ස්වාමීනි අපගේ සෙනස්නෙහි වස් එළඹුණුවන් විසින් පිළිපැදිය යුතු වතෙක් ඇතැ”යි කීහ. “කවර වතෙක්දැ”යි විචාරන්නා “මේ තෙමස අපගේ ගෘහයෙන්ම භික්‍ෂාව ගත යුතු ය. පවරා වඩින දවස්හි අපට දන්වා වැඩිය යුතු”යි කීහ. උන්වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක.

උපාසකයාණෝ ද ගෙට ගොස් “අපගේ ආවාසයෙහි එක් ආගන්තුක නමෙක් වස් විසී ය. සකසා උපස්ථාන කළ යුතු ය”යි කීහ. උපාසිකාවෝ මැනවැ යි පිළිගෙන ප්‍ර‍ණීත වූ ඛාද්‍ය-භොජ්‍ය සම්පාදනය කළහ. දහරභික්‍ෂු පිණ්ඩපාත වේලෙහි එහි එළඹුණේ ය. කිසිවෙක් උන්වහන්සේ නො හැඳින්නේ ය. උන්වහන්සේ තුන්මස මුළුල්ලෙහි එහි පිණ්ඩපාතය ගෙනැ වස් අවසන්හි පවරා “මම යමි”යි කීහ. ඔව්හු ද අද ඉවසා හෙට වඩින්නැ”යි ආරාධනා කොටැ දෙවන දවසෙහි සිය ගෙදොර දී ම දානය වළඳවා තෙල් නළ ද පුරවා සකුරු පිඩක් හා නවරියන් වස්ත්‍ර‍යක් පුදා “වඩින්න ස්වාමීනි”යි කිවුය. උන්වහන්සේ අනුමෙවෙනි බණ වදාරා රුහුණ බලා වැඩි සේක.

උපධ්‍යායයන් වහන්සේ ද වස්වසා පවාරණය කොටැ පෙරලා වඩින සේක් පෙර දුටු මහවැලි ගං ඉවුරෙහි දීම දහරනම දුටු සේක. හේ රුක්මුලෙක දී තෙරුන්වහන්සේට වත් දක්වා “කිම භද්‍ර‍මුඛය මෑණියන් දුටු දැ”යි විචාරන්නා “එසේය දුටුම් හ ස්වාමීනි”යි සියලු පවත් දන්වා ඒ තෙලින් ම උන්වහන්සේ ගේ පා මැඩැ සකුරින් පානයක් සාදා වළඳවා ඒ සළුවත් උන්වහන්සේට ම පුදා වැඳෑ “ස්වාමීනි මට රුහුණ සැපය”යි කියා ගියේ ය.

තෙරුන් වහන්සේද විහාරයට ගොස් දෙවන දින කොරණක ගමට වැඩි සේක. උපාසිකා තොමෝ ‘මගේ සහෝදරයන් වහන්සේ මගේ පුතණුවන් ගෙනැ දැන් දැන් එති”යි ඇම දා මඟ බලමින් ඉන්නී ය. එදා ද හුදෙකලා වැ වඩින තෙරුන් වහන්සේ දැකැ “මගේ පුතනුවන් වහන්සේ මිය ගිය සේකැ යි සිතමි. තෙරුන්වහන්සේ තනි වැ මැ වඩිති”යි උන්වහන්සේ පාමුල වැටි පෙරලී වලපමින් හැඩුවා ය. තෙරුන් වහ්නසේ සිතන සේක් “එකාන්තයෙන් දහරනම ස්වකීය අලෙපච්ඡත්‍වය හේතු කොටැ තමා නො හඳුන්වා ම ගියේ වනැ”යි ඇය සනසා සියලු පුවත් දන්වා පාත්‍ර‍ථවිකයෙන් ඒ සළුව ද මෑත් කොටැ පෙන්වූහ. උපාසිකාවෝ පැහැදැ පුතු ගිය දිසාවට ළයෙන් හෙවැ වැඳ ගෙනැ කියන්නී “බුදුරජාණන් වහන්සේ රථවිනීත - නාලක - තුවටක ප්‍ර‍තිපදා ද, සිව්පස සන්තෝෂ හා භාවනාරාමතා දක්වනව මහා ආර්‍ය්‍යවංශප්‍ර‍තිපදා ද, වදාරණ සේක් මාගේ පුතනුවන් වහන්සේ වැනි භික්‍ෂූන් ම කායශාක්‍ෂි කොටැ වදාළ සේක් විය යුතු ය වැදූ මෑණියන් ගේ ගෙයි තුන්මසක් වළඳමිනුත් ‘මම නුඹගේ පුතණුවෝ ය. මුඹ මාගේ මෑණියෝ’ය යි නො කී සේක. අහෝ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍යයා”යි කීහ. මෙබන්දන්ට මව්පියෝ ද පළිබෝධ නො වෙති. අන්‍ය උපස්ථායක කල කියන ම කවරේ ද?

