10. චරියානුකුල වශයෙන්

දස අසුභ - කායගතාසති යන මේ එකොලොස රාගචරිතයාට ද, සතර බ්‍ර‍හ්මවිහාර - නීලාදි වර්‍ණ කසිණ සතර යන අට ද්වේෂචරිත යාට ද එකම ආනාපාණසතිය මෝහචරිතයාට හා විතර්‍කචරිතයාට ද අනුකූල වේ. ශ්‍ර‍ද්ධාචරිතයාට වනාහි බුද්ධානුස්සති ආදි ප්‍ර‍ථම අනුස්සති සය ද, බුද්ධිචරිතයා හට මරණ සති - උපසමානුස්සති - චතුධාතු වවත්‍ථාන - ආහාර ප්‍ර‍තිකුල සංඥා සතර ද අනුකුල වේ. වර්‍ණ කසිණ සතර හැර සෙසු කසිණ ද, සතර ආරුප්‍ය ද සියල්ලන්ට අනුකුල වේ. කසිණයන්හි දු පරිත්ත කසිණය විතර්‍ක චරිතයාට ද අප්‍ර‍මාණ කසිණය මොහචරිතයාට ද අනුකුල වන්නේ ය.

මේ චරියානුකුල වශයෙන් කර්‍මස්ථාන විනිශ්චය යි.

රාගචරිතාදීන්ට අශුභාදි වශයෙන් ද ශ්‍ර‍ද්ධාචරිතාදීන්ට බුද්ධානුස්සති ආදි වශයෙන් ද, යට දැක්වුණු මේ සියල්ල ඉඳුරා ප්‍ර‍තිපක්‍ෂ වශයෙන් හා අතිසප්පාය වශයෙන් කියන ලදැ යි දත යුතු. හුදෙක් රාගාදීන් ඔබ නො ලන ශ්‍ර‍ද්ධාදීන්ට හෝ උපකාර නො වන, කුශල භාවනාවෙක් නැත.

වදාළේ මැයි:- මෙඝිය සූත්‍රයෙහි, “චත්තාරො ධම්මා උත්තරිං භාවෙතබ්බා ව්‍යාපාදස්ස පහාණාය, ආනාපාණසති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය, අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමාන සමුග්ඝාතාය”[1] ශීලසම්පත්, කල්‍යාණමිත්‍ර‍ත්‍ව, සප්පාය ධර්‍ම ශ්‍ර‍වණ වීර්‍ය්‍ය ප්‍ර‍ඥා යන මේ පඤ්චධර්‍මයෙහි පිහිටීමෙන් මත්තෙහි ධර්‍ම වැඩිය යුතු. රනම් රාගප්‍ර‍හාණය පිණිස අශුභ වැඩිය යුතු ව්‍යාපාදප්‍ර‍හාණය පිණිස මෛත්‍රි වැඩිය යුතු. විතර්‍ක සිඳලීම පිණිස ආනාපානසති වැඩිය යුතු. අස්මිමාන විනාශය පිණිස අනිත්‍යසංඥා වැඩිය යුතු. යනු එහි භාවය යි. මෙසේ එකකුට සතර චරිතයක් නැත ද සතර කමටහන් සියලු කෙලෙස් විෂ්කම්භනය කරන්නේය යි ද, සියලු කුසල් වඩන්නේය යි ද දත යුතු.

තව ද “මෙත්තං රාහුල භාවනං භාවෙහි[2] යනාදීන් රාහුල සූත්‍රයෙහි දු එක ම තෙරුන්ට සතර බ්‍ර‍හ්මවිහාර, අශුභ, කායගතාසති, ආනාපාණසති යන කමටහන් සතක් වදාළ බැවින් අසවල් කමටහන අසවලාට සප්පාය වේය යි දැක්වූ වචන මාත්‍රයෙහි ම නො පිහිටා සියලු තැන අභිප්‍රාය සෙවිය යුතු යි. එය යට දැක්විණි.

“කර්මස්ථානයන් ගෙනැ” යන මෙහි කර්‍මස්ථාන කථා විනිශ්චය යි.

