කුශලත්‍රික වශයෙන්

star_outline

මේ සියලු ධුතාඞ්ග පෘථග්ජනයන් ගේ හා ශෛක්‍ෂ්‍යයන් ගේ වශයෙන් කුසල් ය. රහතන් ගේ වශයෙන් අව්‍යාකෘතය. අකුශල වන ධුතාඞ්ග නැති. (කුශලත්‍රික නම් “කුසලා ධම්මා - අකුසලා - ධම්මා - අඛ්‍යාකතා ධම්මා”[1] යනුවෙන් වදාළ ධම්මසඞ්ගණි පාළියි. ධුතාඞ්ග ඒ වශයෙන් බලත් හොත් කුසල් හා අව්‍යාකෘත වේ. අකුසල් නොවේ යනු භාව යි.) “පාපිච්ඡො ඉච්ඡාපකතො ආරඤ්ඤකො හොති” ‘පාපෙච්ඡ වැ ඉච්ඡායෙන් මඩනා ලදු වැ ආරණ්‍යක වෙයි’ යනාදින් පැමිණෙන බැවින් අකුසල වූ ත් ධුතාඞ්ග ඇත්තේ නො වේ දැයි යමෙක් විචාරන්නේ නම් එබන්දන් ගේ එබඳු අරණ්‍යක වීම අර්‍ථ වශයෙන් ධුතාඞ්ග නම් නො වේ යයි කිය යුතු. එබැවින් අකුසල් වන ධුතාඞ්ග නැත් මැ යි. (පාළියෙහි මේ සඳහා දක්වන ලද විස්තරයේ නිගමනය මෙපමණක් බැවින් මෙසේ සංක්‍ෂෙප කරන ලදී.)

ධුතාදීන් ගේ විභාග වශයෙන්

මෙහි ලා ධුතාය, ධුත වාදය, ධුත ධර්‍මය, ධුතාඞ්ගය, කවරෙකු හට ධුතාඞ්ගප්පාය වන්නේ ද යන මේ කරුණු දත යුතු යි.

ධුත නම් මෙහි ධුතාඞ්ග සමාදාන වශයෙන් කෙලේස කම්පා කළ ක්‍ෂීණාශ්‍ර‍ව පුද්ගලයා, තව ද කෙලෙස් කම්පා කරන ධර්‍ම හෝ ධුතය යි කියනු ලැබේ. එවිට ධුත නම් නිෂපර්‍ය්‍යායයෙන් සියලු ආර්‍ය්‍යමාර්‍ග ද, පර්‍ය්‍යායෙන් විදර්‍ශනාඥාය ද, යටත් පිරිසෙයින් ධුතාඞ්ගචෙතනා සම්ප්‍ර‍යුක්ත ඥානය ද වේ.

ධුතවාද නම් ධුතාඞ්ගයෙන් අනුනට අවවාද කරන පුද්ගලයා ය. එහි දු ධුතවාද නො වූ ධුත පුද්ගලයා ය, ධුතවාද වූ ධුත නො වන පුද්ගලයා ය, ධුතවාදත් නො වූ ධුතත් නොවූ පුද්ගලයා ය, ධුතවාදත් වූ ධුතත් වූ පුද්ගලයා යයි පුද්ගලයෝ සතර දෙනෙක් දත යුතු වෙත්.

බක්කුල තෙරුන් මෙන් යමෙක් තෙමේ ධුතාඞ්ගධර වැ අනුනට ධුතාඞ්ග සමාදානයට අවවාද නො කරන්නේ ද හෙතෙමේ ධුතවාද නො වූ ධුත පුද්ගලයා යි. කියන ලද මැ යි. “තයිදං ආයස්මා බක්කුලො ධුතො න ධුතවාදො” යි.

යමෙක් උපනන්‍ද තෙරුන් මෙන් තෙමේ ධුතාඞ්ගධර නො වැ අන්හට ධුතාඞ්ගයෙන් අවවාද කරන්නේ ද හෙතෙමේ ධුතවාද වූ ධුත නොවන පුද්ගලයා යි. කියන ලද මැ යි. “තයිදං ආයස්මා උපනන්‍දෙ සක්‍යපුත්තොන ධුතො ධුතවාදො” යි.

යමෙක් ශාරිපුත්‍ර‍ ස්වාමීන් මෙන් ඒ දෙකින් ම යුක්ත ද හෙතෙමේ ධුතවාදත් වූ ධුතත් වූ පුද්ගලය යි. කියන ලද මැයි. “තයිදං ආයස්මා සාරිපුත්තො ධුතො චෙව ධුතවාදොච” යි.