3. ලාභ නම් සිව්පස යි. සිව්පස කෙසේ පලිබෝධ වෙද් ද පින් ඇති භික්‍ෂූන්ට ගිය ගිය තැන මනුෂ්‍යයෝ මහා පිරිකරත් සමඟ ප්‍ර‍ත්‍යය පිළිගන්වති. ඔවුහු දායකයන්ට අනුමෙවෙනි කරමින් බණ වදාරමින් ශ්‍ර‍මණ ධර්‍මය පුරා ගන්නට අවකාශ නො ලබති. අරුණොද්ගමනෙහි පටන් පෙරයම දක්වා මිනිසුන් හා එක් වැ හැනීම නො නවතී. දෙවන දින ද ඉතා උදෑසන ප්‍ර‍ත්‍යය ලෝල පිණ්ඩපාතික භික්‍ෂූහු අවුත් “ස්වාමීනි අසවල් උපාසකයාණෝ අසවල් උපාසිකාවෝ අසවල් මැතිතුමාණෝ අසවල් අසවල් මන්ත්‍රිදියණියෝ ඔබවහන්සේ දැකැ ගන්නට කැමැත්තෙන් සිටිති”යි කියති. ඔව්හුද ‘ගනිව් ඇවැත්නි! පා සිවුරු”යි කියමින් ගමනට ම සැරසී ගනිති. එහි ම ව්‍යාපෘත වෙත්. මෙසේ ඇති කල්හි ඔවුනට ඒ ප්‍ර‍ත්‍යයෝ පලිබෝධ වන්නාහ. එ බැවින් ගණයා හැරපියා කිසිවකු නො හඳුනන තැනකට වී හුදෙකලා වැ විසිය යුතු යි. එසේ වූ කල්හි ඒ ලාභ පලිබෝධ සිඳී යන්නේ ය.

4. ගණ නම් සූත්‍රාන්ත හෝ අභිධර්‍ම හදාරණ ගණයා ය. ඔවුන්ට උද්දේස හෝ පරිපුච්ඡා දීමෙන් යම් කෙණෙක් මහණ දම් පිරීමට අවකාශ නො ලබද්ද එබන්දන්ට ගණයා පලිබෝධ වන්නේ ය.

ඒ ගණ පලිබෝධය සිඳගන්නා ක්‍ර‍මය මෙසේ ය. භික්‍ෂූහු උද්දේසයෙන් හෝ පරිපුච්ඡායෙන් වැඩි කොටසක් උගත්හු නම් උගන්නට තිබෙන සෙසු කොටස ස්වල්ප නම් එ ද නිම කර දී අරණ්‍ය ගත විය යුතු යි. ඉදින් උගත් කොටස ස්වල්ප නම් වැඩි කොටසක් උගන්නට ඇත්නම් යොදුනක් අතුර වසන අන්‍ය ගණවාචක භික්‍ෂුවක් කරා එළඹැ ‘ආයුෂ්මතුන් වහන්සේ මේ නමලාට උද්දේසාදියෙන් සංග්‍ර‍හ කරන සේක්වා”යි කිය යුතු යි. එසේත් නො ලබත් නම් “ඇවැත්නි! මට කටයුත්තෙක් ඇත. තොපි පහසු තැන් බලා යව්”යයි කියා ගණයා හැරැ දමා ස්වකීය මහණුවම කැරැගත යුතුයි. (උද්දේස නම් පෙළ කියවා දීම ය. පරිපුච්ඡා නම් අර්‍ථ ගැන්වීම යි.)

5. කර්‍ම නම් කර්‍මාන්තය. නවකර්‍මාන්ත කරවන්නවුන් විසින් වඩු ආදි කම්කරුවන් විසින් ලද නො ලද දෙය දැනැ සිටිය යුතු ය. කළ නො කළ කර්‍මාන්ත පිළිබඳ උත්සාහවත් විය යුතුය. එබැවින් එය සර්‍වප්‍ර‍කාරයෙන් ම පලිබෝධ පිණිස වන්නේ ය.

නවකර්‍ම පලිබෝධය සිඳැලිය යුතු ක්‍ර‍මය මෙසේ ය:- පටන් ගත් කර්‍මාන්තයෙන් ශේෂ වැ පවත්නේ ස්වල්පය නම් එය නිම කළ යුතු වැඩි කොටසෙක් ශේෂ වැ ඇත්නම් කර්‍මාන්තය සංඝ සන්තක නම් සංඝයාට හෝ සංඝයාගේ භාරහාරක භික්‍ෂූන්ට හෝ පාවාදිය යුතු යි. කර්‍මාන්තය තමා සතු නම් තමන්ගේ භාරහාරක භික්‍ෂූන්ට පාවාදිය යුතු යි. භාරගන්නා කෙනෙක් නැත් නම් සංඝයාට පත්කොටැ යා යුතු යි.

6. අද්ධාන නම් මාර්‍ග ගමනය. හෙවත් යම් තැනෙක යාමෙහි අපේක්‍ෂාව යි. අරණ්‍යයට වැදැ ශ්‍ර‍මණ ධර්‍ග පුරන්නවුන්ට පවා උපන් ගමික සිත සංසිඳුවා ගැන්ම දුෂ්කර ය. එ බැවින් යම් තැනෙක ප්‍ර‍ව්‍ර‍ජ්‍යාපේක්‍ෂකයෙක් හෝ ඇත්නම් ලබාගත යුතු ප්‍ර‍ත්‍යයයෙක් ඇත් නම් එය නො ලත් කල ඉවසා ධරා ගත නො හැකි නම් එහි ගොස් ඒ කෘත්‍යය නිම කොටැ ගෙනැ අවුත් ශ්‍ර‍මණ ධර්‍මයෙහි උත්සුක විය යුතු යි.

7. ඥාති නම් විහාරයෙහි ආචාර්‍ය්‍ය - උපාධ්‍යාය - සද්ධි විහාරික අන්තෙවාසික - සමානොපාධ්‍යායක - සමානාචාර්‍ය්‍යකයෝ ය. ගෘහයෙහි මව්-පිය-සහෝදරාදීහු යි. ඔවුහු ගිලන් වූහු නම් පළිබෝධ පිණිස වෙත්. ඒ පළිබෝධය සංසිඳුවා ගත යුත්තේ ඔවුන්ට උපස්ථාන කොටැ ඔවුන් නිරෝගීන් කිරීමෙනි.

එහි පිළිවෙළ මෙසේ ය :- ඉදින් උපාධ්‍යායයන් වහන්සේ ගිලන් වූ සේක් නම් වහා සුව නො වත් හොත් දිවි හිම් කොටැ උපස්ථාන කළ යුතුය. එසේ ම ප්‍ර‍ව්‍ර‍්‍යාචාර්‍ය්‍ය - උපසම්පදාචාර්‍ය්‍ය සද්ධිවිහාරිකයෝ ද, තමන් විසින් කර්‍ම වාක්‍ය කියා උපසම්පදා කරගන්නා ලද තමා විසින් පැවිදි කරවන ලද අනේතවාසිකයෝ ද, දිවි හිම් කොටැ උපස්ථාන කළ යුතු වෙත්. නිස්සයාචරියයෝ ද, උද්දේසාචරියයෝ ද, නිස්සයන්තේවාසිකයෝ ද, උද්දේසනේතවාසිකයෝ ද, සමානාචරියකයෝ ද, නිස්සය හා උද්දේස ගන්නා තාක් උපස්ථාන කළ යුත්තෝ ය. හැකි නම් ඉන් ඔබ්බෙහි ද උපස්ථාන කිරීම සුදුසු ම ය.

මව්පියන්ට ද උපාධ්‍යායයන් වහන්සේට මෙන් පිළිපැදිය යුතු ය. ඉදින් මව්පියවරු රාජ්‍යයෙහි පිහිටියෝ නමුදු තමන්ගෙන් උපස්ථාන ලැබියටි වෙත් නම් එසේ උපස්ථාන කළ යුතු යි. ඔවුන් සතු බෙහෙත් නැත්නම් තමා සතු බෙහෙත් දිය යුතු යි. තමා සතු වූ ද බෙහෙත් නැත්නම් පිඬු සිඟාවත් සොයා දිය යුතු ම ය. සහෝදර සහෝදරියන්ට වනාහි ඔවුන් සතු බෙහෙත් ම යොදා දිය යුතු යි.ි ඉදින් ඔවුන් සතු බෙහෙත් නැත්නම් තමන් සතු බෙහෙත් නැත්නම් තමන් සතු බෙහෙත් තාවකාලික වශයෙන් දී පසු වැ ලද හොත් ගත යුතු යි. නො ලද හොත් නො ඉල්විය යුතු යි. සහෝදරියකගේ ස්වාමි පුරුෂයා ඉදින් ස්වකීය ඥාතියෙක් නොවේ නම් බෙහෙත් කරන්නට ද දෙන්නට ද නො වටනේය. “තොපගේ ස්වාමි පුරුෂයාට දෙව”යි කියා සහෝදරියට දීම වරද නො වේ. සහෝදරයාගේ බිරින්ද කෙරෙහි ද පැවතිය යුතු ක්‍ර‍මය මෙසේම ය. ඔවුන්ගේ දරුවන් තම නෑයන් බැවින් ඔවුන්ට බෙහෙත් කරන්නට වටනේ ය.

8. ආබාධ නම් මුල් වූ හෝ අනුබද්ධ වූ යම් කිසි රෝගයකි. එය තමන් පෙළන්නේ පළිබෝධ පිණිස වන්නේ ය. ආබාධ පළිබෝධය සිඳැලිය යුතු ක්‍ර‍මය නම් එය සුවකැරැ ගැන්ම යි. ඉදින් කීප දවසක් බෙහෙත් කරන කල්හිදු ආබාධය සුව නො වේ නම් “මම තගේ දාසයෙක් හෝ බැළයෙක් හෝ නො වෙමි. අනාදිමත් සසර තා ම පෝෂ්‍ය කිරීමෙන් මම දුක් වින්දෙමි” යි ආත්මභාවයට ගරහා ලා මහණුවම් පිරිය යුතු යි.

9. ග්‍ර‍න්‍ථ නම් පර්‍ය්‍යාපති පරිහරණය යි. ඒ වනාහි සජ්ඣායන-ධාරණ-පරිචය-පරිපුච්ඡාදි වශයෙන් නිත්‍ය ව්‍යාපෘතයාට ම පළිබෝධ පිණිස වන්නේ ය. එසේ නො වන්නහුට පළිබෝධ පිණිස නො වන්නේ ය.

එයට දෘෂ්ටාන්ත කථා මෙසේ ය.

මැදුම් සඟිය වනපොත් කළ දේව නම් තෙරුන්නාන්සේ ගල්වල වසන දේව ස්ථවිරයන් වහන්සේ කරා එළඹැ කමටහන් ඉල්ලූහ. උන්වහන්සේ “ඇවැත්නි! තොපගේ පර්‍ය්‍යාප්ති ඥානය කෙතරම් දැ”යි විචාළ සේක. ‘ස්වාමීනි! මට මැදුම් සඟිය ප්‍ර‍ගුණය”යි හේ පිළිතුරු දිනි. “ඇවැත්නි! මේ මැදුම් සඟි පරිහරණය දුෂ්කරය. මූලපණ්ණාසකය සජ්ඣායනය කරත් මජ්ඣිම පණ්ණාසකය ද, එය සජ්ඣායනය කරත් උපරිපණ්ණාසකය ද නැඟී එන්නේ ය. තොපට කවර කර්‍මස්ථානදැ”යි උන්වහන්සේ කී සේක. “ස්වාමීනි නහමක් එසේ සිතන්න. ඔබවහන්සේගෙන් කර්‍මස්ථාන ලබාගෙන මැදුම් සඟිය දිසාවත් නොබලමි”යි කමටහන් ගෙනැ එකුන්විසි වසක් සජ්ඣායන නො කොටැ විසිවන වසෙහි රහත් වැ සජ්ඣායනය පිණිස පැමිණි භික්‍ෂූන්ට කියන සේක්. “ඇවැත්නි! පර්‍ය්‍යාප්තිය නො බැලීමෙන් මට විසිවසෙක් ඉක්මුණේය. එහෙත් මට එහි පුරුදුකම් ඇත. ආරම්භ කරව”යි කියා මුල පටන් අග තෙක් එක ව්‍යඤ්ජනයෙක ද සැකයක් නො කළ සේක.

තවද කැරළිගිරි වෙහෙර විසූ නාග ස්ථවිරයන්වහන්සේ අටලොස් වසක් පර්‍ය්‍යාප්ති හැරැපියා භික්‍ෂූන්ට ධාතු කථා දෙසූහ. අනුරාධපුර වැසි තෙරවරුන් හා සමග සංසන්‍දනය කරන ඔවුනට එක ප්‍ර‍ශ්නයෙකුදු උත්තරිපාටික නො වූයේ ය.

තවද මහවෙහෙර වැසි ත්‍රිපිටක චූලාභය තෙරුන් වහන්සේ අටුවා නො ඉගෙනැ ම “පස්මහසඟි උගත් පිරිසට ත්‍රිපිටකය වර්‍ණනා කරමි”යි දවසෙක රන්බෙරය ගැස්වූ සේක. භික්‍ෂූහු “ඔහු විසින් කවර ආචාර්‍ය්‍ය මතයෙක් වණනු ලබන්නේ ද, ස්වකීය ආචාර්‍ය්‍ය මතය විනා අනෙකක් කියන්නට නො දෙම්හ”යි කිවුය. උපාධ්‍යායයන් වහන්සේ ද ස්වකීය උපස්ථානය සඳහා පැමිණි ඔහු විචාරණ සේක් “ඇවැත්නි! රන් බෙරය ගැස්වූවෝ තොපි දැ”යි ඇසූ සේක. “එසේය ස්වාමීනි” යි කී කල්හි “කුමක් සඳහා දැ”යි අසා “ස්වාමීනි! පර්‍ය්‍යාප්තිය වර්‍ණනා කරනු සඳහා ය”යි කී කල්හි “ඇවැත් අභය මේ ස්ථානය පිළිබඳ ආචාර්‍ය්‍යයෝ කෙසේ කියත් දැ”යි එක් ධර්‍ම පදයක් දැක්වූ සේක. හෙතෙමේ “ස්වාමීනි! මෙසේ කියති”යි කීය. තෙරුන්වහන්සේ “හුම් යන ශබ්දනෙය් එය වරද ලීලාව හැඟවූහ. ඉක්බිති හෙතෙමේ ‘ස්වාමීනි! මෙසේත් කියති මෙසේත් කියති”යි අනෙක් අනෙක් සැටියෙන් තුන්වරක් කීය. තෙරුන්වහන්සේ ඒ සියල්ල “හුම්” කාරයෙන් ප්‍ර‍තික්‍ෂේප කොටැ “ඇවැත! තොප විසින් පළමු වැ කියන ලද්දේ ආචාර්‍ය්‍ය මාර්‍ගය යි එය ආචාර්‍ය්‍ය මුඛයෙන් නො උගන්නා ලද බැවින් එහි ස්ථිර වැ සිට ගන්නට නො හැකි විය. යව, සුදුසු ආචාර්‍ය්‍ය වරයෙකු සමීපයෙන් අසා උගනුව”යි කී සේක. “ස්වාමීනි! මම කොයි යම් දැ”යි හේ විචාළේ ය. “ගඟින් ඔබ රුහුණු රට තලාධාර පර්‍වත විහාරයෙහි සර්‍වපර්‍ය්‍යාප්තිධර ධර්‍මරක්‍ෂිත නම් ස්ථවිර කෙනෙක් වෙසෙති. ඔවුන් කරා යව”යි කීහ. උන්වහන්සේ ද “මැනව ස්වාමීනි” යි කියා තෙරුන්වහන්සේ වැඳැ පන්සියක් භික්‍ෂුන් සමඟ ධර්‍මරක්‍ෂිත ස්ථවිරයන් කරා එළඹැ වැඳැ එකත්පස් වැ උන්හ. තෙරුන් වහන්සේ විසින් “කුමක් පිණිස ආයේ දැ”යි පුළුවූත්නා ලද්දේ බණ අසනු පිණිස ය”යි කීවේ ය. “ඇවැත් අභය දීර්‍ඝනිකායයෙහි හා මධ්‍යම නිකායෙහි කලින් කල මා විචාරති. සෙසු ධර්‍ම නො බැලූ මට තිස් වසෙක් ගත විය. එසේ වුව ද තෙපි රාත්‍රි කාලයෙහි මා වෙත පිරිවභව. මම තට දහවල් කියමි”යි කී කල්හි “එසේය ස්වාමීනි”යි කියා කී සේ ම කෙළේ ය. පිරිවෙන ඉදිරිපස මහා මඩුවක් කරවා ගම් වැස්සෝ දිනපතා බණ අසනු පිණිස එහි රැස් වෙති. තෙරුන් වහන්සේ රෑ පිරිවැහූ තැන් දහවල් කියමින් පිළිවෙළින් ම දේශනාව නිම කොටැ අභය තෙරුන් ළඟ පත්කඩ අතුට වැඩහිඳ “ආයුෂ්මතුන් වහන්ස! මට කර්‍මස්ථානයක් වදාළ මැනවැ”යි කීහ. “ස්වාමීනි මේ කුමක් කියන සේක් ද මාත් ඔබ සමීපයෙන් ම අසා ගන්නා ලද්දේ නො වේද ඔබ නො දන්නා කුමක් මම කියම්ද”යි කීය. එවිට තෙරුන්නාන්සේ “ඇවැත්නි! මේ අධිගතයන්ගේ මාර්‍ග අනෙකකැ”යි කීහ. එකල අභය ස්ථවිර සෝවාන් වැ සිටියේ ය. හෙතෙමේ උන්වහන්සේට කමටහන් දී අවුත් ලෝවාමහාපායෙහි, ධර්‍ම දේශනා කරන්නේ තෙරුන් වහන්සේ පිරිනිවි සේකැ”යි අසා “ඇවැත්නි මගේ සිව්ර ගෙනෙව”යි කියා සිවුර ගෙන්වා පෙරවා ගෙනැ “ඇවැත්නි! අප ආචාර්‍ය්‍යයන් වහන්සේ‍ගේ අර්‍හත් මාර්‍ගය ඉතා සුදුසුය”යි කීයේ ය. මෙබන්දන්ට ග්‍ර‍න්‍ථ පළිබොධ පිණිස නො වන්නේ ය.

10. සෘද්ධි නම් පෘථග්ජන සෘද්ධි යි. ඒ වනාහි උඩු බැලි හෝනා ළදරුවකු මෙන් ද, පැල ගොයමක් මෙන් ද, බොහෝ උපද්‍ර‍ව ඇති බැවින් ආයාසයෙන් පරිහරණය කළ යුතු ය. ස්වල්ප ප්‍ර‍මාදයකින් බිඳී යන්නේ ය. එහෙයින් එය විදර්‍ශනා ලැබීමට පළිබොධ පිණිස වේ. සමාධියට නම් පළිබෝධ පිණිස නො වේ. කුමක් හෙයින් ද සමාධි ලබා ඉක්බිති සෘද්ධි ලැබිය යුතු බැවිනි. එ හෙයින් විදර්‍ශනා භාවනා කටැටියන් විසින් සෘද්ධි පළිබෝධය සිඳැලිය යුතු ය. සමාධි භාවනා කටැටියන් විසින් සෙසු පළිබෝධ නවය ද සිඳලිය යුතු ය.

පළිබෝධ කථා වර්ණනා නිමියේ ය.