දිරාපත් නොවන සැටි

1. යෝගාවචරයා ස්වකීය ආරම්භයන් දිරාපත් වන්නට නොදී, මොහොතින් මොහොත තමාගේ හැම හොඳ පිළිවෙතක් මැ, වැඩි වැඩියෙන් දියුණුවට යන සැටියට යෝගයෙහි යෙදිය යුතු ය. මෙයට උපකාර වන්නේ නිවන් අරමුණ මැ තදින් සිතට කාවද්දා ගැනීම ය. මුලින් වැඩ අරඹා ඒ ඇරඹූ වැඩ දිරාපත් වන්නට ඉඩ හැරීමට හේතු වන්නේ ධර්මමය හැඟීම අඩුකම බව කිව යුතු ය.

2. “සතං ච ධම්මො න ජරං උපෙති”[1] යි වදාළේ බුදුපියාණන් වහන්සේ විසිනි. සත්පුරුෂයන්ගේ ධර්මය දිරාපත් නොවේ යනු එහි අදහස යි. එහෙයින් යෝගාවචරයා තමා අරඹන යෝගවැඩ පිළිබඳ හැමදෙයක්ම සත්පුරුෂයන්ගේ ධර්මයට සම්බන්ධ කළ යුතු ය. එය ද මැනැවින් තේරුම් ගෙන මැ කළයුතුවූ ද, පවත්වා ගෙන යායුතුවූ ද වැඩ පිළිවෙළක් බව විශේෂයෙන් සැලකිය යුතු ය.

3. ලෝකයත් ලෝකයෙහි ඇති සවිඤ්ඤාණක[2] අවිඤ්ඤාණක[3] දේත් සිතින් තදින් හෝ යම්තමින් හෝ බදාගෙන තමාගේ සිත තැන්පත්කර ගැනීමට කොතරම් දැඟලුවත්, කොතරම් තර්ක න්‍යාය ඉදරිපත් කළත් එය සිදුකර ගන්නට නම් කිසිසේත් නොහැකිය. ඔබ ඔබේ සිත තැන්පත් කර ගැනීමට සිතනවා නම්, ඔබ විසින් පළමුවෙන් මැ කළයුත්තේ සත්ත්ව සංස්කාරයන් කෙරෙහි ඔබ සිත් තුළ බලපාන බැඳීම් හොඳට විමසා බැලීමය. ඊළඟට ඒ බන්ධනයන් ටිකෙන් ටික කඩා අයින්කර ගන්න. මෙය නියම සිතින් මැ සිදුකරන්න. එකලැ සිත හැදීම අපහසු නැත. නැත්නම් ඔබ කරන්න හදන්නේ අනුන් රැවටීමේ මහා ප්‍රයත්නයෙකි. ඔව්, සියලු බැඳීම්, ගැටීම් දෙක මැ මැනවින් සොයා බලා ඒවා එකින් එක අයින්කර දමන්න. ඔබට ජයගත හැකි වෙයි.

4. යෝගාවචරයාගේ මූලික පරමාර්ථය ඉතා උසස් චිත්ත පරම්පරාවක් ක්‍රමයෙන් දියුණුවට පත්කර ගැනීම යි. එය ලෙහෙසි නැත. ධර්මමය අදහස් සමූහයෙකින් මැ තමාගේ චිත්ත සන්තානය සපුරාලීම පහසු නැත. ඒ සඳහා සුදුසු මැ ක්‍රමයෙක් තිබේ. ඒ මෙසේ යි:

“සද්ධාජාතො උපසඞ්කමති, උපසඞ්කමන්තො පයිරුපාසති, පයිරුපාසන්තො සොතං ඔදහති, ඔහිත සොතො ධම්මං සුණාති, සුත්‍වා ධම්මං ධාරෙති, ධතානං ධම්මානං අත්‍ථං උපපරික්ඛති, අත්‍ථං උපපරික්ඛතො ධම්මා නිජ්ඣානං ඛමන්ති. ධම්ම නිජ්ඣානක්ඛන්තියා සති ඡන්‍දො ජායති. ඡන්‍දාජාතො උස්සහති. උස්සහිත්‍වා තුලයති. තුලයිත්‍වා පදහති. පහිතත්තො සමානො කායෙන චෙව පරම සච්චං සච්ඡිකරොති පඤ්ඤායච නං අතිවිජ්ඣ පස්සති.”