“කර්මස්ථානයන් ගෙනැ” යන මෙහි “ගෙනැ” යන පදය පිළිබඳ අර්‍ථප්‍ර‍කාශය මෙසේ දත යුතු යි. යට දැක්වුණු පරිදි යෝගාවචරයා විසින් කමටහන් දෙන කල්‍යාණමිත්‍ර‍යකු කරා එළඹැ භගවත් බුදුන්වහන්සේ වෙත හෝ ආචාර්‍ය්‍යවරයාණන් වෙත ආත්මය පාවා දී පුර්‍ණාධ්‍යාශයයෙන් හා ඵූර්‍ණාධිමුක්තියෙන් යුක්ත වැ කමටහන් ඉල්විය යුතුයි. “ඉමාහං භගවා අත්තභාවං තුම්හාකං පරිච්චජාමි” “භාග්‍යවතුන් වහන්ස! මම ඔබ වහන්සේ වෙත මගේ ආත්මය පාවා දෙමි” යි කියා බුදුරජාණන් වහන්සේට ආත්මය පාවාදිය යුතු. එසේ පාවානොදී ගැඹුල් වල් සෙනස්නෙහි වසන කල බිහිසුණු අරමුණු එළඹියහොත් ස්ථිර වැ සිට ගන්නට නොහැකි වේ. එයින් හෙතෙමේ ග්‍රාමාන්තයට බැසැ පියා ගිහියන් හා හැණි අනේසනයන්ට ද පැමිණැ මහා විනාශයට පැමිණෙන්නේ ය. ආත්මභාවය පාවා දුනහොත් එබඳු බිහිසුණු අරමුණු එළඹැ සිටියත්, බිය නොවන්නේ ය. “පණ්ඩිතය තොප විසින් තොපගේ ආත්මය පළමුකොට ම බුදුරජාණන් වහන්සේට පාවා දෙන ලද්දේ නොවේ දැ”යි සැලකෙන විට සොම්නස්ව උපදින්නේ ය. උතුම් කසීසළුවක් ඇතියෙක් එය මීයන් හෝ පණුවන් හෝ කෑ කල දොම්නස් වන්නේ නමුදු එය අචීවරික භික්‍ෂූන් වහන්සේ නමකට දී උන්වහන්සේ එය කඩ කඩ කොට ඉරන කල්හි සොම්නස් ම වන්නේ ය. මේත් එබඳු යයි දතයුතු.

ආචාර්‍ය්‍යයන්ට පාවා දෙතොත් “ඉමාහං භන්තෙ අත්තභාවං තුම්හාකං පරිච්චජාමි” “ස්වාමීනි මම මගේ ආත්මභාවය ඔබවහන්සේට පරිත්‍යාග කරමි”යි කියා පාවාදිය යුතු. එසේ පාවා නුදුන හොත් හෙතෙම ආචාර්‍ය්‍යයන් විසින් තර්‍ජනය කටයුත්තෙක් නොවේ. දුර්‍වච වේ. අවවාදක්‍ෂම නොවේ. ආචාර්‍ය්‍යයන් නො විචාරාම කැමති අතෙක යන්නෙක් වේ. එවිට එබන්දහුට ආචාර්‍ය්‍යවරයෝ ආමිසයෙන් හෝ ධර්‍මයෙන් සංග්‍ර‍හ නො කෙරෙති. ගැඹුරු ග්‍ර‍න්‍ථ නො උගන්වති. එවිට හෙතෙමේ එකී දෙවැදෑරුම් සංග්‍ර‍හ නො ලබන්නේ ශාසනයෙහි පිහිට නො ලබා නොබෝ කලකින්ම දුශ්ශීල බවට හෝ ගෘහස්ථ බවට පැමිණේ. ආත්මභාවය පාවා දුනහොත් තර්‍ජනීය නො කළයුත්තෙක් නොවේ. හිතු අත යන්නේ නො වේ. සුවච ව ආචාර්‍ය්‍යයන් අයත් පැවතුම් ඇත්තෙක් වේ. එයින් හෙතෙමේ ආචාර්‍ය්‍යයන්ගෙන් විවිධ වූ ම සංග්‍ර‍හ ලබමින් චූලපිණ්ඩපාතික තිස්ස තෙරුන්ගේ අතවැසියන් මෙන් ශාසනයෙහි අභිවෘද්ධියට පැමිණෙයි.

චූලපිණ්ඩපාතික තිස්ස තෙරුන්ගේ අතවැසියෝ

උන්වහන්සේ කරා කර්‍මස්ථාන ගන්නා පිණිස ශිෂ්‍යවරයෝ තුන්දෙනෙක් එළඹියාහු ය. එක නමෙක් “ස්වාමීනි! නුඹවහන්සේගේ ප්‍රයෝජනයකට ය යි වදාළහොත් ‘මම සියක් පුරුෂ ප්‍ර‍මාණ ප්‍ර‍පාතයකට පණින්නට පසුබට නොවෙමි”යි කීයේය. එක නමෙක් “ස්වාමීනි මම නුඹවහන්සේගේ ප්‍රයෝජනයකටය යි වදාළහොත්, විලුඹෙහි පටන් ගලක් පිට උලා මුළු සිරුර ගෙවා දමන්නට පසුබට නොවෙමි”යි කීයේය. තුන්වැන්නා කියන්නේ “ස්වාමීනි මම ස්වාමීන්වහන්සේගේ ප්‍රයොජනයකටය යි වදාළත්, හුස්ම හිරකොටැ ගෙන මැරෙන්නට පසුබට නො වෙමි”යි කී යේය. තෙරුන්වහන්සේ “ඒකාන්තයෙන් මොහු භව්‍යයෝ ය”යි ඔවුනට කර්‍මස්ථාන වදාළසේක. ඒ තුන් නම උන්වහන්සේගේ අවවාදයෙහි පිහිටා රහත් බවට පැමිණියාහු ය. ආත්මභාවය පාවා දීමෙහි ආනිසංස මේ ය. ‘භගවත් බුදුන්වහන්සේට හෝ ආචාර්‍ය්‍යවරයනට ආත්මය පාව ද” යනු එහෙයින් කියනන ලදී.