ධුතධර්‍ම නම්

“අප්පිච්ඡතං යෙව නිස්සාය” යනාදීන් වදාළ බැවින් අප්පිච්ඡතා, සන්තුට්ඨිතා, සල්ලේඛතා, පවිවේකතා, ඉදමට්ඨිතා යන මේ පඤ්ච ධර්‍මයෝ ධුතාඞ්ග චේතනාවට පිරිවර වන බැවින් ධුත ධර්‍මයෝ යයි කියනු ලැබෙත්. (අප්පිච්ඡතා නම් අල්පෙච්ඡ භාවය යි. සන්තුට්ඨිතා නම් ලද දෙයින් සතුටුවීම් සඞ්ඛ්‍යාත දොළොස් වැදෑරුම් සන්තෝෂය යි. සල්ලේඛතා නම් කෙලෙස් ලියාලන බව යි, පවිවේකතා නම් උතුම් විවෙක භාවය යි. ඉදමට්ඨිතා නම් යම් නුවණකින් පැවිද්දන් විසින් ධුතාඞ්ගයෙහි පිහිටිය යුතුය යි කියන ලද ද ධුතාඞ්ග සමාදන් වැ පරිහරණය කරනු ලැබේ ද ඒ නුවණ යි. “ඉදමට්ඨිතා ඤාණමෙව” යනු එයින් කීහ.) මොවුන් අතුරෙන් අප්පිච්ඡතාව හා සන්තුට්ඨිතාව අලෝභයෙහි ද, සල්ලේඛතාව හා පවිවෙකතාව අලෝභ-අමෝහ දෙක්හි ද, ඉදමට්ඨිතාව අමෝහයෙහි ද ඇතුළත් වේ.

එ එසේ මැ යි:- මොවුන් අතුරෙන් අලෝභයෙන් ගෘහපති චීවරාදි ඒ ඒ ධුතාඞ්ගයෙන් ප්‍ර‍තික්‍ෂෙප කටයුතු වස්තුවෙහි ලෝභයද, අමෝහයෙන් ඒ ප්‍ර‍තික්‍ෂේප කටයුතු වස්තුවෙහි ම ආරක්‍ෂාදුඃඛ පාරාධිනවෘත්ති චෝරභය යන ආදීනව මුවහ කරන මෝහය ද, කම්පාකොට හරින්නේ ය. (ආරක්‍ෂාදුඃඛ නම් රැක ගැනීමෙන් ලැබෙන දුක ය. පාරාධීනවෘත්ති නම් අනුන් අයත් පැවතුම් ඇති බව ය,) තව ද අලෝභයෙන් බුදුරජාණන් වහන්සේ විසින් නිච්ඡන්‍දරාග පරිභෝග වශයෙන් අනුදන්නා ලද සුවපහස් ඇති ඇතිරිළි ආදිය පරිභෝග කිරීමෙන් පැවති කාමසුඛානු යෝගය ද, අමෝහයෙන් අතිසල්ලේඛ වශයෙන් පැවති හෙවත් සුදුසු දෙය ද ප්‍ර‍තික්‍ෂේප කිරීම වශයෙන් පැවති අත්තකිලමථානු යෝගය ද කම්පාකොට හරින්නේ ය. එහෙයින් මෙකී ධර්‍මයෝ ධුතධර්‍මයෝ යයි දත යුතු.

ධුතාඞ්ග නම්

යට දැක්වුණු තෙලෙස් ධුතාඞ්ගයෝ ය. ඔවුන්ගේ ලක්‍ෂණාදිය යට කියන ලද මැයි.

කවරකුහට ධුතාඞ්ග සප්පාය වන්නේ ද

ධුතාඞ්ග වනාහි රාග චරිතයනට හා මෝහ චරිතයනට සප්පාය වන්නේ ය. කුමක්හෙයින්ද යත්? ධුතාඞ්ග සේවනය දුඃඛප්‍ර‍තිපදාවක් හා සල්ලේඛ විහරණයක් වන බැවිනි. දුඃඛ ප්‍ර‍තිපදායෙන් රාගය සන්සිඳෙන්නේ ය. රාගය සුඛෝපකරණ සේවනයෙන්න ලැබෙන හෙයිනි. සල්ලේඛ විහරණයෙන් අප්‍ර‍මාද පුද්ගලයා ගේ මෝහය සංසිඳෙන්නේ ය. සල්ලේඛය ලැබෙන්නේ ප්‍ර‍ඥාවත්හට බැවිනි. ප්‍ර‍ඥාව ඇති කල්හි අප්‍ර‍මාදය ලැබෙන හෙයින් මෝහය නො පිහිටන්නේ ය. තවද ආරඤ්ඤිකඞ්ග රුක්ඛමූලිකඞ්ගයෝ ද්වේෂ චරිතයනට ද සප්පාය වෙති යි කිය යුතු. අරණ්‍යයෙහි හා වෘක්‍ෂමූලයෙහි අනුන් සමඟ නො ගැටී සිටින්නහු ගේ ද්වේෂය සංසිඳෙන්නේ ය.

