අරඹන වැඩ දිරාපත්වෙන සැටි

1. යෝගාවචරයා මැනවින් දුරදිග බලා වැඩ කරන්නෙකු විය යුතුය. ලෞකික අදහසින් මැඩුණු පිරිහීගිය මානසික ශක්තිය ඇති ඇතැම් පුද්ගලයන් උසස් වැඩ පටන්ගැනීමේ දී රමණීයවූ ද විසිතුරුවූ ද, විවිධ මාතෘකා ඉදිරිපත් කොට ජනයා කුල්මත් කරන සැටිත්, ටික දිනෙකින් ඒ මාතෘකාවනට යෙදූ අදහස් මකාගෙන අන් මගක යන සැටිත් අපට පෙනේ. මෙයින් ඇතැම් වැඩ දිරා පත්වෙන සැටි අපට වටහාගත හැකිය. දිරාපත්වීම සංඛත ධර්මයනට අයත් ස්වභාව ධර්මයෙකි. ඒ දිරායාම සම්පූර්ණයෙන් තොරවී ඇත්තේ අසංඛතයෙහිය. එහෙයින් අසංඛත තත්ත්වයට පත්වනතුරු දිරාපත්වීම වැළැක්විය නොහැකිය යි කියන්නට ද බැරි නැත. මෙහි අප විස්තර කරන්නට අදහස් කළ දිරාපත්වීම එය නොවේ.

2. ජනතාවගේ සිත්ගන්නා අදහසින්, අනුන්හට පෙන්නුම් කිරීමේ කුහක ප්‍රතිපත්ති අනුගමනයෙන් නා නා මාදිලියේ ව්‍රත විධීන් ඉදිරිපත් කරන්නෝ සිටිති. ඇතැම් ජාතක කථාවල ද නියම ප්‍රතිපත්තියෙකින් තොරවැ ගත් ව්‍රත විධීන් මහජනතාව හමුවෙහිම දිරාපත් වූ සැටි අපට දකින්නට ලැබේ. දීඝනිකායේ සූත්‍රයෙක (පාඨික සූත්‍රයෙහි) ද බාහිරක තවුසන් කීප දෙනෙකුන් පුදුම එළවන අන්දමේ ව්‍රතසමාදානයෙන් යුතුව කලක් වාසය කොට ඒ සියලු ව්‍රතාරම්භයන් දිරාපත් වන තැනට වැටී පිරිහී ගිය සැටියක් සඳහන් වෙයි. මෙකලද ඇතැම් කෙනෙක් බෞද්ධ තත්ත්වයකුත් දරාගෙන, දිගට පවත්වා ලන්නට දුෂ්කර වූ ගුණ ස්වරූප වූ වැඩ අරඹා ඔවුන්ටත් පළමු ඒවා දිරාපත්වන සැටි බලා කිසිදු සංවේගයකුදු නැතිවැ කල් ගෙවන්නාහ.

3. ආරම්භයේ දී යොදන ගැඹුරු මාතෘකා ඇති වැඩ ද බොහෝදෙනා අතර දිරාපත් වන සැටි අපට පෙනෙයි. මෙහි දී මෙසේ වීමට කරුණු දෙකක් අපට ඉදිරිපත් වෙයි. එකක් නම් කරන්නට බලාපොරොත්තුවක් නැතිව, කිරීමෙහි අභ්‍යාසයක් නො ලබා ප්‍රචාරයට හොඳ මගය යන හැඟීමම ම මුල්කරගෙන එහි යෙදීම යි. අනෙක් කරුණ, ප්‍රතිපත්තිය ජීවන වෘත්තියක් වශයෙන් ගෙනයාමේ පවිටු සංකල්පයයි. මේ දෙකට ම මුල බෞද්ධ ප්‍රතිපත්තිය ගෙන යායුත්තේ වචනයෙන් නොව සිතින්, නිස්සරණ අදහසින් බව නො තැකීම යි.