1. ශාසන සම්පත්තිය හා ක්‍ෂණ සම්පත්තිය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

“අයං කම්මභූමි ඉධ මග්ගභාවනා

ඨානානි සංවෙජනීයා බහූ ඉධ,

සංවෙග සංවජනියෙසු වත්‍ථුසු

සංවෙග යුත්තො’ව පයුඤ්ජ යොනිසො.[1]

මේ ප්‍රකාශ වූයේ සම්මා සම්බුදු සසුන් පිළිබඳ මහත් වැඩ රැසක් සලසා දුන් මහා කල්‍යාණමිත්‍ර පැරණි අටුවා ඇදුරු උතුමන්ගේ හදවතින් පැන නැඟී, පිරිසුදු මුවින් බොහෝ වාර ගණනක් නිකුත් වී ඇතැයි සිතිය හැකි වූ ගාථා රත්නයෙකි. මෙය බෞද්ධ යෝගාවචර ලෝකයා හට මහත් වැඩ රැසක් සාදා ගැනීමට උපකාර වී ඇතැයි සැලකිය හැකි ය. එහෙයින් ම යෝගාවචරයනට ඉතාමත් ප්‍රයෝජනවත් යයි සැලැකිය යුතු වූ ඉතා අගනා ගාථා රත්නයෙකි. එසේම ශ්‍රේෂ්ඨ අවවාදයෙකි. පමාවේ වැටී ඉන්නා පුද්ගලයා ප්‍රබලයකු කිරීමට අතිශය සමත් වූ දිව්‍යමය බලයක් ඇති අවවාදාත්මක අගනා අදහස් රැසෙකි. විශේෂ වූ අවවාද රැසෙකි. මෙයින් පළවෙන අදහස මෙසේ කොටස් පහකට වෙන් කොට දක්වමු.

1. මේ අපට හමු වී ලැබී තිබෙන්නේ, තම තමනට අයත් ප්‍රතිපදාවන් සපුරා සිදුකර ගැනීමට සුදුසු වූ හොඳට මැ, ඉඩ ඇති, අවකාශ ඇති, භූමියෙකි. ස්ථානයෙකි. එයද පවා දුලබ ය.

2. මේ අපට හමු වී ලැබී තිබෙන්නේ, කඩ නොකොට ප්‍රතිපදාවන් ඉතා හොඳින් සපුරා ගැනීමට පිළිවන් වන අවදියෙකි. අවස්ථාවෙකි. මෙයද බොහෝ දුලබ ය.

3. මේ භූමියේ ද, මේ ලැබගත් අවදියේදී ද, දුකින් නිදහස් වීමට ඕනෑම කරන කෙලෙස් ගිනි නිවාලීමට සමත්, මග ඵල ලැබ ගැන්මට උදවු වෙන, ශමථ විදර්ශනා භාවනාවන් කළහැකි වෙයි. කර ගැනීමට පිළිවන් වෙයි. මෙය ද ඉතාමත් දුලබ කරුණෙකි.

4. මේ කියන ලද භූමියේ දී මැ, මේ කියන ලද අවදියේ දී මැ, අපට පහළ කරගැන්මට ඕනෑ කරන සංවේගය[2] මැනැවින් මතු කර ගැනීමට උපකාර වන නිසි කරුණු බොහෝ සෙයින් ඉබේටම හමු කරගත හැකි වෙයි. මෙය ද දුලබ කරුණෙකි.

හොඳින් සලකා බලන්න. අපට හමුවෙන මිනිස් සතුන් දෙස බලන්න. ඉනට වතක් නැතිව, කුසට අහරක් නැතිව, විසීමට නිවහනක් නැතිව, අඳව, බිහිරිව, ගොළුව, කොරව, මුළු සිරුරෙන් පෙළෙන සුලුව වැලපෙන මිනිස් සතුන් ඔබට පෙනෙනු ඇත. මේ පමාවීමේ වරද නොවේ ද? දුකින් පෙළෙන තිරිසන් සතුන් ඔබට පෙනෙනු ඇත. ඔබට නො පෙනෙන ප්‍රේත සතුන් හා නරකවල බිහිසුණු දුක් විඳිනා නිරා සතුන් ගැන සිතන්න. මේ පමාවීමේ වරද නොවේ ද? අද ඔබටත් අපටත් ලැබී තිබෙන්නේ මේවා ගැන දැන ගෙන උත්සාහවත් වී මෙයින් නිදහස් වීමට වැඩ කරගත හැකි උතුම් අවස්ථාවෙකි. විමසුම් සිත් යොදන්න.

5. එහෙයින් මෙසේ කාලාන්තරයෙකින් දුලබව ලැබෙන, ඉතා අගනා ප්‍රයෝජනයන් රැසේ අගය - වටිනාකම හොඳට තේරුම් ගෙන එය පැහැර නො දමා, සංවේගයටත් සංවේජනයටත්[3] හේතු නුවණින් සලකා, සංවේගය පහළ කර ගෙන මැ ඒ ප්‍රතිපදාවේ යෙදෙන්න.

