යෝගාවචරයාගේ වැඩ

1. යෝගාවචරයා තමාගේ වැඩ ඉතා සැලකිලිමත්වැ සැපැයිය යුතු වේ. එසේ මැ ඒ වැඩ නිරවුල් ව එකින් එක එකට ගොනු කොට තැබූ සේ පිරිසුදුවට තැන්පත්වැ තිබිය යුතුයි.

2. සිත්තුළ පහළවන්නා වූ ද, පහළ කරගන්නාවූ ද, සිතිවිලි අදහස් පිරිසුදු ඒවා විය යුතු ය. අදහස් - සිතුවිලි අපිරිසුදු වනවිට යෝගාවචරයා අයෝගාවචරයෙක් වන්නේ ය. නුසුදුස්සෙක් වන්නේ ය.

3. ශමථ භාවනාවෙහිත්, විදර්ශනා භාවනාවෙහිත් දෙක්හිම යෝග ශබ්දය ව්‍යවහාර කරනු ලැබේ. එහෙයින් ශමථයෙහිත්, විදර්ශනා යෝගයෙහිත් යෙදෙන්නා යෝගාවචරයා ය. “යොගං අවචරතී ති යොගාවචරො” යනු හෙයිනි. “යොගාවෙ ජායතී භූරී” යනු හෙයින් කමටහන් අරමුණ යෝගය යි. එහි පැවැත්මෙන්, “යොගො අස්ස අත්‍ථීති යොගී” යි යොගී ශබ්දය වහරට ගිය සැටි ය. යෝගී නාමය වහරට යෙදීම ගැන භගවත් ගීතාවේ 6/1 මෙසේ සඳහන් වේ:

“අනාශ්‍රිත්‍ය කර්‍මඵලං - කාර්‍ය්‍යං කර්‍ම කරොති යඃ,

ස සන්‍යාසී ච යොගී ච - න නිරගනිර් නචාක්‍රියඃ.” යි.

යමෙක් කම්පලවලට හේත්තු නොවී, කළමනා ක්‍රියා කරයි නම් හේ සන්‍යාසී ද යෝගී ද වෙයි. නිරග්නි හෝ අක්‍රිය හෝ නො වේ. වෛදික සන්‍යාසි පර්යාය[1] යෝගී ශබ්දය ගැන පමණක් සිත යෙදූ ඇතැම්හු, “මේ ලංකාවේත් යෝගීන් ඉන්නවාදැ”යි ප්‍රශ්න නගති. ඉන්‍දියාවේ සිට ආගන්තුක ව හෝ සන්‍යාසියකුව ඇවිත් විසීමට තවම ඉඩ කඩ ඇහිරී ඇතැයි නො දනිමු.

4. සම්පූර්ණව හෝ අර්ධවශයෙන් හෝ භාවනා උපදෙස් දෙන තැන්ද මේ දිවයිනෙහි බොහෝ ඇත. ඒ තැන්වලින් ප්‍රයෝජන ලබන්නෝ ද දහස් ගණනින් සඳහන් වෙති. මෙසේ වතුදු යෝගී යෝගාවචර අභිධානයන්[2] ඉන්‍දියාවට ම භාර දී කල් ගෙවීම ඥානාන්විත නො වන බව සැලකිය යුතු ය.

5. යෝගාවචරයා ඥානාන්විත විය යුතුය. ඔහුගේ මුළාවෙන් කරන වැඩක් නැති විය යුතුය. යම් හෙයකින් හේ මුළා වී නම්, මුළාවෙන් ත්‍රිවිධද්වාරය[3] මෙහෙයවී නම්, එයින් ලැබෙන නපුරු ප්‍රතිඵලය සාමාන්‍ය පුද්ගලයෙකුගේ ක්‍රියාද්වාරයෙන් සැලැසෙන ප්‍රතිඵලයනට වඩා දරුණු ය. එයින් ම හෙතෙම යෝගාවචර තත්ත්‍වයෙන් ගිලිහී යන බව ද සැලැකිය යුතු ය. මෙසේ කියන්නේ සකල යෝගයමැ ඥානය උඩ රඳා පවත්නා හෙයිනි. එය බුදු දහමේ එන යෝනිසො මනසිකාරය යි.

විදර්ශනා යෝගය[4] කරන්නා තුළ තුන් ආකාරයකින් මේ ප්‍රඥාව ලැබෙයි. “තික්ඛත්තුං පඤ්ඤා ආගතා තත්‍ථ පඨමා ජාති පඤ්ඤා”[5] “සීලෙ පතිට්ඨාය” යනාදී ධර්මයෙහි ප්‍රඥාව තුන් වරක් ආවේය. එහි පළමු ප්‍රඥාව ජාති ප්‍රඥාව[6] යි. “සපඤ්ඤො” යන තැන ජාති ප්‍රඥාව යි. ප්‍රතිසන්ධි අවස්ථාවේ පටන් පවත්නා මේ ප්‍රඥාව විපාක ප්‍රඥාව[7] යි. මෙය භවඞ්ගපඤ්ඤාව[8] ද වෙයි. සන්තාන වශයෙන් පවත්නා මේ ප්‍රඥාව ද භාවනා ප්‍රඥාවේ උපතට උපනිශ්‍රය[9] වෙයි. විදර්ශනා ප්‍රඥාව දෙවන ප්‍රඥාවයි. යෝග බලයෙන් චිත්ත සමාධිය වැඩෙන විට, සිත මල ගස්සා ගෙන[10] සිටුනා, කෙලෙස් දහර පිළිවෙළින් ප්‍රහීණ වී යයි. එයින් ඒ කෙලෙස් මල කිලිටි පිරිසිදු වීමෙන් සැදැහැ වැඩී යෝග ක්‍රියායෙහි පහළ වූ හෝ පහළ වන්නට ඉඩ තිබූ සැකය විචිකිච්ඡාව ඈත් වෙයි. අරතියට ඉඩ නො ලැබෙයි. කුසීතකම ඈත් වී, සිත පහතට වැටෙන්නට ඉඩ නොදී, ථීනමිද්ධයට[11] යටවන්නට ඉඩ නොදී, විරිය වැඩෙයි. එයින් ථීනමිද්ධයට ඉඩ නොලැබේ. භාවනා ක්‍රියාවෙහි ඕනෑකම බලවත් ව වැඩෙයි. මනසිකාරය මැනැවින් පැවැත්වීමේ පුරුද්ද ලැබී, සතිය වැඩී යයි. විරිය සති දෙක එකතු වීමෙන් සමාධිස්කන්‍ධය[12] ද සපිරෙයි. මෙයින් මෙනෙහි කරනතාක් දැය පිළිබඳ නුමුළාව සැලැසී ප්‍රඥාව වැඩෙයි. මෙසේ ඉන්‍ද්‍රියධර්මයන් වැඩීමෙන් භාවනා ප්‍රඥාවේ වැඩීම වෙයි. තුන්වන ප්‍රඥාව සබ්බකිච්චපරිනායිකා[13] වූ පාරිහාරිය ප්‍රඥාවයි[14]. එය භාවනා කර්මයට ස්ථාන වූ කමටහන පරිහරණ කෘත්‍යයෙහි නියුක්ත වූයේ ය. මෙයමැ අභික්කම[15], පටික්කම[16], ආලොකිත[17], විලොකිත[18], සම්මිඤ්ජන[19], පසාරණ[20], සංඝාටි-පත්ත-චීවර ධාරණ[21], අසිත[22], පීත[23], බායිත[24], සායිත[25], උච්චාර-පස්සාව කම්ම[26], ගත[27], ඨිත[28], නිසින්න[29], සුත්ත[30], ජාගරිත[31], භාසිත[32], තුණ්හීභාව[33] යනාදී ක්‍රියා රාශිය සාත්‍ථකාදි වශයෙන්[34] මැනැවින් නිරුපද්‍රිතවැ පමුණුවා ලීමට උපකාර වන හෙයින් මේ නාමය ලබයි. යෝගාවචරයාට මේ පාරිහාරිය පඤ්ඤාව ජීවිතය සේ උපකාර වෙයි.

මේ ප්‍රඥාව භාවනාවේ යෙදීමට සිතක් පහළ වීමේ පටන් භාවනාවේ නිෂ්ඨාප්‍රාප්ත[35] අභිවර්ධනය දක්වා ප්‍රයෝජනවත් වන සැටි මෙසේ සලකා බලන්න.

(අ) කමටහනක් උගෙනීම,

(ආ) සැකතැන් විචාරා දැන ගැනීම,

(ඇ) භාවනාව ඇරඹීම,

(ඈ) මනසිකාර විධිය නිරවුල් කර ගැනීම,

(ඉ) එහි සක්කච්ච කාරිතාව[36],

(ඊ) එහි සප්පාය කාරිතාව,

(උ) එහි නිමිත්ත කුසලතාව[37],

(ඌ) එහි පහිතත්තතාව[38],

(එ) එහි අන්තරා අසංකොචනය[39],

(ඒ) එහි ඉන්‍ද්‍රිය සමත්තපටිපාදනය[40],

(ඔ) එහි විරිය සමත්තපටිපාදනය[41],

(ඕ) එහි විචය සමතා යොජනය[42],

කමටහනක් පරිහරණය කිරීමේ දී ලැබෙන මේ හැමතැනම ප්‍රඥාව බලපවත්වන සැටි මැනැවින් සලකා බලා එහි උත්සාහවත් වන්න.

  1. අනෙක් වචනයකින් කීම්

  2. නාමයන්

  3. කය, වචනය, සිත

  4. විදර්‍ශනාවේ යෙදීම

  5. වි. ම. 3 පිට හේ. මු:

  6. උත්පත්ති ප්‍රඥාව

  7. විපාක වශයෙන් ලැබෙන ප්‍රඥාව

  8. භවාංග සිතේ ලැබෙන ප්‍රඥාව

  9. බලවත් හේතුව

  10. කිලිටි කරගෙන

  11. සිතෙහි අලසකම හා චෛතසිකයන්ගේ අලසකම

  12. සමාධි රැස, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි

  13. හැම කටයුත්තකටම මඟ පෙන්වන

  14. කමටහනක් පුරුදු කිරීමට අවශ්‍ය නුවණ

  15. ඉදිරියට යාම

  16. ආපසු පැමිණීම

  17. ඉදිරිය බැලීම

  18. අනුදිග් බැලීම, වට පිට බැලීම

  19. අත් පා හැකිළීම

  20. අත් පා දිගු කිරීම

  21. සඟල සිවුර, පාත්‍රය, සිවුරු දැරීම (පාත්‍රා සිවුරු දැරීම) පාවිච්චි කිරීම

  22. අනුභව කිරීම

  23. පානය කිරීම

  24. කඩා කෑම

  25. රස විඳීම

  26. මළ මුත්‍ර පහකිරීම

  27. යාම

  28. සිටීම

  29. හිඳීම

  30. නිදීම

  31. නිදි මැරීම්

  32. කතා කිරීම

  33. නිහඬව සිටීම

  34. සාත්‍ථක, සප්පාය, ගොචර, අසම්මොහ යන සම්පජඤ්ඤ සතර

  35. කෙළවරට පැමිණි

  36. සකසා (මැනවින්) කිරීම

  37. නිමිති (ලකුණු) හැඳිනගැනීමේ දක්‍ෂතාව

  38. දැඩි වීර්‍ය්‍යය යෙදීම

  39. අතරමග නොපැකිළීම, පසුබට නොවීම

  40. ඉන්‍ද්‍රිය සමතාව සකස් කර ගැනුම

  41. වීර්‍ය්‍ය සමතාව සකස් කර ගැනුම

  42. කරුණු සෙවීම සමභාවයට පමුණුවා ගැනීම