ධුතාදීන්ගේ විභාග වශයෙන් වර්ණනා යි.

සමාස හෙවත් සංක්‍ෂේප වශයෙන්

මේ ධුතාඞ්ග වනාහි උත්තමාඞ්ග තුනෙක අසම්භින්නාඞ්ග පසෙකැ යි සංක්‍ෂේප වශයෙන් අටෙකි. උත්තමාඞ්ග තුන නම් සපදානචාරිකඞ්ග, එකාසනිකඞ්ග, අබ්භොකාසිකඞ්ග යන තුනයි. (උත්තමාඞ්ග නම් අනෙක් ධුතාඞ්ගයක් නැති වැ නො පවත්නා සුවසේ රැකගත හැකි සෙසු ධුතාඞ්ග ද සංග්‍ර‍හ වන ධුතාඞ්ගයෝ ය.)

ඒ එසේ මැ යි:- සපදානචාරිකඞ්ගය රකින්නේ පිණ්ඩපාතිකඞ්ගය ද රකින්නේ ය. ඒකාසනිකඞ්ගය රක්නාහට පත්තපිණ්ඩිකඞ්ග - ඛලුපච්ඡාභත්තිකඞ්ග පහසුවෙන් ම රැක ගත හැක. අබ්භෝකාසිකඞ්ගය රක්නාහට රුක්ඛමූලිකඞ්ග යථාසන්‍ථතිකඞ්ගයන් අතුරෙන් රැකිය යුතු කුමක් ඇත්තේ ද එහෙයින් මේ ධුතාඞ්ග තුන උත්තමාඞ්ගයෝ යයි කියනු ලැබෙත්.

ආරඤ්ඤිකඞ්ග, පංසුකූලිකඞ්ග, තෙචීවරිකඞ්ග, නෙසජ්ජිකඞ්ග, සොසානිකඞ්ග යන මේ පස අසම්භින්නාඞ්ගයෝ ය. අසම්භින්නාඞ්ගයෝ නම් අන්‍ය ධුතාඞ්ගයන් හා අමිශ්‍ර‍ ධුතාඞ්ගයෝ ය.

තවද චීවර පිළිබඳ දෙකෙක, පිණ්ඩපාත පිළිබඳ පසෙක, සේනාසන පිළිබඳ පසෙක, වීර්‍ය්‍යය පිළිබඳ එකෙකැ යි ධුතාඞ්ග සතර වැදෑරුම් ද වේ. එහි පංසුකූලිකඞ්ගය හා තෙචීවරිකඞ්ගය චීවර පිළිබඳ ය. පිණ්ඩපාතිකඞ්ග, සපදානචාරිකඞ්ග, එකාසනිකඞ්ග, පත්තපිණ්ඩිකඞ්ග, ඛලුපච්ඡාභත්තිකඞ්ග යන පස පිණ්ඩපාත, පිළිබඳ ය. ආරඤ්ඤිකඞ්ග, රුක්ඛමූලිකඞ්ග, අබ්භොකාසිකඞ්ග, සොසානිකඞ්ග, යථාසත්‍ථතිකඞ්ග යන පස සේනාසන පිළිබඳ ය. නෙසජ්ජිකඞ්ගය වීර්‍ය්‍යය පිළිබඳ යි.

තවද පච්චයසන්නිස්සිත දොළොසක, වීරියසන්නිස්සිත එකෙකැයි සියලු ධුතාඞ්ග නිස්සය වශයෙන් දෙවැදෑරුම් ද වේ. විභාගය සුබොධ යි.

තව ද සේවනය කළ යුතු සේවනය නො කළ යුතු වශයෙන් ද, ධුතාඞ්ග දෙවැදෑරුම් වේ. ධුතාඞ්ග සෙවුනා කල්හි කර්‍මස්ථාන වැඩෙන්නේ නම් ඔහු විසින් එය සේවනය කළ යුතු. යමෙකුගේ කර්‍මස්ථාන පිරිහෙන්නේ නම් ඔහු විසින් සේවනය නොකළ යුතු. ධුතාඞ්ග සේවනය කළ ද නොකළ ද යමෙකු ගේ කර්‍මස්ථාන වැඩෙන්නේ නම් නො පිරිහෙන්නේ නම් ඔහු විසින් පශ්චිම ජනතාවට අනුකම්පායෙන් සේවනය කළ යුතු. ධුතාඞ්ග සේවනය කළ ද නො කළද යමෙකුගේ කර්‍මස්ථාන නො වැඩෙන්නේ නම් ඔහු විසිනුදු මතු වාසනා පිණිස සේවනය කළ යුතු.