5. “හටගත් සැදැහැ ඇතියේ එළැඹෙයි. එළැඹෙනුයේ පර්ය්‍යුපාසන කෙරෙයි. පර්ය්‍යුපාසන කරනුයේ කන් නතු කෙරෙයි. නතු කළ කන් ඇතියේ දහම් අසයි. අසා දහම් ධරයි. ධැරූ දහම්හි අරුත් පිරික්සයි. අරුත් පිරික්සනුවහට ධර්මයෝ වැටහෙති. දහම් වැටහීම (ධම්මනිජ්ඣානක්ඛන්ති) ඇති කල්හි කර්තුකම්‍යතා ඡන්දය[4] උපදී. හටගත් ඡන්ද ඇතියේ උත්සාහ කෙරෙයි. උත්සාහ (වෑයම්) කොට තුලනය (අනිත්‍යාදි විසින් තීරණය) කෙරෙයි. තුලනය කොට ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. නිවනට මෙහෙයූ සිත් ඇත්තේ මැ (නාම) කයිනුදු සත්‍යය (නිවන) ප්‍රත්‍යක්ෂ කෙරෙයි. ප්‍රඥායෙනුදු කලෙස් විනිවිද දකී.[5]

6. මෙහි ආරම්භයේ පටන් නිර්වාණ සාක්ෂාත්කාරය දක්වා අවස්ථා 12 ක් සඳහන් වේ. එහි මුලින් සඳහන් වන්නේ ධර්මමය ශරීරය සකස් කිරීමට උපකාර වූ සද්ධා ගුණය යි. මෙයින් යෝගාවචරයා හට ශ්‍රද්ධාව ආවශ්‍යක මූලික කරුණක් බව සලකා ගත හැකි ය. සැදැහැයෙන්

තොරව අරඹන යෝගාවචර වැඩ දිරාපත් වන සැටි මෙහි මුලින් සඳහන් කරන ලදී. යෝගාවචරයාගේ යෝගකර්මය සාර්ථක වීමට නම් සැදැහැ ගුණය පෙරදැරි විය යුතුය. එයින් තොර නම් ඒ චිත්ත සන්තානය වියලි මුඩුබිමකට සමාන ය. මෙය අන්තය දක්වා ක්‍රමයෙන් දියුණුවට පත්කර ගනිමින් ගෙන යා යුතු ය. මේ සැදැහැය ද නුවණ හා සමඟ සම්බන්ධ නොකොට ගෙන යාමෙන් දිරාපත් වන්නට ඉඩ තිබේ. එහෙයින් මෙහිදී මනා සැලැකීමක් ආවශ්‍යක ය.

7. දෙවන කරුණ නම්, කළ්‍යාණමිත්‍ර ආශ්‍රයක් තමාට සලසා ගැනීම ය. එය ලෙහෙසියෙන් සැලැසෙන්නේ ඔකප්පනීය සද්ධාව[6] සිත්තුළ පැලැඹෙන කල්හි[7]මය. “සකල මෙවහිදං ආනන්‍ද බ්‍රහ්මචරියං යදිදං කල්‍යාණ මිත්තතා”[8] යි වදාළ පරිදි ශාසන බ්‍රහ්මචරියාවත්, මාර්ග බ්‍රහ්මචරියාවත් යන සියල්ලම අධ්‍යාත්මය තුළ ලැබෙන්නේ ද, වැඩෙන්නේ ද කල්‍යාණ මිත්‍රීය ආශ්‍රය සම්පත්තිය උඩය. එය නො ලද හොත්, එම සියලු ගුණයෝ නොලැබී යන්නාහ. එපමණක් නොවැ අසීමිත විපත් රැසකට ද වැටීමට ඉඩකඩ සැලැසෙන්නේය. එහෙයින් නුවණ හා මුසුකොට ගත් සැහැදැයෙන් එම කල්‍යාණමිත්‍රාශ්‍රයෙන් නියම ප්‍රයෝජනය ගැනීමට ඔබත් උනන්දු වෙන්න.

