පරාජයට පත්වන්නෝ

මෙසේ ඉදිරියට යාමේ තේරුමක් නැත්තා සසර පුරුදු අනුව ආවරණ රළ වේගයට අසුවී දුක් මුහුදේ ම ගිලෙනු පෙනේ. මෙබඳු පුද්ගලයෝ දෙපරිද්දෙකින් දුකෙහි ගැලෙති. ඇතැම්හු පෙරළා ගිහි කම්කටොලු මැද රැඳීමට ප්‍රිය කෙරෙති. තවත් කොටසක් අර බිහිසුණු කම්කටොලු අතරේම පරමාර්ථයක් නැතිව ගැවසෙන්නාහ. මේ දෙකොටසම ජයබිමක් තේරුම් නොගත්තෝ ය.

ගිහිගෙන් නික්ම සසුනට බසින බොහෝ දෙනා නියම තේරුමක් ඇතිව එයට බසින්නෝ නොවෙති. ඇතැම්හු අනුන්ගේ බසට යටවී එයට බසිති. තවත් කොටසක් පුද්ගලික සිත් අමනාපයෙකින් ද ගිහිගෙය අතහරිති. ඒ අමනාපකම් මගහැරෙන විට යළිත් කුණු වළේ එරෙන්නට යන්නාහ. ඇතැම්හු ස්වකීයනට දඬුවම් සඳහා ටික කලෙකට ඔවුන්ගෙන් ඈත් වන්නාහ. රුචිකරන්නාවූ අනුගාමිකයන් ලැබුණු විගස යළිත් පෙර පුරුදු වැඩ පිළිවෙළ අනුගමනයට පසු නො බසින්නාහ. තව තවත් ලෞකික බලාපොරොත්තු සම්පූර්ණ නොවන විට අබිනික්මන් අදහස් කඩකර ගනිති.

ගිහිගෙයින් නික්මෙන්නා තුළ සසර දුක ගැන තරමක හෝ වැටහීමක් තිබිය යුතු ය. කෙලෙසුන්ගේ ආදීනව පක්‍ෂය ද බොහෝ දුරට තේරුම් ගෙන තිබිය යුතු ය. ඇත්ත වශයෙන් මේ තේරුම් දෙක තිබේ නම්, යෝගාවචර ජීවිතයේදී ලැබෙන කවර තරමේ පීඩාවෙකින් හෝ සිත් පෙරළා ගන්නට නොබසින්නාහ. මේ අඩුපාඩුව නිසා ම, ගිහිගෙයින් නික්ම යෝගාවචර ජීවිතය ඇරඹුවාහු - නිවන් පසක් කිරීමට ඉදිරිපත් වූවාහු ලාභ කීර්ති ප්‍රශංසාවනට ගිජුව ඒවා වැඩි වැඩියෙන් උපදවා ගැනීමට, වමාරා කන සතුන් අනුගමනය කරන්නන් මෙන්, නොයෙක් විට ප්‍රතිපත්ති මාර්ගය වෙනස් කරනු අපට දක්නට ලැබේ. නිවන් මග අහුරා ගෙන, සසර ගමන් මග එළිපෙහෙළි කොට ගෙන, විවිධ ස්ථානයන්ගෙන් හා පුද්ගලිකව හදාවඩා ගන්නා දායක පිරිසෙන් හා අතවැසි පිරිසෙන් හා ධන සම්භාරයෙන් ද ආඪ්‍යවැ කල් ගෙවනු පෙනේ. ඔවුන්ගේ කුටුම්බ සංරක්‍ෂණයට[1] අපේ ඇති ඊර්ෂ්‍යාවක් නැත. ධර්මය හා ධර්ම මාර්ගය නො පිටට හරවාලමින් කරන මේ ශාසන විලෝපය[2] ගැන සංවේගය පළකරමු. ගිහි පැවිදි උභය පක්‍ෂයටම[3] නුවණැස පෑදේවා !

  1. පවුල් රැකීම

  2. සසුන ගසා කෑම

  3. දෙපක්‍ෂයටම