භාවනාවේ යෙදෙන යෝගාවචරයාට විසඳා ගැනීමට දුෂ්කර වූ තවත් ප්‍රශ්න කීපයෙකි. යෝගාවචරයාගේ සිත හදා ගැනීමට උපකාර වනු සඳහා ඒවා ද මතුකර දීමට උත්සාහ දරන්නට සිදුවී තිබේ. කල් ඇතිව ම හේතුව තේරුම් ගත් විට එයින් වන විපත මගහරවා ගැනීම පහසු හෙයිනි.
යොගාවචරයා එම යෝගාවචර තත්ත්‍වයට බසින්නේ කුඩා වූ හෝ මහත් වූ හෝ සම්පත්තියක් හා කුඩා වූ හෝ මහත් වූ හෝ ඥාති හිතවත් සමූහයක් ද පිළිබඳ වැ පැවැති අපේක්‍ෂාව අතහැර දැමීමෙනි. එයින් ඔහුට භාවනාමය ශක්තියෙක් ලැබෙයි. ඒ ශක්තියෙන් ඔහුට තමාගේ භාවනාවේ මැනැවින් යෙදීමට හොඳට ඉඩකඩ සැලැසෙයි. නිස්සඞ්ගතාව දියුණුවීමෙනි.
පළපුරුදු ඥාති හිතවතුන් මඩුල්ලෙහි හැම ඉන්‍ද්‍රියකින් ම බැඳී, විසූ ඔහුට එයින් වෙන්වීම පහසු නැති බව පැහැදිලි ය. එහි පැවැති ආස්වාදය තේරුම් ගෙන ආදීනවය[1] වැටහීමේ දී නෙක්ඛම්ම සඤ්ඤා[2] පහළ වේ. මහ කටුලැහැබක් වැනි ඒ ගිහි ගෙයින් අයින් වීම උසස් සැනැසැල්ලෙකි. මහත් ලාභයෙකි. පිරිසිදු නිදහසෙකි. මේ නෛෂ්ක්‍රම්‍ය[3] නාමයෙන් සඳහන් වන තත්ත්‍වයට පත්වීම එතරම් ලෙහෙසි නැත. පුද්ගලයා තුළ මේ අදහස සපුරා ගැනීමේ චේතනා කොතෙකුත් පහළ වුවත්, ඇතුළත්හි පැළැඹෙන[4] සමුදය පාක්ෂීය[5] ක්ලේශ ගණයේ පළිබෝධ ස්වභාව අනුව හොඳ පැත්තට හැරීමට බාධා කිරීම් කොතෙකුත් ලැබෙයි.
උසස් ලෙස භාවිත සිත් ඇති උතුමෝ මේ අභිනිෂ්ක්‍රමණයේ දී මැ බලවත් උනන්දුවක් හා ප්‍රීතියක් පහළ කොට ගෙන, අනතුරුව මැ ධ්‍යාන්‍ය මාර්ග ඵල සම්පත්තීන් අත්පත් කර ගන්නාහ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ, මහා කච්චාන මහරහතන් වහන්සේ ආදී උතුමන් මෙන් ස්වකීය අභිනිෂ්ක්‍රමණයේ පරමාර්ථය මුදුන් පත්කර ගන්නාහ. මේ නිසාම පැවිද්ද ලබා දෙන ගුරුවරු කුලදරුවන්ට එකෙණෙහි ම විදර්ශනා කමටහන් කියා දෙන්නා හ. එසේ ඒ මෙහොතේම මහරහත් බව ලබා ගත්තෝ ද බොහෝ වූහ.
ඇතැම් පින්වතුන් හට විවිධ වූ අරමුණුවලැ පටලැවී තැළී තිබූ සිත එයින් නිදහස් කොට, විවේක භූමියෙක යොදවාලීමේ දී, දෙණියක නොබැඳ නවතා ලූ වසුපැටියකු සේ ඉඩ ලද ලද සේ නොයෙක් අත දුවන්නට පටන් ගැන්මෙන් එයින් මහත් හිරිහැරයකට මුහුණ දෙන්නට සිදුවනු ඇත. නොයෙක් විතර්කයෝ විවේකයක යෙදෙන ඔහුගේ සිත වටා කරකැවෙන්නට පටන් ගන්නාහ. මෙසේ හෙයින් ඔහුගේ සිතට මද නිදහසෙකුදු නැත. එකල ඔහුට හැරදමා ආ ගිහිගෙයට වඩා මෙබඳු අවස්ථාව ඉතා බිහිසුණුසේ ද, කටුකසේ ද, වැටහෙන්නට පටන් ගනියි.
