විතර්‍කචරිතයාට වනාහි අභ්‍යවකාශයට අභිමුඛ වූ විවෘත සේනාසනය සප්පාය වේ. යම් තැනෙක සිට බලන්නවුන්ට සිත්කලු ආරාම වන පොකුණු ද, පිළිවෙළින් ගම් නියම් ගම් ජනපද ද, නීල වර්‍ණ පර්‍වත ද, පැනෙත් නම් එබඳු තැන් සප්පාය නො වන්නේ ය. එබඳු තැන් විතර්‍කය දුවවන්ට ම හේතු විය හැකි බැවිනි. එහෙයින් ඔහු විසින් ගැඹුරු පර්‍වත විවරයෙහි ද, වනයෙන් මුවහ වූ හත්‍ථිකුච්ඡි පබ්හාර-මහින්‍ද ගුහා බඳු සේනාසනයෙහි ද විසිය යුතු. අරමුණු වශයෙන් ඔහුට මහත් අරමුණු නො වටනේ ය. එ ද විතර්‍ක වශයෙන් දුවන්නට හේතු විය හැකි බැවිනි. වටනේ කුඩා අරමුණු ය. සෙස්ස රාගචරිතයාට කී බඳුයි.
“ස්වකීය චරිතානුකූල වූ” යන මෙහි චරිතයන්ගේ ප්‍රභේද පරිච්ඡේද, නිදානපරිච්ඡේද, විභාවනාපරිච්ඡේද, සප්පාය පරිච්ඡේද වශයෙන් විස්තර නිමියේ ය.
මෙතෙකිනු දු චරිතානුකූල කර්‍මස්ථාන සර්‍වප්‍රකාරයෙන් ප්‍රකාශකරන ලද්දේ නොවේ. මතු දැක්වෙන මාතෘකා පද විස්තර වන කල්හි එය ස්වයං ප්‍රකාශ වන්නේ ය.
දශවිධ කර්‍මස්ථාන විනිශ්චය මාතෘකා මෙසේ ය.
1. සංඛ්‍යා නිර්‍දෙශ වශයෙන්
2. උපචාර - අර්පණාවහ වශයෙන්
3. ධ්‍යාන ප්‍රභේද වශයෙන්
4. සමතික්‍රම වශයෙන්
5. වර්‍ධන - අවර්‍ධන වශයෙන්
6. ආරම්මණ වශයෙන්
7. භූමි වශයෙන්
8. ග්‍රහණ වශයෙන්
9. ප්‍රත්‍යය වශයෙන්
10. චරියානුකූල වශයෙන්
යන දශ ආකාරයෙන් කර්‍මස්ථාන විනිශ්චය දත යුතු යි.