“නිපතන්ති ඛණාතීතා - අනන්තෙ දුක්ඛසාගරෙ,

තසමා පයොගො කාතබ්බො - යාවතිට්ඨති සාසනං”

(දබ්බථෙරාපදාන)

ලැබගත් ක්‍ෂණ සම්පත්තිය[4] ප්‍රයෝජනයෙහි නොයොදා එය පැහැර හැරි තැනැත්තෝ ඉමක් කොණක් නැත්තා වූ, මහත් දුක් මුහුදක වැටෙන්නා හ. එහෙයින් මේ උතුම් සසුන තිබෙන අවදියෙහි දී භාවනාවේ යෙදිය යුතුය යනු මේ ගාථාවේ අදහසයි.

මනුස්සලාභං ලද්ධාන - සද්ධම්මෙ සුප්පවෙදිතෙ,

යෙ ඵලං නාධිගච්ඡන්ති - අතිනාමෙන්ති තෙ ඛණං[5].

මැනවින් ප්‍රකාශ කළ ශාසන ධර්‍මයක් (බුද්ධෝත්පාද කාලයක්) ඇති කල්හි මිනිසත් බවක් ලැබැගෙන, යම් කෙනෙක් එයින් නිසි ප්‍රයෝජනයක් නොගනිත් නම්, ඔවුහු ලබාගෙන තිබෙන ක්‍ෂණ සම්පත්තිය පිරිහෙලා ගන්නෝය. “බුද්ධුප්පාද පරමා කාල සම්පත්ති” යනු කී හෙයින් සම්පත්ති කාලය බුද්ධෝත්පාදය පරම කොට ඇත්තේ ය. එය ලෝකයේ ඇති උසස්ම කාලයයි, අවස්ථාවයි. බුදු කෙනෙකුන්ගේ පහළවීම අනුව ලැබෙන, බුද්ධෝත්පාදය ලැබෙන්නේ මේ මිනිස් ලොවේය. දිව්‍ය බ්‍රහ්මාදී සෙසු සත්ත්‍වයනට ද, එයින් අනන්ත වැඩ සිදුකර ගතහැකි වන්නේය.

බහූහි අක්ඛණා වුත්තා - පුග්ගලස්සන්තරායිකා,

කදාචි කරහචි ලොකෙ - උප්පජ්ජන්ති තථාගතා.

දුර්ලභවැ ලද මේ අගනා අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගැනීමට බාධකයෝ ද බොහෝ වන්නා හ. බුදුවරයන් වහන්සේලාගේ උපත ලැබෙන්නේ ගෙවි ගෙවී යන මේ සංසාරයෙහි ඉතා සුළු කලෙක පමණ ය. මෙසේ ගෙවන සංසාරයෙහි බුදුවරයන් නූපදනා කාලයෝ ම බොහෝ වෙති. සත්ත්‍වයකුගේ කර්‍ම චක්‍රය පෙරැලෙන සැටිය ද සලකා බලන කල්හි මේ මිනිස් ලොව, දෙව් ලොව, බඹ ලොව යන මේ උසස් භූමිවල ම හැමදාම උපදිනු ලැබෙන්නේ නැත. එය පෙරැළි පෙරැළී යන ස්ථාන තිස්එක (31) කි. එක්තිස් තලය කියන්නේ මේවාට ය. මෙයිනුත් ලෙහෙසියෙන් පෙරැළෙන්නේ උපතේ පටන් බිහිසුණු දුක් ඇති දුඃඛිත තත්ත්‍වයනට ය. ඒ භූමි තිස්එක මෙසේයි:

  1. ඔසුපත් නිරා රාශිය සහිත කාලාසුත්‍රාදී අටකින් සැදි නිරය භූමිය.
  2. නානාප්‍රකාරයෙන් දක්නා ලැබෙන නිදහසක් නැති පාපකර්‍මයන් වැඩෙන තිරිසන් යෝනිය.
  3. කියා නිමකළ නො හැකි දුකින් පිරි නිජ්ඣාම තණ්හිකා දි ප්‍රේත විෂය.
  4. අපාය දුකට නො දෙවෙනි මහ දුක් ඇති අසුර ප්‍රේත රාසිය ය.
  5. නොයෙක් අයුරින් බෙදී ගිය මිනිස් ලොව ය.
  6. චාතුම්මහාරාජිකාදි දෙව් ලෝ සය යි, මෙසේ කාමභවයෝ 11 ය.
  7. බ්‍රහ්මපාරිසජ්ජයේ පටන් අසඤ්ඤසත්තය දක්වා ඇති සාමාන්‍ය බඹ ලෝ 11 ය.
  8. ආකාසානඤ්චායතනාදී වශයෙන් නම් කරනු ලැබූ අරූප බඹ ලෝ 4 ය, සුද්ධාවාස භූමි පහ (5) සමඟ සියල්ල එක් තිසකි.