අලි,කොටි, වලස්, නා, පොළාන්, යක්, රකුසු ආදී බිහිසුණු සතුන් විසින් වට කරනු ලැබුවහුට යම්සේ නිදහසේ සැනැසිල්ලේ කල් ගෙවිමට නොහැකි නම්, එබඳු තත්ත්‍වයක තමා වැටීගෙන සිටුනාසේ ඔහුට වැටහෙන්නට පටන් ගනියි. මේ තත්ත්‍වයෙන් නිදහස් වීමට නම් ඔහු විසින් ඒ නෙක්ඛම්මයේ ඉදිරියට යා යුතුය. ඉදිරියට යාමට නම් තමා තුළ පහළ වී ඇති දුබලකම් මෙනෙහි කොට, ඒවායින් සිත් පිරිසිදු කොට ගෙන, චරණධර්ම[6] තමා තුළ දියුණුවට පත්කර ගත යුතු ය. තමා යට කර ගෙන සිටුනා පඤ්චනීවරණයන්[7] මැනවින් තේරුම් ගත යුතුය. මේවා ඉවත් කිරීමට හෙවත් මොවුන්ගේ බලය බිඳීමට නියම ආයුධයෝ නම් සීලාදී චරණ ධර්මයෝය. එහෙයින් මේ ගුණයන් තමා තුළ තිබේ දැ මැනැවින් සලකා බලන්න.
1. සීලය: තමා රක්නා ආජීවාෂ්ටමක ශීලාදී[8] ශීලධර්මයෝ මැනැවින් රැකී ඇද්දැ යි නුවණින් සලකා බලන්න. ඒවා අඛණ්ඩවැ[9], නො කැලැල්වැ, නො සිදුරුවැ, තණ්හා මාන දිට්ඨිවලින් නො කෙලෙසී පවතිත්දැ යි හොඳින් විමසා බලන්න. ඒවා හොඳින් තිබේ නම් ඔබට නොවැරැදි බලවත් ප්‍රීතියක් ඒකාන්තයෙන් පහළ වනු ඇත. එයින් ඔබට බලවත් සුවයක් අත්පත් වනු ඇත.
2. ඔබේ ඉන්‍ද්‍රිය සංවරය කෙසේදැ යි සලකා බලන්න. ඇස්, කන්, නැහැය ආදී වූ ඉන්‍ද්‍රිය දොරවල් නිකම් හැරැදමා තිබුණොත්, ඒ මගින් කෙලෙස් ධාරාව ගලා ඒම නොවැළැක්විය හැක්කේ ය. එහෙයින් සිහියත් නුවණත් යොදා ඒ දොරවල් ආරක්‍ෂා කර ගැනීමෙන් ඉන්‍ද්‍රිය සංවරය රැකෙන සැටි හොඳින් නුවණින් සලකා බලන්න. එයත් මෙහි දී තමාගේ ශීලය ආරක්‍ෂා වීමට ඉතා උපකාර වන සැටි ඔබට ම වැටහෙනවා ඇත.
3. පමණ දැන අහර ගැනීම නම් වූ භොජනෙ මත්තඤ්ඤුතාව[10], ඔබගෙන් මැනවින් සම්පූර්ණ විය යුතු ය. එය ඉතා උතුම් යෝගාවචර ධර්මයෙකි. මැනැවින් සිල් රැකීමට, ඉඳුරන් හොඳට දමනය කර ගන්නට හා ඔබ ඉන්නා තැනත්, ඔබ යන ගමනත් හොඳින් තේරුම් ගෙන ඉදිරියට යාමට මේ ගුණය ප්‍රයෝජනවත් වන බව ඔබ විසින් හොඳින් තේරුම් ගත යුතු ය.