“පූර්‍ණාධ්‍යාශයයෙන් - පූර්ණාධිමුක්තියෙන් යුක්ත වැ”යි කීයේ ඒ යෝගීහු විසින් අලෝභාදි වශයෙන් පූර්‍ණධ්‍යාශයයෙන් යුක්ත විය යුතු බවයි. පූර්ණාධ්‍යාශයයෙන් යුක්ත වූයේ ම තුන් බෝධීන් අතුරෙන් එක්තරා බෝධියකට පැමිණෙන්නේ ය.

වදාළේ මැයි:-

“ජ අජ්ඣාසයා බොධිසත්තා බොධි පරිපාකාය සංවත්තන්ති. අලොහජ්ඣාසයාච බොධිසත්තා ලොභො දෝස දස්සවිනො. අදොසජ්ඣාසයා ච බොධිසත්තා දොසෙ දොස දස්සාවිනො. අමොහජ්ඣාසයා ච බොධිසත්තා මොහෙ දොස දස්සාවිනො. නෙක්ඛම්මජ්ඣාසයා ච බොධිසත්තා ඝරාවාසෙ දොසදස්සාවිනො. පවිවෙකජ්ඣාසයා ච බොධිසත්තා ගණ සඞ්ගණිකාය දෝස දස්සාවිනො. නිස්සරණජ්ඣාසයා ච බොධිසත්තා සබ්බභවගතීසු දොස දස්සාවිනො”[3] අදහස් සයක් ඇති බෝධිසත්වරයෝ බෝධිඥානය මුහුකරනු පිණිස පවත්නාහ. ලෝභයෙහි දොස දක්නා බෝසත්වරයෝ අලෝභාධ්‍යාශය ඇත්තෝ වෙති. (හැම තැන ම හැම දවස්හි ම කෙසේ නම් නිර්‍ලෝභ වමෝදැ යි සිතා ආදියෙහි ද, මධ්‍යයෙහි ද, අවසානයෙහි ද අලොභ අදහස් ඇත්තෝ වෙති යි කීසේ යි. සෙස්සෙහි දු මෙසේ යි) ද්වේෂයෙහි දෝෂ දක්නා බෝසත්වරයෝ ද්වේෂාධ්‍යාශය ඇත්තෝ වෙති. මොහයෙහි දෝෂ දක්නා බෝසත්වරයෝ අමෝහාධ්‍යාශය ඇත්තෝ වෙති. ගෘහවාසයෙහි දෝෂ දක්නා බෝසත්වරයෝ නෛෂ්ක්‍ර‍ම්‍යාධ්‍යාශය ඇත්තෝ වෙති. (නෛෂක්‍ර‍ම්‍ය නම් පැවිදිවීමයි) ගණසඞ්ගගණිකායෙහි දෝෂ දක්නා බෝසත්වරයෝ (කෙසේ නම් විවේක වන්නමෝ දැ යි) ප්‍ර‍විවෙකා ධ්‍යාශය ඇත්තෝ වෙති. සියලු භව ගතීන්හි දෝෂ දක්නා බෝසත්වරයෝ (නිවන් නම් කෙසේ දැ යි) නිශ්ශරණාධ්‍යාශය ඇත්තෝ වෙත්” යනු එහි භාවයි. අතීත හෝ අනාගත හෝ වර්‍තමාන හෝ යම් පමණ සෝවාන් - සකෘදාගාමි - අනාගාමි - අර්‍හත් - පසේබුදු-සම්මාසම්බුදුවරයෝ වූවාහු නම් ඒ සියල්ලෝම මේ සයාකාරයෙන් තම තමන් විසින් පැමිණිය යුතු විශේෂයට පැමිණියාහු යි. එබැවින් යට දැක්වුණු සයාකාරයෙන් පූර්‍ණාධ්‍යාශය සම්පන්න විය යුතු.