8. කළණමිතුරන් ඇසුරු කිරීමේ දී එයින් ලබාගත හැකිවන උතුම් ප්‍රයෝජනය මැනැවින් තේරුම් කරගෙන තිබිය යුතු ය. තුන්වන සිවුවන දෙ කරුණෙන් එය මතුකර දෙයි. කළණ මිතුරන් ඇසුරුකරන්නා එහි දී සැදැහැ නුවණ දෙක යොදා ලීමෙන් කළණ මිතුරාගේ බසට කන් යොමුකිරීම සිදුවෙයි. එහි දී නුවණ යොදාලීමෙන් කළමනා ක්‍රියාව පැහැදිලිවැ දැනෙයි. පැහැදිලිව දැනුණු දෙය තමාට අත්පත් කර ගැනීමට පිළිවන් වනුයේ සැදැහැ තිබුණොත් පමණය. එහෙයින් මේ ගුණ දෙකේ ක්‍රියාකාරීත්වය මෙහි දී ඉතාමත් ප්‍රයෝජනය. ඔබ කලණ මිතුරන් ඇසුරු කරන්න. එසේ ඇසුරු කරන විට, මැනවින් නුවණ යොදන්න. දැහැමි කතාවක් එතුමාගෙන් පිටවන විට, එය සැදැහැ යොදා තමා අයත් කර ගැනීමට අමතක නොකරන්න. එහි දී කළණමිතුරාගේ බසට කන් යොමුකිරීමත් එසේ කන් යොමුකොට කියන බණක් ඇසීමත් ඔබ ඉතා සැලැකිල්ලෙන් සිදු කරන්න. මෙයින් ඔබට ලැබුණේ මහත් ලාභයක් බව හොඳින් සිතේ තබාගන්න.

9. පස්වන කරුණේ පටන් දොළොස්වන කරුණ දක්වා ඇති කරුණු අටෙන් සඳහන් වන්නේ දිරාපත් නොවන වැඩ පිළිවෙළකි. පස්වන කරුණෙන් බණ අසා එසේ අසාගත් බණ අහක නොදමා සිත් තුළ ධාරණය කර ගැනීම, තැන්පත්කර ගැනීම අදහස් කෙරෙයි. මේ හේතුකොට ගෙන ඔබට බහුශ්‍රැත ගුණය ඔබ තුළ දියුණු කරගත හැකි ය. බුදුදහම පාඩම් කොට දරාගෙන වාසය කරන්නා ධර්ම චෛත්‍යයෙකි. එපමණෙකින් හේ දෙව් මිනිසුන් විසින් වැන්දයුතු පුද්ගලයෙක් ද වන්නේය.

10. එපමණෙකින් නොනැවතී හයවෙනි කරුණට ද සිත් යොමු කරන්න. එනම් පාඩම් තිබෙන බණ කොටස්වල තේරුම මැනවින් මෙනෙහි කිරීම ය. තමන්ගේ ම නුවණින් හෝ අන් වැඩිහිටියන්ගේ පිටුවහලක් ලැබගෙන හෝ ඔබට මේ අර්ථය සපුරාගත හැකි ය. එසේ අර්ථය සපුරා ගැනීමේ දී ඔබ ඉක්මන් නො විය යුතු ය. බුදුපියාණන් වහන්සේගේ අදහස් දත් මහරහතන් වහන්සේලා දුන් අර්ථ පිළිවෙළක් ඇත. ඒවා ඔබට සොයාගත නොහැකි නම්, උගත් ශික්ෂාකාමී ධර්මවාදී (බණ කනපිට හරවා නො කියන) උතුමකු සොයාගෙන, එතුමා වෙතින් තේරුම් උගෙනීමට උත්සාහවත් වන්න. ප්‍රතිපත්ති ගරුක නො වූ, අධර්මවාදී පුද්ගලයාගෙන් බණ අසන්නට නොයනු මැනවි. එහි දී ඔබට නියම ධර්මය නො ලැබී යාමට ඉඩ තිබේ.

