භාවනාවේ යෙදීමට සුදුස්සා තුළ ලැබිය යුතු ගුණාඞ්ග පහ (5) ක් දීඝනිකායේ සංගීති සූත්‍රයෙහි සඳහන් වෙයි. ඒ මෙසේය:
1. ඇවැත්නි, මෙහි මහණතෙම සැදැහැ ඇත්තේ වෙයි. “ඒ භගවත්තෙමේ මේ මේ කරුණින් අර්හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාවන්ගෙන් හා චරණධර්මයන්ගෙන් සම්පූර්ණ ය, සුගත ය, ලෝකවිදු ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘය, බුද්ධ ය, භගවත් යැ” යි තථාගතයන් වහන්සේගේ බෝධිය (සතරමග නුවණ) හදහයි.
2. රෝග නැත්තේ නිදුක් වූයේ, ඉතා ශීත ද නො වූ, ඉතා උෂ්ණ ද නො වූ, මධ්‍යම වූ, ප්‍රධන් වීර්‍ය්‍යය[1] වැඩීමට යෝග්‍ය වූ, සමලෙස අහර පැසවන උදරාග්නියෙන් යුක්ත වෙයි.
3. ශාස්තෲන් වහන්සේ කෙරෙහි හෝ නුවණැති සබ්‍රම්සරුවන්[2] කෙරෙහි හෝ තත් වූ පරිදි සිය වරද හෙළි කරන්නේ, ශඨ නො වූයේ[3] මායා නැත්තේ වෙයි.
4. ශක්ති ඇත්තේ දැඩි උත්සාහ ඇත්තේ, කුසල් දහම්හි බහා නොතැබූ වැර ඇත්තේ, අකුසල් දහමුන් පහ කරනු පිණිස, කුසල් දහමුන් ලැබගැන්ම පිණිස පරිපුන් වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.
5. පිරිසිදු වූ, කෙලෙසුන් විදැලීමට සමත්, මෙනොවට දුක් වැනැසීමට යන නුවණින් යුක්ත වූයේ, උදයාස්තගාමිණී ප්‍රඥායෙන්[4] සමන්විත වූයේ, ප්‍රඥාවත් වෙයි.
මෙහි පළමුවැන්නෙන් ඔකප්පන සැදැහැය - එනම් බුදුරජාණන් වහන්සේ කෙරේ බලවත් පැහැදීම් ගතිය - කියැවෙයි. දෙවැන්නෙන් කියැවෙන්නේ නිරෝගිභාවය හා එයට අදාළ වූ භාවනාවටම ඔරොත්තු දෙන මධ්‍යම තත්ත්‍වයේ ජඨරාග්නියක් ඇතිකම ය. තුන්වැන්නෙන් ඇති අගුණ වසා ගෙන සිටීම හා නැති ගුණ පෙන්වීමේ ගතිය නැතිකම ද, සතර වැන්නෙන් බලවත්වැ පැවැති ආරද්ධවිරිය ගුණය ද, පස්වැන්නෙන් සංස්කාරයන් පිළිබඳ උදය වය දෙක ප්‍රකටවැ දැනෙන කෙලෙසුන් සිඳින ප්‍රඥාගුණයද ප්‍රකාශිතයි.[5]
පධානියඞ්ග යනු භාවනාවේ යෙදෙන යෝගාවචරයාට අයත් උපකාරක ධර්මයෝ ය. මෙම අඞ්ගපසිනුත් යුතුවැ ගෙන සුදුසු කල්‍යාණ මිත්‍රයකු ලදහොත් ඔහුට අධිගමය හෙවත් නිර්වාණ සාක්‍ෂාත් කරණය ඉතා පහසු ය. මෙහි සඳහන් තුන්වන කරුණ ගැන වෙසෙසින් සැලැකිය යුතු ය. ප්‍රථමාඞ්ගය නුවණ හා සමව යොදා දියුණු කරගත යුතුය. සිවුවැන්නෙන් සඳහන් වන විරිය ගුණය සමාධියත් සමඟ දියුණුවට ගෙනයා යුතු ය. පස්වැන්නෙන් සඳහන් වන නුවණ උදයබ්බය ඥානයයි[6].
විශේෂ වශයෙන් මෙහි සඳහන් කළ ගුණාඞ්ගයට යෝගාවචරයන්ගේ සිත් යොමු කරවීම සුදුසු සේ සලකමි. සැදැහැති සංසාර හීරුකයන්ගෙන්[7] මේ ගුණාඞ්ගය ස්වභාවයෙන් සපිරෙන නමුදු, ලාභකාම්‍යතාදි[8] දුර්ගුණයෙන් උදම් වූ අහිරික[9] අනොත්තප්පී[10] පුද්ගලයන් මේ ගුණය බිඳගෙන යෝගභාවනාවට ද නුසුදුස්සන් වන සැටි ද අපට පෙනේ.