මේ සියලු ධුතාඞ්ග වනාහි සමාදානචේතනා වශයෙන් එක් වැදෑරුමි. “යා චෙතනා තං ධුතඞ්ග වදන්ති” යනු අටුවායෙහි දු කියන ලදී.

සමාස හෙවත් සංක්‍ෂේප වශයෙන් වර්ණනා යි.

ව්‍යාස හෙවත් විස්තර වශයෙන්

භික්‍ෂූන්ට තෙළෙසෙක, භික්ඛුනීන්ට අටෙක, සාමණෙරයන්ට දොළොසෙක, සික්ඛමාතාවන්ට හා සාමණෙරීන්ට සතෙක, උපාසකයන්ට හා උපාසිකාවන්ට දෙකෙකැයි විස්තර වශයෙන් ධුතාඞ්ග දෙසාලිසෙකි. ඉදින් අභ්‍යවකාශයෙහි ආරඤ්ඤිකඞ්ගයට ද සුදුසු වූ සොහොනක් ලැබේ නම් එක භික්‍ෂුවකට කවර සියලු ධුතාඞ්ග සමාදන් වැ රැක්ක හැකිය.

භික්ඛුනීන්ට වනාහි ආරඤ්ඤිකඞ්ගය හා ඛලුපච්ඡභන්තිකඞ්ගය ශික්‍ෂාපදයෙන් ම තහනම් කරන ලද්දේ ය. අබේහොකාසිකඞ්ගය, රුක්ඛමූලිකඞ්ගය, සොසානිකඞ්ගය යන තුන ඔවුන්ට පුරාගත නො හැකිය. කුමක් හෙයින්ද දෙවැන්නකු නැති වැ විසීම නුසුදුසු බැවිනි. මෙබඳු තන්හි එක් වැ විසීමට සුදුසු සමාන අදහස් ඇති දෙවැන්නකු ලබා ගැනීම ද දුෂ්කරය. ඉදින් ලබා ගත්ත ද සංසට්ඨ විහරණයෙන් නො මිදෙන්නේ ය. සංසට්ඨ විහරණය ඇති වුවහොත් ධුතාඞ්ග සමාදානයෙහි නියම ප්‍රයෝනය නො ලැබෙන්නේ ය. එබැවින් මේ ධුතාඞ්ග තුන හා මුල කී ධුතාඞ්ග දෙක හැර සෙසු අට භික්‍ෂූන්ට රැක්ක හැකිය යි දතයුතු.

තේචීවරිකඞ්ගය හැරැ සෙසු දොළොස සාමණේරයනට රැක්ක හැකි ය.

සික්ඛමාතාවන්ට හා සාමණෙරීන්ට තෙචීවරිකඞ්ගය ද භික්‍ෂූනීන්ට තහනම් කළ පස ද යන සය හැරැ සෙසු ධුතාඞ්ග සත රැක්ක හැකි ය. උපාසක උපාසිකාවන්ට ඒකාසනිකඞ්ගය, පත්තපිණ්ඩිකඞ්ගය යන දෙක පමණක් සුදුසු ය. රැක්ක ද හැකි දෙක පමණක් සුදුසු ය. රැක්ක ද හැකි මෙසේ විස්තර වශයෙන් ධුතාඞ්ග දෙසාලිසෙකි.

ව්‍යාස හෙවත් විස්තර වශයෙන් වර්ණනා යි.

මෙතෙකින් “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො” යනාදි ගාථාව පිළිබඳ ශීල, සමාධි, ප්‍ර‍ඥා මුඛයෙන් වදාළ විශුද්‍ධි මාර්‍ගයෙහි අප්පිච්ඡතාදි යම් ගුණයෙකින් යට දැක්වුණු ශීලයාගේ පාරිශුද්‍ධිය වේ ද ඒ ගුණ සම්පාදනය පිණිස සමාදන් විය යුතු ධුතාඞ්ග කථාව දක්වන ලද්දේ යි.

සජ්ජන ප්‍රමෝදය පිණිස කළ

විශුද්‍ධිමාර්‍ගයේ ධුතාඞ්ග නිර්‍දෙශ නම් ද්‍විතීය පරිච්ඡේද යි.

  1. ම:නි: පඨමපණ්ණාසක 113