11. හත්වෙනි කරුණ මීළඟට සළකා බලමු. “අත්‍ථං උපපරික්ඛතො ධම්මා නිජ්ඣානං ඛමන්ති” යන්නෙහි තේරුම: අර්ථය මෙනෙහි කරන්නා හට ධර්මයෝ දැනීම ඉවසත්, හෙවත් තේරුම සලකන්නාහට එහි අඩංගුවන ධර්ම කාරණයෝ දැනීමට පත්වෙති යනුය. මෙය ධම්ම නිජ්ඣානක්ඛන්තිය යි. තමා උගත් ධර්මයන් පිළිබඳවැ තේරුම් සිතට වැටහීමට මේ නම යොදනු ලැබේ. මේ ශක්තිය නැතිනම් කොතරම් ධර්මය උගත්තත් එයින් ප්‍රයෝජන නොලැබේ. ධර්මානුරූපව උත්සායක් ගැනීමට ඕනෑකම සිත තුළ පහළවන්නේ මේ ධම්ම නිජ්ඣානක්ඛන්තිය ඇති කල්හි පමණ ය. එහෙයින් උගන්නාතාක් ධර්මය පිළිබඳ තේරුම සලකා ගෙන එය මැනවින් සලකා බැලීමට නිතර නිතර පුරුදු විය යුතු ය. අටවෙනි කරුණෙන් එය පැහැදිලි කරන සේක. එනම් “ධම්ම නිජ්ඣානක්ඛන්තියා සති ඡන්‍දො ජායති ඡන්‍ද ජාතො උස්සහති” යනු ය. ධම්මනිජ්ඣානක්ඛන්තිය ඇතිවන විට ඡන්දය ඇතිවේ. කත්තුකම්‍යතා කුසලච්ඡන්දය ඇතියේ, උත්සාහය ගැන්මට සිදුවෙයි” යන එහි තේරුම ය. මේ ධර්මමය අභිවර්ධනයේ ඉතා හොඳ සන්ධිස්ථානයෙකි. මත්තට තම අභ්‍යන්තරයෙහි සංවර්ධනයට පත්කර ගැනීමට ඇති සියලු ලෞකික ලෝකෝත්තර ගුණධර්ම පරම්පරාවට ඉඩ සැලැසෙන්නේ මේ උත්සාහයේ උපකාරය ලැබීමෙනි. ධම්මනිජ්ඣානක්ඛන්තිය යන්න ගැන ද ගැඹුරට සලකන විට, ධම්මට්ඨිති ඥානය[9] තෙක් සිතේ දියුණුව පහළ වූ බව තේරුම් කළ හැකිය. එය නම් විදර්ශනා භාවනාවේ දී ලැබෙන සප්පච්චය නාම රූප දර්ශනය[10] යි. මෙහිදී මේ පුද්ගලයාහට නාම රූප ධර්මයන් පිළිබඳ වැ අජ්ඣත්ත වශයෙන්[11] ද, බහිද්ධා වශයෙන්[12] ද පච්චත ලක්ඛණාවබෝධය[13] සම්පූර්ණවැ තිබිය යුතු ය.

12. “උස්සහිත්‍වා තුලෙති” යන්න නවවැනි කරුණ යි. ප්‍රධන්වීර්යයෙහි තුලනය කෙරෙයි. තුලනය නම් නාම රූප ධර්මයන්හි ලැබෙන සාමාන්‍ය ලක්ෂණය භාවනාමය ඥානයෙන් වටහා ගැනීම යි. සාමාන්‍ය ලක්ෂණය නම්; අනිත්‍ය ලක්ෂණය, දුඃඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යන ත්‍රිවිධ ලක්ෂණය යි. මේ ලක්ෂණයන් පිළිබඳ අවබෝධය පටන් ගන්නේ සම්මසන ඥනය[14] පවත්නා අවස්ථාවේ ය. උදයබ්බය ඥාන අවස්ථාවේ එය ම දියුණුවට පත් වී වැටහෙයි.

13. ත්‍රි ලක්ෂණය ධර්මයන්ගේ ස්වභාවය යි. මුලැදී එය පෙනෙන්නේ එය වැසී ගිය හෙයිනි. එසේ වැසුණේ එය මෙනෙහි නොකිරීමෙනි. 1. සන්තතියෙන් වැසීගිය හෙයින් ද, උදයබ්බය මෙනෙහි නොකළ හෙයින් ද, අනිත්‍ය ලක්ෂණය ප්‍රකට නොවෙයි. එය සන්තතිය (එකට බැඳුණු සමූහය) ගලවා (එකින් එක වෙන්කොට) උදය වය දෙක මෙනෙහි කරන කල්හි ප්‍රකට ස්වභාවයට පත්වෙයි. 2. ඉරියාපථයෙන්[15] වැසුණු හෙයින් ද, නිතර පෙළීම මෙනෙහි නො කරන හෙයින් ද, දුක්ඛ ලක්‍ෂණය ප්‍රකට භාවයට පත් නො වෙයි. ඉරියවු ගැලවීම නවත්වා, එයින් ලැබෙන අභිණ්හ පතිපීළනය[16] (පුන පුනා පෙළීම) මෙනෙහි කිරීමෙන් දුඃඛ ලක්ෂණය ප්‍රකට භාවයට පත්වෙයි. 3. ඝන සඤ්ඤාවෙන්[17] වැසීගිය හෙයින් ද, නානාධාතු විනිර්භෝගය[18] මෙනෙහි නොකළ හෙයින් ද, අනාත්ම ලක්ෂණය ප්‍රකට නොවෙයි. ඝන සඤ්ඤාව ඉවත්කොට, නානාධාතු විනිර්භෝගය මෙනෙහි කරන විට ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකට භාවයට පත්වෙයි.

14. දහවෙනි කරුණ “තුලයිත්‍වා පදහති” යනු ය. එයින් ප්‍රකාශ වන්නේ තියුණු විදර්ශනාවට නගා සංස්කාරයන් සම්මර්ශනය කරන අයුරුයි. එය භඞ්ග ඥානයේ[19] පටන් අනුලෝම ඥානය[20] ලැබීම තෙක් අවස්ථාවන් සේ ගත හැකි වෙයි. 11, 12, යන කරුණු දෙකින් ලෝකෝත්තර දියුණුව ප්‍රකාශ වෙයි. “පහිතත්තො කායෙන චෙව පරම සච්චං සච්ඡි කරොති” යි සඳහන් වන්නේ නිර්වාණ ධාතුව සාක්ෂාත්කාරයයි. විදර්ශනාවස්ථාවේ දී නිර්වාණය පිළිබඳ දැනීම නොයෙක් වර සිදුවෙයි. ඒ වනාහි අනුමාන වශයෙනි. සිතට නිර්වාණ ධාතුව අරමුණුවන ආකාරයෙන් නොවේ. ඒ නිර්වාණ ධාතුව පළමුවෙන්ම අරමුණු වන්නේ විදර්ශනා ඥානයන්ගේ කෙළවර, මාර්ගචිත්තයට මුලින් ලැබෙන ගොත්‍රභූ සිත[21]ටය. ඒ අවස්ථාව හඟවන වචනයෙකි. “පහිතත්තො” යනු. එහි තේරුම නිවන් පිණිස මෙහෙයුණු සිත් ඇත්තා යනුයි. නිවන් පිණිස මෙහෙයුණු සිත් ඇත්තේ නාමකයින්[22] හා රූපකයින්[23] ද, ඒ පරමාර්ථ සත්‍ය වූ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි. මෙසේ මේ නිර්වාණ ධාතුව සාක්‍ෂාත්කාරය, කාය සාක්‍ෂාත්කාරය, නාම සාක්‍ෂාත්කාරය යයි දෙවැදෑරුම් වෙයි. එයින් කාය සාක්‍ෂාත්කාරය නිසා අනවරාග්‍රසංසාරයෙහි[24] පැවැති කාය දරථ-කාය සන්තාපාදිය නැති වූ බව දැනගනියි. නාම සාක්ෂාත් කාරය නිසා එබඳු ම කෙලෙස් ගහණය නැති වූ බව දැන ගනියි.

  1. ධ. ප. ජරාවග්ග.

  2. විඤ්ඤාණය සහිත (සිත් ඇති)

  3. විඤ්ඤාණය රහිත (සිත් නැති)

  4. කරනු කැමැත්ත සහිත ඕනෑකම

  5. ම. නි. චඞ්කී සු.

  6. ගුණ දැනගෙන පහළ කරගන්නා සද්ධාව

  7. ක්‍රියාත්මක වන කල්හි

  8. කෝසල සංයුත්ත බු.ජ. 162.

  9. නාමරූප ධර්‍මයන්ගේ ප්‍රත්‍යය පිළිබඳ දැනුම - (පච්චය පරිග්ගහ ඤාණය)

  10. නාමරූප දැනීම සහ හේතුඵල දැනීම එකවිට පහළවන දර්ශනය

  11. තමාගේ (ඇතුළත) වශයෙන්

  12. අනුන්ගේ (බාහිර) වශයෙන්

  13. ඒ ඒ ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ වටහා ගැනීම

  14. මෙනෙහි කිරීමේ නුවණ

  15. ඉරියව්

  16. නිතර නිතර පීඩාවට පත්වීම

  17. රාශියක් එකක් වශයෙන් ගැනීමේ සංඥාව

  18. ඒ ඒ ධාතූන් වෙන්කොට බෙදාලීම

  19. සංස්කාරයන් බිඳි බිඳී යනු දකින නුවණ

  20. උදයබ්බයාදී මුල් විදර්‍ශනා ඥාන අටට අනුකූලව පවතින විදර්‍ශනාඥානය

  21. ලෞකික තත්ත්‍වයෙන් නැඟී සිටී. ලෝකෝත්තර තත්ත්‍වයට නොපැමිණි සිත

  22. වෙදනාදී ස්කන්‍ධ සතරෙන්

  23. පඨවි ධාතු ආදී රූප සමූහය

  24. අනවරාග්‍ර සංසාරය - අග්මුල් නැති සසර