4. ජාගරියානුයෝගය: එනම් නිදිවැරීමට පුරුදු වීම යෝගාවචරයාහට ඉතාමත් අවශ්‍යය. නින්ද තරම් ප්‍රමාදයට හේතු වන තවත් අනර්ථකාරී ක්‍රියාවෙක් නැත. යෝගාවචරයාට ථින, මිද්ධ දෙක බලවත් සතුරෝ දෙදෙනෙකි. ඔවුන්ගෙන් ආරක්‍ෂා වීමට නින්ද පමණ දැන යෙදිය යුතුය. එය අඩුකර ගැනීම ක්‍රමයෙන් කළ යුතුය. පුරුදු වන විට අන්තිමයේ එය ඉතා පහසු වැඩෙක් වෙයි.
5-11. සද්ධා, හිරි, ඔත්තප්ප, බහුස්සුත භාවය[11], විරිය, සති, පඤ්ඤා යන ධර්මයෝ සත්දෙන මැනැවින් සලකා බලා තමා තුළ දියුණුවට පත්කර ගත යුතුය. මේ ධර්මයන් ක්‍රමයෙන් වැඩෙන කල්හි, සිත තුළ බලපාමින් පැවති නිය්‍යානාවරණ ධර්ම[12] සමූහයා - එනම් කාමච්ඡන්‍දාදී නීවරණයෝ - දුබල වෙති. මේවා චාතුර්භූමක[13] කුසල චිත්තය ආවරණය කරගෙන පවත්නා හෙයින් නිය්‍යානාවරණ යයි කියනු ලැබෙති. එහි නිය්‍යානයත්[14] නිය්‍යානාවරණයත් දත යුතුය. ඒ මෙසේයි:
- නෙක්ඛම්මය නිය්‍යානයයි. කාමච්ඡන්‍දය එය ආවරණය කරන නිය්‍යානාවරණයයි.
- අව්‍යාපාදය: එනම් මෛත්‍රිය නිය්‍යානයයි. ව්‍යාපාදය නිය්‍යාවරණයයි.
- ආලෝක සඤ්ඤාව[15] නිය්‍යානයයි. ථිනමිද්ධය නිය්‍යානාවරණයයි.
- අවික්ඛෙපය[16] නිය්‍යානයයි. උද්ධච්චය නිය්‍යානාවරණයයි.
- ධම්මවවත්‍ථානය නිය්‍යානයයි. විචිකිච්ඡාව නිය්‍යානාවරණයයි.[17]
ධම්මවවත්‍ථානය නම් ධර්ම විනිශ්චය යි. ආලෝකසඤ්ඤා නම් ආලෝක නිමිත්ත යි. මේ නිය්‍යාන ධර්මයන් මේරීමෙන් හා ආවරණ ධර්මයන් ඉවත්වීමෙන් ද ක්‍රමයෙන් උපචාරධ්‍යාන හා අර්පණාධ්‍යානයෝ පහළ වන්නාහ. ඒ ධ්‍යාන සතර සපුරාලීමෙන් චරණ ධර්මයෝ සම්පූර්ණ වන්නාහ. මේ නිදහස් වන ක්‍රමයයි.
-
දෝෂය ↑
-
ගිහිගෙන් නික්මීම පිළිබඳ අදහස ↑
-
ගිහිගෙන් නික්මීම ↑
-
බලපවත්වන ↑
-
සමුදය සත්‍යය පක්‍ෂයෙහිවූ ↑
-
ශීලාදි පසළොස් චරණ ධර්‍ම ආචාර ධර්‍ම ↑
-
කාමච්ඡන්‍ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන සිත අවුරන ධර්‍ම ↑
-
ආජීවය අටවෙනි කොට ඇති ශීලය ↑
-
කඩ නොකොට ↑
-
පමණ දැන අහර ගැනීම ↑
-
බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, පුළුල් දැනුම ↑
-
නෛෂ්ක්‍රම්‍යාදිය වළක්වන ධර්‍ම ↑
-
භූමි සතරට අයත් (කාම, රූප, අරූප, ලොකුත්තර) ↑
-
නෙක්ඛම්මාදිය ↑
-
ආලෝකය සිතට වද්දා ගැනීම ↑
-
සිතෙහි නොවිසිරුණු බව ↑
-
පටිසං. බු. ප. 1x310 පිට. ↑