එහි ම “පූර්‍ණාධිමුක්තියෙන් යුක්ත වැ” යයි කී බැවින් අධිමුක්ති සම්පන්න ද විය යුතු යි. (යමක් පිණිස භාවනානුයෝගය කෙරේ ද, යමක් පිණිස ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව වේද, එහි ම අධිමුක්ති ඇත්තහු විය යුතු”යි කී සේ යි) සමාධ්‍යාධිමුක්ත - සමාධි ගුරුක - සමාධිප්‍ර‍ග්භාර - නිර්‍වාණාධිමුක්ත - නිර්‍වාණගුරුක - නිර්‍වාණප්‍රාග්භාර විය යුතුය යන අර්‍ථයි. (ප්‍රාග්භාර නම් නැමීම යි.)

පර සිත් දන්නා නුවණ ඇති ආචාර්‍ය්‍යවරයන් විසින් යට දැක්වුණු පරිදි අධ්‍යාශයයෙන් හා අධිමුක්තියෙන් යුක්ත වූ කමටහන් ඉල්වන අතවැස්සාගේ චිත්තාචාරය ඒ නුවණින් පිරිසිඳැ බලා මේ කවර චරිත ඇත්තෙක් දැයි දැනැ ගත යුතු යි.

පර සිත් දන්නා නුවණ නැති ආචාර්‍ය්‍යවරයන් විසින් “ඔබ කවර චරිත ඇත්තෙක් දැ”යි විචාරා “නොදනිමි”යි කිවහොත් “ඔබ කෙරෙහි කවර ධර්‍ම බහුල වැ පවතී ද අශුභාදීන් අතුරෙන් කවරක් මෙනෙහි කරන විට ඔබට පහසු දැනේ ද කෙබඳු කමටහනකට ඔබ ගේ සිත නැමේ ද” යනාදි වශයෙන් විචාරා දත යුතු යි. එසේ දැනැ ගෙනැ චරිතයට සුදුසු කමටහන් කිය යුතුයි.

කියන්නහු විසිනුදු තුන් ආකාරයකින් කිය යුතු. සජ්ඣායනා වශයෙන් හෝ මෙනෙහි කිරීම් වශයෙන් හෝ කමටහන් පුරුදු කළහුට හිඳීම් එකක් දෙකක් සජ්ඣායනා කරවා දිය යුතු. ළඟ වසන්නහුට පැමිණි - පැමිණි ඇසිල්ලෙහි කිය යුතු. කමටහන ඉගෙනැ අන් තැනකට යනු කැමැත්තහුට ඉතා සංක්‍ෂේප ද නො කොටැ ඉතා විස්තර ද නො කොටැ කිය යුතු.

එහි දු පඨවිකසිණය කියන්නහු විසින් කසිණ දෝෂ සතර ද, කසිණ කරන සැටි ද, කරගත් කසිණය භාවනා කරන සැටි ද, දෙ වැදෑරුම් නිමිති ද, දෙවැදෑරුම් සමාධි ද, සත් වැදෑරුම් සප්පාය හා අසප්පායද, දශවිධ අර්පණා කෞෂල්‍යයද, වීර්‍ය්‍යසමත්‍වය ද, අර්පණාවිධානය ද යන මේ නව ආකාර කිය යුතු. සෙසු කමටහන්හි දු සුදුසු පරිදි කිය යුතු. ඒ සියල්ල ඒ ඒ කමටහන් පිළිබඳ භාවනා විධානයෙහි දක්වනු ලැබේ.

ආචාර්‍ය්‍යයන් එසේ කමටහන් දෙන කල්හි යෝගාවචරයා නිමිත්තග්‍ර‍හණය කොටැ ඇසිය යුතු. නිමිත්තග්‍ර‍හණය නම් මේ යට පදය, මේ මතු පදය, මේ මෙහි අර්‍ථය, මේ අදහස මේ උපමාවය යි ඒ ඒ අකාර සිත්හි ධරා ගැන්මයි. එසේ නිමිත්ත ග්‍ර‍හණය කොටැ සකසා අසන්නේ මැ කමටහන් ගන්නේ නම් වේ. එයින් ඔහුට විශෙෂාධිගමය වන්නේ ය. එසේ නො ගන්නහුට විශෙෂාධිගමය නො වන්නේ ය.

මේ කමටහන් “ගෙනැ” යන මෙහි අර්ථ ප්‍ර‍කාශය යි.

මෙතෙකින් ‘කල්‍යාණමිත්‍ර‍යකු කරා එළඹැ ස්වකීය චරිතානුකුල වූ සතලිස් කර්‍මස්ථාන අතුරෙන් එක්තරා කර්‍මස්ථානයක් ගෙනැ” යන මේ පද සර්‍වාකාරයෙන් විස්තර කරන ලද්දේ ය.

කර්‍මස්ථාන ග්‍ර‍හණ

නිර්‍දෙශ නම් තෘතීය පරිච්ඡෙදය යි.

  1. අ:නි: නවකනිපාත 832

  2. ම:කි: මජ්ඣිමපණ්ණාසක 71

  3. ප:ජො: 34