යෝගාවචර යෝග්‍යතාවෝ

යෝගාවචරයා වේදනා විජය[1], විතර්ක නිග්‍රහය, ඉන්‍ද්‍රිය විජය[2] යන මෙයින් සමාධියේ ස්ථිරතාවකට පැමිණෙන බව පළමු කියන ලදී. බැහැරී පුඟුලන්ගේ විරෝධය මෙන්ම අනුරෝධය ද, අනුකූලතාව ද ගණන් නොගත යුතුය. ඒ දෙක ම යෝගාභ්‍යාසයට පීඩාකරය. ඒ දෙකින් ම

පීඩා නො ලබා ඒවාට අසු නොවී, ස්ථිර සිතැතිව දිගට භාවනා මනසිකාරය පවත්වා ගෙන ගියේ නම්, ඔහුට විදර්ශනා ඥානයන්ගේ කොනකට හෝ පත්විය හැකිය. එහෙත් මෙහි දී ඔහුට ගුරුවරුන්ගේ උපදෙස් ආවශ්‍යක වෙයි. ඇතැම් විට මේ ආවශ්‍යකම වූ ගුරූපදේශයෙන් පවා පිටමන් වීමට කරුණු යෙදෙන්නට ඉඩ නැත්තේ නො වේ. එහෙයින් එය ද කල් ඇතිවැ තේරුම් ගෙන, භාවනා මනසිකාරයේ යෙදිය යුතුය. ඉතා දීර්ඝ වූ කාලයක් මුළුල්ලේ පුරුදු කළ ඉඳුරන් පිනවීමේ ක්‍රියාව මෙන් මෙය නොවරද්දා ගෙනගිය හැකි නොවන බව විශේෂයෙන් සලකා හිත තබා ගතයුතු කරුණෙකි.

භාවනාරම්භයේ දී තමා විසින් පරිත්‍යාග කළ ජීවිතය රැක ගැනීම ගැන නැවත නැවත සිත නො යