කර්‍මස්ථානදායක

star_outline

කමටහන් දෙන කල්‍යාණ මිත්‍ර‍යන් වහන්සේ නමක් කරා එළඹැ”යි කියූ තන්හි කර්‍මස්ථාන වනාහි සබ්බත්‍ථක කම්මට්ඨානය, පාරිහාරිය කම්මට්ඨානය යි දෙ වැදෑරුම් වේ. (සබ්බත්‍ථක කම්මට්ඨාන නම් ඇම තන්හිදීම වැඩිය යුතු කමටහන්ය. පාරිහාරිය කම්මට්ඨාන නම් නියම වශයෙන් පරිහරණය කළ යුතු කමටහන් ය.) එයින් භික්‍ෂු සංඝාදීන් කෙරෙහි පතුරන මෛත්‍රිය හා මරණ සතිය සබ්බත්‍ථකය. අසුභ සංඥාව ද සබ්බත්‍ථක යයි ඇතැම්හු කියත්. ඒ වඩන ක්‍ර‍මය මෙසේ ය.

කර්‍මස්ථාන ගන්නා යෝගාවචරයා විසින් පළමු කොටැ පරිච්ඡේද වශයෙන් සීමායෙහි වැසි භික්‍ෂු සංඝයා කෙරෙහි “සුවපත් වෙත්වා නිදුක් වෙත්වා”යි මෛත්‍රී වැඩිය යුතුය. ඉක්බිති සීමා වැසි දෙවියන් කෙරෙහි ද, ඉක්බිති ගොදුරු ගම් වැසි ප්‍ර‍භූන් කෙරෙහි ද, ඉක්බිති එහි සාමාන්‍ය මහාජනයා කෙරෙහිද, ඉක්බිති සකල සත්‍වයන් කෙරෙහි ද මෛත්‍රී වැඩිය යුතු. සීමා වැසි සංඝයා කෙරෙහි මෛත්‍රී වැඩීමෙන් සහවාසී භික්‍ෂූන්ගේ සිත්හි මෘදුත්‍වය ඇතිවන හෙයින් ඔහුට එහි සුවසේ විසිය හැකි වන්නේ ය. සීමාවැසි දෙවියන් කෙරෙහි මෛත්‍රී වැඩීමෙන් ඔවුන්ගේ සිත් මෘදු වැ ඔවුන් විසින් තමා ධාර්‍මමික ආරක්‍ෂායෙන් ආරක්‍ෂා කරනු ලබන්නේ ය. ගොදුරු ගම් වැසි ප්‍ර‍භූන් කෙරෙහි මෛත්‍රී වැඩීමෙන් ඔවුන්ගේ සිත් මෘදු වැ ඔවුන් විසින් ධාර්‍මමිකාරක්‍ෂායෙන් ස්වකීය පරිෂකාර ආරක්‍ෂා කරනු ලබන්නේ ය. ගොදුරු ගම් වැසි මහජනයා කෙරෙහි මෛත්‍රී වැඩීමෙන් ඔවුන්ගේ සිත් පැහැදැ ඔවුන් විසින් හෙළා නොදකිනු ලැබ සුවසේ විසිය හැකි වන්නේ ය. සකල සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රී වැඩීමෙන් කිසි තැනෙක ගැටුම නො ලැබැ සතුටින් විසිය හැකි වන්නේ ය.

මරණ සති වැඩීමෙන් මැරෙන බව ඒකාන්තයෙන් සිදු වන්නක් බව සැලකෙන බැවින් අයෝග්‍ය ප්‍ර‍ත්‍යය සෙවීම් හැරැපියා මතු මතු ද සංවේග වඩන්නේ සුදුසු ප්‍ර‍තිපත්තියෙහි පසු නො බස්නා පැවතුම් ඇත්තෙක් වන්නේ ය.

අසුභ සංඥා පුරුදු කළහුගේ සිත දිව්‍ය අරමුණු පවා ලෝභ වශයෙන් ඇදැගන්නට සමර්‍ථ නො වන්නේ ය.

මෙසේ මේ කර්‍මස්ථානත්‍ර‍ය “යෝගාවචරයනට බොහෝ උපකාර වන බැවින් සියලු කර්‍මස්ථාන විෂයෙහි කැමැති විය යුතු බැවින් ද, අභිමත භාවනායෙහි යෙදීමට කාරණ වන බැවින් ද, සබ්බත්‍ථක කම්මට්ඨාන යයි කියනු ලැබේ. (සබ්බත්‍ථ අත්‍ථයිතබ්බා ඉච්ඡිතබ්බංති ච අධිප්පෙතස්ස යොගානුයොග කම්මස්සඨානංචාති සබ්බත්‍ථක කම්මට්ඨානං)

සමසතලිස් කමටහන් අතුරෙන් යම් කමටහනෙක් යමකුගේ චරිතයට අනුකූල වන්නේ නම් එම ඔහු විසින් නිතර පරිහරණය කළ යුතු බැවින් ද, එම මතු මතු භාවනා කර්‍මයට පිහිටි වන බැවින් ද, පාරිහාරිය කම්මට්ඨානයයි කියනු ලැබේ.

මෙසේ මේ විවිධ වූ ම කර්‍මස්ථාන දෙන තැනැත්තේ “කර්‍මස්ථාන දායකයා” යි කියනු ලැබේ.

කල්‍යාණ මිත්‍ර‍යා.

කල්‍යාණ මිත්‍ර‍යා නම්:

“පියො ච ගරුභාවනීයො-වත්තා ච වචනක්ඛමො

ගම්භිරං ච කථං කත්තා - නොව ‘ට්ඨානෙනියොජයෙ”[1]

යනාදීන් දැක්වුණු ගුණවලින් යුත් ඒකාන්ත හිතෛෂි වූ අත වැස්සන්ගේ අභිවෘද්‍ධි සාධන උත්තමයා ය.

යමෙක් ස්වකීය ශීලසම්පත්තියෙන් ආශ්‍රිතයන්ට ප්‍රිය වන්නේ ද, පාෂාණච්ඡත්‍ර‍යක් මෙන් ගරු වන්නේ ද, ගුණ වශයෙන් සම්භාවනා කටයුතු වන්නේ ද, ආශ්‍රිතයන්ට අවවාද කියන්නේ ද, චෝද්‍ය වශයෙන් විචාළ ප්‍ර‍ශ්න ඉවසන සුලු වන්නේ ද, සත්‍ය - ප්‍ර‍තිත්‍යසමුත්පාදාදි ගැඹුරු ධර්‍ම කියා දෙන්නේ ද, ස්වකීය ආශ්‍රිතයන් අස්ථානයෙහි නො යොදන්නේ සුදුසු තන්හි මැ යොදන්නේ ද, හේ කල්‍යාණමිත්‍ර‍ නම් වේ යනු ගාථායෙහි භාවය යි.

“මමං හි ආනන්‍ද කල්‍යාණමිත්තං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්ති”[2] ආනන්‍දය! කල්‍යාණ මිත්‍ර‍ මා කරා එළඹැ ජාතිස්වභාව කොට ඇති සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙන්නාහ.” යනාදීන් වදාළ බැවින් සම්‍යක් සම්බුද්ධයන්වහන්සේ සර්වාකාර සම්පූර්‍ණ කල්‍යාණමිත්‍ර‍ වන සේක. එ බැවින් උන්වහන්සේ ධ්‍රියමාන කල්හි උන්වහන්සේ වෙතින් ගත් කර්‍මස්ථානය ම සුගෘහිත වන්නේ ය. උන්වහන්සේ පිරිනිවි කල්හි අසූමහ සව්වන් අතුරෙන් යම් කෙනෙකුන් වහන්සේ ගෙන් ගන්නට වටනේ ය. ඔවුන් වහන්සේ පිරිනිවි කල්හි තමා යම් කමටහනක් ගනු කැමැති නම් ඒ කමටහන මැ ගෙනැ චතුෂ්ක-පඤ්චක ධ්‍යාන උපදවා ඒ ධ්‍යාන පදස්ථාන කොටැ විදර්‍ශනා වඩා රහත් වූ ක්‍ෂීණාශ්‍ර‍වයන් වහන්සේ වෙතින් ගත යුතු.

කිම? රහත් හු තමන් රහත් බව කියා පාත් ද? හැයි! භාවනා කරන්නකු බව දැනැ ගත් කල්හි කියා පාති. අස්සගුත්ත තෙරුන්නාන්සේ “මේ භික්‍ෂු කමටහන් වඩන්නෙකි. මේ කාරකයෙකැ”යි දැනැ අහස සම්කඩ අතුට ඊමත්තේ පළඟින් හිඳැ කර්‍මස්ථාන වදාළසේක් නො වේද එබැවින් ක්‍ෂීණාශ්‍ර‍වයෙකු ලද නම් ඒ යහපති. ඉදින් නො ලද නම් අනාගාමීන් වෙතින් ද ඔවුන් නො ලද නම් සකෘදාගාමි, සෝවාන්, ධ්‍යාන ලාභී, පෘථග්ජන, ත්‍රිපිටක ධර, ද්විපිටක ධර, එකපිටක ධරයන් වෙතින් ද, පිළිවෙළින් ගත යුතුය. ඒකපිටකධරයකුදු නැති කල්හි අටුවා සමග එක සහියක් ධරන ලජ්ජික විසින් ගත යුතු යි. එ බඳු ලජ්ජි වූ තන්තිධර වූ බුද්‍ධවංශාරක්‍ෂක වූ ආචාර්‍ය්‍ය ප්‍රවෙණිය පාලක වූ ආචාර්‍ය්‍ය තෙමේ ආචාර්‍ය්‍ය මතයෙහි පිහිටි හෙයින් ආචරිය මතික වන්නේ ය. ස්වමත සංඛ්‍යාත අත්තනොමතයෙහි නො පිහිටි හෙයින් අත්තනෝමතික නො වන්නේ ය. එ හෙයින් මැ පුරාතන තෙරවරු “ලජ්ජිරක්ඛිස්සති ලජ්ජිරක්ඛස්සති” “ලජ්ජියාම ශාසනය රැක ගන්නේ ය, ලජ්ජියාම ශාසනය රැක ගන්නේ ය”යි හඩ නැඟූහ.

තව ද කිය යුත්තෙක් ඇති. යට දැක්වුණු රහතන් වහන්සේ ආදි ඇත්තෝ තමන් අධිගත මාර්‍ගය ම කියා දෙති. බහුශ්‍රැත භික්‍ෂු එසේ නොවේ. හේ වනාහි ඒ ඒ ආචාර්‍ය්‍යවරයන් කරා එළඹැ කර්‍මස්ථානයන්ට යෝග්‍ය වූ පෙළ අටුවා ශුද්ධි කැරැ ගත් බැවින් සඟවලින් ඔබින් මොබින් සූත්‍ර‍ ද කරුණු ද ගෙන හැරැ දක්වා සප්පාය අසප්පාය කියා දී ඝන වන ලැහැබෙහි ගමන් ගත් ඇතකු මෙන් මහ මඟ දක්වමින් කමටහන් කියන්නේ ය. එ බැවින් එ බඳු කර්‍මස්ථාන දායක කල්‍යාණ මිත්‍ර‍යා කරා එළඹැ උන්වහන්සේට වත පිළිවෙත කොටැ කමටහන් ගත යුතු යි.

එබඳු උත්තමයෙක් තමා වසන විහාරයෙහි මැ ඇත් නම් ඒ යහපති. “එබඳු තැනකට යමි” යි කියා පා සෝදා තෙල් ගල්වා වහන් පයලා කුඩ අල්වා තෙල් නළ මීපැණි ගෙන්වා ගෙනැ අතවැස්සන් පිරිවරා නො යා යුතු. ගමික වත් පුරා ස්වකීය පා-සිවුරු තමා ම ගෙනැ අතරමඟ පැමිණි සියලු විහාර ස්ථානයන්හි වත පිළිවෙත කරමින් සැහැල්ලු පිරිකර ධරා පරමසල්ලෙඛ වෘතයෙන් යා යුතු. විහාරයට ඇතුල් වන්නාහු විසින් අතර දී ම දැවටු කප්පියම් කරවා ගෙනැ යා යුතු. “මොහොතක් විඩා හැරැ පා සෝදා තෙල් ගල්වා ගෙනැ පසු වැ ආචාර්‍ය්‍යයන් වහන්සේ සමීපයට යමි” පළමු වැ අන්‍ය පිරිවෙනකට ඇතුළු නො විය යුතු. කුමක් හෙයින් ද එහි ඒ ආචාර්‍ය්‍යයන් වහන්සේට විසභාග භික්‍ෂූහු වෙසෙත් නම් ඔව්හු තමන් ආ කාරණය අසා උන්වහන්සෙගේ අගුණ කියා පා “තෙපි එතනට අවුනම් නටුවහු ය”යි ආපසු යන පරිදි විපිළිසර උපදවිය හැකි බැවිනි. එහෙයින් ඒ ආචාර්‍ය්‍යයන් වැඩ වසනා තැන් විචාරා ඉඳුරා එහිම යා යුතු. ආචාර්‍ය්‍යයන් බාල වුවද පා සිවුරු ගැනීම් ආදිය නො ඉවසිය යුතු. වැඩිමහලු නම් ගොස් උන්වහන්සේ වැඳැ සිටිය යුතු. පාසිවුරු තබන්න ඇවැත්නි! කී කල තැබිය යුතු. පැන් වළඳන්න”යි කී කල අභිමත නම් වැළඳිය යුතු. “පා සෝදා ගන්නැ”යි කී පමණින් නො සේදිය යුතු. ආචාර්‍ය්‍යයන් වහන්සේ පෙරහා තුබූ දිය නම් එයට නො සුදුසු බැවිනි. “ඇවැත්නි! පා සෝදනු ජලය මා ගෙනාපූයේ නො වේ. අන්‍යයන් විසින් ගෙනෙන ලද්ද”යි කී කල ආචාර්‍ය්‍යයන්ට නො පෙනෙන මානයේ ප්‍ර‍තිච්ඡන්න ස්ථානයෙක හෝ අභ්‍යවකාශ විහාරයාගේ එකත් පසෙක හෝ හිඳැ පා සේදිය යුතු. තෙල් නළ ගෙනවුත් දුන්නු නම් නැගිටැ දොහොතින් සකසා පිළිගත යුතු. ඉදින් නො ගත්තේ නම් “මේ භික්‍ෂු දැන් ම පටන් සම්භෝග කෝප්‍ය කරන්නේ ය”යි ආචාර්‍ය්‍යයන්ට සිතිය හැකි බැවිනි. ගත් ගමන් ම තෙල් පාදයෙහි නො ගැල්විය යුතු. එය ආචාර්‍ය්‍යයන්ගේ ශරීරයෙහි ගල්වන තෙලක් නම් නුසුදුසු බැවිනි. එ බැවින් පළමු කොට, හිස ගල්වා පසුවැ පිටිකර ආදියෙහි ගැල්විය යුතු. ඇවැත්නි! මෙය සියල්ලට පරිහරණය පිණිස තිබෙන තෙලෙකි. පාදයෙහි ද ගල්ව”යි කියන ලද නම් එසේ ගල්වා ගෙනැ “ස්වාමීනි තෙල් නළ තබන්නදැ?” යි කියා ආචාර්‍ය්‍යයන් ගන්නා කල දිය යුතු. ගිය දවස් පටන් ම “ස්වාමීනි! මට කර්‍මස්ථානයක් දී වදාරන්නැ”යි නො කිය යුතු. දෙවන දවස පටන් ආචාර්‍ය්‍යයන්ට ප්‍ර‍කෘති උපස්ථායකයෙක් ඇත් නම් ඔවුන්ගෙන් ඉල්වා ගෙනැ වත් කළ යුතු. ඉල්ලූ කල ද නො දෙත් නම් අවකාශ ලත් විටෙක කළ යුතු. වත් කරන්නහු විසින් කුඩා වූ ද මධ්‍යම වූ ද මහත් වූ දැන් තුන් ආකාර වූ ම දැවටු පිරිනැමිය යුතු සීත වූ ද උෂ්ණ වූ දැ යි දෙවැදෑරුම් මුව දෝනා ජලය හා නහන ජලය ද පිළියෙළ කළයුතු. ආචාර්‍ය්‍යයන් එයින් යමක් පරිභෝග කෙළේ නම් නිතර එයම එළවිය යුතු. නියම නැති වැ යම් යම් දෙයක් පරිභෝග කරත් නම් ලද සැටියෙන් එළවිය යුතු. බොහෝ කොටැ කීමෙන් කිම? භගවත් බුදුන්වහන්සේ විසින් “අන්තෙ වාසිකෙන භික්ඛවෙ ආචාරියමහි සම්මා වත්තිතබ්බං තත්‍රායං සම්මා වත්තනා, කාලස්සෙව වුට්ඨාය උපාහනා ඔමුඤ්විත්‍වා එකංසං උත්තරාසංගං කරිත්‍වා දන්නකට්ඨාං දාතබ්බං. මුඛොදකං දාතබ්බං. ආසනං පඤ්ඤාපෙතබ්බං. සචෙයාගු හොති භාජනං ධොවිත්‍වා යාගු උපනාමෙතබ්බ”[3] යනාදීන් ඛන්‍ධකයෙහි පණවා වදාළ සියලු වත් මැනෙවින් කළ යුතු. “මහණෙනි! අතවැස්සා විසින් ආචාර්යයන් කෙරෙහි මනා වැ පැවතිය යුතු. මේ ඒ මනා පැවැත්ම යි. උදැසන්හි ම නැගිටැ වහන් ගළවා උත්තරාසංගය සකස් කොටැ පෙරවැ දැවටු දඬු දිය යුතු. මුව දෝනා ජලය දිය යුතු. අසුන් පැණවිය යුතු. කැඳ ඇත්නම් භාජනය සෝදා කැඳ පිළිගැන්විය යුතු.” යනු එහි අදහස යි.

මෙසේ වත්තසම්පත්තියෙන් ආචාර්‍ය්‍යයන්ගේ සිත් ගන්නහු විසින් සවස වැඳැ “යව”යි කී කල යා යුතු. යම් දවසෙක “කුමක් සඳහා ආයෙහි දැ”යි විචාරණ ලද්දේ නම් එදින ආ කාරණය කිය යුතු. එසේ නො විචාරන්නේ මැ වත් ඉවසා නම් දස දවසක් හෝ පසළොස් දවසක් හෝ ඉක්මුණු කල්හි දිනෙක “යව” යි කියද්දී ද නො ගොස් අවසරය ලබා ගෙනැ පැමිණි කාරණය දැන්විය යුතු. අවේලාවෙක හෝ ගොස් කුමක් සඳහා ආයේදැ”යි විචාළ කල දැන්විය යුතු. ඉදින් “උදෑසන ම එව”යි කීයේ නම් උදෑසනම යා යුතු. ඒ නියමිත වේලායෙහි පිත් ලෙඩකින් කුස දැවේ නම් අග්නිය අඩු බැවින් අහර හෝ නො දිරා නම් අනෙක් රෝගයකින් හෝ පෙළේ නම් ඒ බව තතු පරිදි දන්වා තමහට සප්පාය වේලාව සැල කොටැ ඒ වේලායෙහි එළඹිය යුතු. අසප්පාය වේලායෙහි කියා දෙනු ලබන කර්‍මස්ථානය මෙනෙහි කරන්නට නො හැකි බැවිනි.

“කමටහන් දෙන කල්‍යාණ මිත්‍ර‍යා කරා එළඹැ”

යන්නෙහි විස්තරය නිමියේ ය.

“ස්වකීය චරිතානුකූල වූ කර්‍මස්ථානයක් ලබා ගෙනැ” යන මෙහි චරිත වනාහි රාගචරිත, ද්වෙෂචරිත, මෝහචරිත, ශ්‍ර‍ද්ධාචරිත, බුද්ධිචරිත, විතර්‍කචරිත යයි සවැදෑරුම් වේ. ඇතැම්හු රාගද්වේෂචරිත, රාගමොහචරිත, ද්වේෂමොහචරිත, රාගද්වේෂමොහචරිත යයි සතරෙක් ද, ශ්‍ර‍ද්‍ධාබුද්‍ධිචරිත, ශ්‍ර‍ද්‍ධාවිතර්‍කචරිත, බුද්ධිවිතර්‍කචරිත, ශ්‍ර‍ද්‍ධාබුද්ධිවිතර්‍කචරිත යන සතරෙක් දැ යි සංසර්‍ග සන්නිපාත වශයෙන් ලැබෙන අට සමඟ චරිත තුදුසක් දක්වති. එසේ භේද දක්වත් හොත් රාගාදිය ශ්‍ර‍ද්ධාදිය සමග එක් කිරීමෙන් අනෙක විධ චරිත කිය යුතු ය. එහෙයින් සැකෙවින් චරිත සය මැ ය යි දත යුතු. චරියා ප්‍ර‍කෘති උත්සන්නතා යනු දු අර්‍ත වශයෙන් මැ යි. (“රාගාදීහු මැ සන්තානයෙහි උත්සන්න භාවයෙහි පවත්නා හෙයින් චරියා නමුදු වෙති. ප්‍ර‍තිපක්‍ෂ භාවනාවක් නැති කල්හි ඒ ඒ සතන්හි ස්වභාව හෙයින් ප්‍ර‍කෘති නමුදු වෙති. අන්‍ය ධර්‍මයන්ට වඩා අධික විසින් උත්සත්තතා නමුදු වෙත්” යනු පැරකුම්බා සන්න යි.

මේ චරිතයන්ගේ වශයෙන් පුද්ගලයෝ රාගචරිතයා ය, ද්වේෂචරිතයා ය, මොහ්චරිතයා ය, ශ්‍ර‍ද්‍ධාචරිතය ය, බුද්ධිචරිතයා ය, විතර්‍කචරිතයා යි සදෙනෙක් වෙත්.

ඔවුන් අතුරෙන් රාගචරිතයාහට වනාහි කුශල ප්‍ර‍වෘත්ති සමයෙහි ශ්‍ර‍ද්‍ධාව බලවත් වේ. ශ්‍ර‍ද්‍ධාව රාගයට ආසන්න ගුණ ඇති බැවිනි.

ඒ එසේ මැ යි:- අකුශල පක්‍ෂයෙහි වූ රාගය සිනිඳු ය. අතිරූක්‍ෂ නැත. එසේම කුශල පක්‍ෂයෙහි වූ ශ්‍ර‍ද්‍ධාව සිනිඳු ය. අතිරූක්‍ෂ නැත. රාගය වස්තුකාම සොයන්නේ ය. ශ්‍ර‍ද්‍ධාව ශීලාදි ගුණ සොයන්නේ ය. රාගය තමහට අහිත දේ නො හරින්නේ ය. ශ්‍ර‍ද්‍ධාව හිත දේ නො හරින්නේ ය. මෙසේ බැවින් රාගචරිතයාහට ශ්‍ර‍ද්‍ධාචරිතයා සභාග යි.

ද්වේෂ චරිතයාහට කුශල ප්‍ර‍වෘත්ති සමයෙහි බුද්ධිය බලවත් වේ. බුද්ධිය ද්වේෂයට ආසන්න ගුණ ඇති බැවිනි.

ඒ එසේ මැ යි:- අකුශල පක්‍ෂයෙහි වූ ද්වේෂය ස්නේහ රහිත ය. අරමුණෙහි නො ඇලෙන්නේ ය. එසේ ම කුශල පක්‍ෂයෙහි බුද්ධිය ස්නේහ රහිත ය. අරමුණෙහි නො ඇලෙන්නේ ය. ද්වේෂය නැති වරද ද සොයන්නේ ය. බුද්ධිය ඇති වරද සොයන්නේ ය. ද්වේෂය සත්ත්‍වයන් දුරු කරන ආකාරයෙන් පවත්නේ ය. බුද්ධිය සංස්කාරයන් දුරු කරන ආකාරයෙන් පවත්නේ ය. මෙසේ බැවින් ද්වේෂ චරිතයාහට බුද්ධි චරිතයා සභාග යි.

මෝහ චරිතයාහට නූපන් කුසල් උපදවන්නට ව්‍යායාම කරත් ම බොහෝ සෙයින් අන්තරායකර විතර්‍ක උපදී. විතර්‍කය මෝහයට ආසන්න ලක්‍ෂණ ඇති බැවිනි.

ඒ එසේ මැයි - මෝහය අරමුණෙහි ව්‍යාකුල වැ පවත්නා බැවින් අනවස්ථිත ය. විතර්‍කය නා නා ප්‍ර‍කාර විතර්‍ක කරන බැවින් අනවස්ථිතය. මෝහය ස්වභාව අවබෝධ වශයෙන් අරමුණෙහි නො බැසැ පවත්නා බැවින් චඤ්චල ය. විතර්‍කය ලඝු වූ කල්පනා ඇති බැවින් චඤ්චල ය. මෙසේ බැවින් මෝහ චරිතයාහට විතර්‍ක චරිතයා සභාග යි.

තවද, ඇතැම් කෙනෙක් තෘෂ්ණාචරිත - මානචරිත - දෘෂ්ටි චරිත වශයෙන් අන්‍ය වූත් චරිත තුනක් දක්වති. එහි තෘෂ්ණා නම් රාග ය. මානය රාගය හා සම්ප්‍ර‍යුක්ත ය. එබැවින් ඒ තෘෂ්ණා - මාන දෙක රාග චරිතය ම අනුව යන්නේ ය. දෘෂ්ටිය මෝහ නිදාන කොටැ ඇති බැවින් දෘෂ්ටිචරිතය මෝහචරිතයෙහි ම වැටෙන්නේ ය.

චරිත නිදානාදිය

1. මේ සවැදෑරුම් චරිතයන්ගේ නිදාන කිමෙක් ද

2. මේ රාග චරිතයා ය. මේ ද්වේෂ චරිතයාය යනාදිය කෙසේ දත හැකි ද

3. කවර චරිතයක් ඇති පුද්ගලයෙකුට කිමෙක් සප්පාය ද

1. රාගචරිත, ද්වේෂචරිත, මෝහචරිත යන මුල දැක්වුණු චරිත තුන පූර්‍වජාතික පුරුද්ද නිදාන කොට ඇත්තේ ය යි ද; පඨවි, ආප, තේජෝ, වායු යන ධාතු යන ධාතු හා වා, පිත්, සෙම් යන දොස් නිදාන කොට ඇත්තේ ය යි ද සමහරු කියත්. (සමහරු යන්නෙන් විමුක්තිමාර්‍ග කර්‍තෘ වූ උපතිස්ස ස්ථවිරයන් ගන්න.)

ඒ එසේ මැ යි:- පූර්‍ව ජන්මයෙහි ඉෂ්ට ක්‍රියා බහුල කොටැ ඇත්තේ ද, දෙව් ලොවින් චුත වැ මෙහි උපන්නේ ද, රාගචරිතයෙක් වේ. පූර්‍ව ජන්මයෙහි අත් පා සිඳුම් වධ බන්‍ධන වෛර ක්‍රියා බහුල කොටැ ඇත්තේ ද, නිරයෙන් හෝ නාග යෝනියෙන් චුත වැ මෙහි උපන්නේ ද, ද්වේෂ චරිතයක් වේ. පූර්‍ව ජන්මයෙහි බහුල වැ මත්පැන් පානය කෙළේ ද, ධර්‍ම ශාස්ත්‍ර‍ අභ්‍යාස නො කෙළේ ද, තිරිසන් යෝනියෙන් චුත වැ මෙහි උපන්නේ ද මෝහචරිතයෙක් වෙයි. පෙර පුරුද්ද නිදාන කොටැ ඇතැයි කීයේ මේ සඳහා ය.

පෘථිවි ධාතු හා අබ් ධාතු උත්සන්න පුද්ගලයා මෝහ චරිතයෙක් වේ. තේජෝ ධාතු හා වායෝ ධාතු උත්සන්න පුද්ගලයා ද්වේෂචරිතයෙක් වේ. මේ සිව් ධාතු සම වැ ඇති පුද්ගලයා රාගචරිතයෙක් වෙයි.

“සෙමින් ශුක්‍ර‍ ප්‍රාබල්‍ය වන බැවින්” සෙම අධික කොට ඇත්තේ රාග චරිත වේ. “වාතය වියවුල් වැ පවත්නා බැවින්” වාතය අධික කොටැ ඇත්තේ මෝහචරිත වේ. නැතහොත් සෙම අධික කොටැ ඇත්තේ මෝහ චරිත වේ. වාතය අධික කොටැ ඇත්තේ රාග චරිත වෙයි. ධාතු හා දෝෂ නිදාන කොට ඇතැයි කීයේ මේ සඳහා ය.

(මෙසේ විමුක්තිමාර්ග මතය දක්වා ඉක්බිති එහි දොස් කියති.)

පූර්‍ව ජන්මයෙහි ඉෂ්ට ක්‍රියා ශුභ ක්‍රියා බහුල කොටැ ඇති වූ ද, දෙව් ලොවින් චුත වැ මෙහි උපන්නා වූ ද, සියල්ලෝ රාගචරිතයෝම නො වෙති. එයින් අන්‍යයෝ හෝ ද්වේෂමෝහචරිතයෝ නොවෙති. එසේ ම ධාතුන් පිළිබඳ යට දැක්වුණු උත්සද නියමයෙක් ද නැත. දෝෂ නියම කළ තන්හි දු රාග මෝහ දෙකම කියන ලදි. භෙද පූර්‍වාපර විරුද්ධ ය. (“සෙම්භාධිකො රාග චරිතො”යි කියා නැවත “සෙම්භාධිකො මොහචරිතො”යි ද “වාතාදිකො මොහචරිතො” යි කියා නැවත “වාතාධිකො රාගචරිතො” යි කී බැවින් පූර්‍වාපර විරුද්ධ යි.) ශ්‍ර‍ද්ධාචරිතාදින් පිළිබඳ එක නිදානයකු දු නො කියන ලද්දේ ය. එබැවින් ඒ සියල්ල නුවණින් විනිශ්චය කොටැ කියන ලද්දේ නො වේ යයි දත යුතු.

චරිත පිළිබඳ අත්‍ථ කථාචාර්‍ය්‍ය මතානුසාර විනිශ්චය මෙසේ ය.

කියන ලද මැයි විපාකකථා උත්සද කීර්‍තනයෙහි.

“ඉමෙ සත්තා පුබ්බහෙතු නියාමෙන ලොභූස්සදා දොසුස්සදා මොහුස්සදා අලොභුස්සදා අදොසුස්සදා අමොහුස්සදා ච හොන්ති” මේ සත්ත්‍වයෝ පූර්‍ව හේතු නියමයෙන් ලෝභොත්සන්න ද, ද්වේෂොත්සන්න ද, මෝහෝත්සන්න ද, අලෝභෝත්සන්නද, ද්වේෂොත්සන්න ද, අමෝහෝත්සන්න ද වෙති. එහි විස්තර මෙසේ ය.

කර්‍ම කරන කාලයෙහි යමෙකුගේ ලෝභය බලවත් වැ අලෝභය දුබල වේ ද, ද්වේෂය හා අමෝහය බලවත් වැ ද්වේෂ-මෝහ දුබල වේ ද, ඔහුගේ දුබල වූ අලෝභය ලෝභය මැඩපියන්නට සමර්‍ථ නොවේ. බලවත් වූ ද්වේෂ හා අමෝහ ද්වේෂ - මෝහ මැඩැලන්නට සමර්‍ථ වේ. එසේ හෙයින් එබඳු කර්‍මයෙන් උපන් පුද්ගලයා ලෝභී වූ - ක්‍රෝධ රහිත ස්වභාව ඇති විදුරු නුවණින් යුක්තයෙක් වන්නේ ය.

කර්‍ම කරන කාලයෙහි යමෙකුගේ ලෝභ ද්වේෂ බලවත් වැ අලෝභ හා ද්වේෂ දුබල වේ ද, අමෝහය බලවත් වැ මෝහය දුබල වේ ද එබඳු කර්‍මයෙන් උපන් පුද්ගලයා දත්තාභය තෙරුන් මෙන් ලෝභී වූ ද, ක්‍රෝධ කරන සුලු වූ ද, විදුරු නුවණැතියෙක් වන්නේ ය.

යමකු කර්‍ම කරන කාලයෙහි ලෝභ- මෝහ බලවත් වැ ද්වේෂ දුබල වේ ද, හෙතෙමේ ලෝභී වූ ද, මූඪ වූ ද, ක්‍රෝධ නො කරන සුල්ලෙක් වන්නේ ය.

යමකු කර්‍ම කරන කල්හි ලෝභ-ද්වේෂ-මෝහ යන තුන් හේතුම බලවත් වැ අලෙම්භ-ද්වේෂ-අමෝහ දුර්‍බල වේ ද, හෙතෙමේ ලෝභී වූ ද, ක්‍රෝධ කරන සුලු වූ ද, මුඪයෙක් වන්නේ ය.

යමකු කර්‍ම කරන කල්හි අලෝභ බලවත් වැ ලෝභ දුර්ලබ වේද, ද්වේෂ-මෝහ බලවත් වැ ද්වේෂ - අමෝහ දුර්බල වේ ද හෙතෙමේ නිර්‍ලෝභ වූ දිව්‍ය අරමුණු දැක කම්පිත නො වන මඳ කෙලෙස් ඇතියෙක් වේ. එසේ වුව ද කිපෙනසුලු මන්‍ද බුද්ධිකයෙක් වන්නේ ය.

යමකු කර්‍ම කරන කල්හි අලෝභ-ද්වේෂ බලවත් වැ ලෝභ-ද්වේෂ දුර්බල වේ ද මෝහ බලවත් වැ අමෝහ දුර්බල වේ ද හෙතෙමේ යට දැක්වුණු සේ ම නිර්‍ලෝභ- නො කිපෙන සුල්ලෙක් වේ. එහෙත් මූඪ වන්නේ ය.

යමකු කර්‍ම කරන කල්හි අලෝභ-අමෝහ බලවත් වැ ලෝභ-මෝහ දුර්බල වේ ද ද්වේෂ බලවත් වැ ද්වේෂ දුර්බල වේ ද, හෙතෙමේ පෙර කී සේ නිර්ලෝභ ප්‍රාඥයෙක් වේ. එහෙත් දුෂ්ට වූ කිපෙන සුල්ලෙක් වන්නේ ය.

යමෙකු කර්‍ම කරන කල්හි අලෝභාදි හේතු ත්‍ර‍ය බලවත් වැ ලෝභාදි හේතු ත්‍ර‍ය දුර්බල වේ ද, හෙතෙමේ මහා සංඝරක්‍ෂිත තෙරුන් මෙන් නිර්‍ලොභ වූ ද අක්‍රෝධන වූ ද ප්‍රාඥ වූ ද උතුමෙක් වන්නේ ය.

කිය යුත්තෙක් ඇති. මෙහි ලෝභියා ය යි කියන ලද්දේ රාගචරිතයා ය. කිපෙන සුල්ලා ය යි කියන ලද්දේ ද්වේෂ චරිතයා ය, මූඪයාය යි කියන ලද්දේ මෝහචරිතයා යි. ප්‍රාඥ නම් බුද්ධචරිතයා ය. ලෝභ-ද්වේෂ නැති තැනැත්තේ ප්‍ර‍සන්න ප්‍ර‍කෘතික බැවින් ශ්‍ර‍ද්ධිචරිතයා ය. තවද අමෝහ පරිවාර කර්‍මයෙන් උපන් තැනැත්තා බුද්‍ධිචරියා වන්නා සේ ම බලවත් ශ්‍ර‍ද්ධා පරිවාර කර්‍මයෙන් උපන් තැනැත්තේ ශ්‍ර‍ද්ධාචරිතයා ය. කාමවිතර්‍කාදිය පියවර කොට ඇති කර්‍මයෙන් උපන්නේ විතර්‍කචරිතයා ය. ලෝභාදිය මිශ්‍ර‍ කොට ඇති කර්‍මයෙන් උපන්නේ මිශ්‍ර‍චරිතයා යි.

මෙසේ ලෝභාදීන් අතුරෙන් යම් කිසිවක් පියවර කොට ඇති ප්‍ර‍තිසන්‍ධි ජනක කර්‍මය චරිත පිළිබඳ නිදාන ය යි දත යුතුයි.

2. මේ රාගචරිතයා ය, මේ ද්වේෂචරිතයා ය යනාදිය කෙසේ දත හැකි ද

“ඉරියාපථතො කිච්චා - භොජනා දස්සනාදිතො

ධම්මප්පවත්තිතො චෙච - චරියායො විභාවයෙ”

‘ඉරියව් වශයෙන් ද, කෘත්‍ය වශයෙන් ද, වැළඳීම් වශයෙන් ද, දර්‍ශනාදි වශයෙන් ද, ධර්‍ම ප්‍ර‍වෘත්ති වශයෙන් ද, චරිත දැනැ ගන්නේ ය’

  1. ප:දි: පකිණ්ණක කථා 225?

  2. සං:නි: කොසලසංයුත්ත 53

  3. ම:ව: මහාක්ඛන්‍ධක 58