මේ ගණනේ දී අට මහා නරකය ම කියා නිම කළ නොහැකි අප්‍රමාණ දුක්වලින් යුත් එක තලයක් වශයෙන් ගණන් කරන ලද බව සැලැකිය යුතු ය. ඔසුපත් ගණනත් අපාය ගණනත් මෙයට වෙන් වෙන්ව ගන්නා කලැ ගණන මෙයට වැඩිවෙයි.

සත්ත්‍වයන්ගේ කර්‍මචක්‍රය පිළිබඳ අකුසලකර්‍ම වේගය බල පවත්වන විට, සතර අපායේ උපත ලැබෙයි. කුශලකර්‍ම වේගයෙන් මිනිස්ලෝ දෙව් ලෝවල ද, මහද්ගත ධ්‍යානයන්[6] ලදහොත් බඹලෝවල ද, “අනාගාමී” වුවහොත් සුද්ධාවාස භූමිවල ද උපත ලැබෙයි. මිනිසකු වී උපත ලැබීම දුෂ්කර බව බුදුපියාණන් වහන්සේ විසින් නොයෙක් උපමා ගෙනහැර පාමින් දේශනා කරන ලද්දේය. ඇස්, කන්, ආදී ඉන්‍ද්‍රියයන් විකල නොවී සම්පූර්ණ ඉන්‍ද්‍රියයන් ඇතිවැ මිනිස් ජීවිතයක් ලැබීම තවත් දුෂ්කර බව දේශනා කරන ලදී. බුදු සසුනක් පවත්නා කාලයේ එබඳු මිනිසත් බවක් ලැබීම හොඳටම දුෂ්කරය.

තයිදං සම්මුඛීභූතං - යං ලොකස්මිං සුදුල්ලභං,

මනුස්සත්තපටිලාභො ච - සද්ධම්මස්ස ච දෙසනා

අලං වායමිතුං තත්‍ථ - අත්‍ථකාමෙන ජන්තුනා.

මේ සම්මුඛ කරගත් මහා සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගැනීමට තමහට හිතකැමැති තැනැත්තා විසින් දැන් සිත් යෙදවිය යුතුය. පැහැර හැරියොත් වෙළඳ බඩු තිබෙද්දී ඒ බඩු නොගෙන තැවෙන වෙළෙන්දා මෙන් බොහෝ කලක් තැවෙන්නට සිදුවන්නේය. අස්වැසිල්ලක් ලැබ ගැනීමට, සැනැසිලි සුසුමක් හෙළාලීමට නම් කළ යුත්තේ ශමථ විදර්ශනා භාවනාවක යෙදීම ය. විදර්ශනා භාවනාව ඉතා උසස් පුණ්‍ය කර්ම යෝගයෙකි. එයින් ලැබිය හැකි උසස් ම ප්‍රයෝජනය නම් - ප්‍රතිඵලය නම් - දුකින් නිදහස් වී අමාමහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීම ය. යටත් පිරිසෙයින් සීලයෙක පිහිටා චිත්තවිසුද්ධි,[7] දිට්ඨිවිසුද්ධි,[8] කංඛාවිතරණ විසුද්ධි[9] යන මේ විසුද්ධි තුන හෝ ලැබැගතහොත්, දෙවන ජීවිතයෙහි අපාය බියෙන් නිදහස් වීමට සමතෙක් වන්නේය. එහෙයින් ශමථ භාවනා වඩා සිත සනසා ගනිත්වා! විදසුන් වඩා මේ උතුම් නිවන් සුව ලාභය අත්පත්කර ගැනීමට උනන්දු වෙත්වා!

අනු මාතෘකා
keyboard_arrow_rightවිතර්ක විජය
  1. සංයුත්තට්ඨ: 3x31 භේ. මු.

  2. ජීවිතයේත් සංසාරයේත් බිය දක්නා නුවණ

  3. සංවේගය පැවැත්වීම

  4. උතුම් අවස්ථාව (බුද්ධෝත්පාද කාලය)

  5. අං. නි.8 නිපා; බු. ජ. 3 132-133.

  6. රූපාවචර අරූපාවචර ධ්‍යාන

  7. පඤ්චනීවරණයන්ගෙන් සිත පිරිසිදු කර ගැනීම.

  8. සක්කාය දිට්ඨි ආදී දෘෂ්ටිවලින් සිත පිරිසිදු කර ගැනීම.

  9. සංසාර පැවැත්ම පිළිබඳ සැකය නැති කර ගැනීම.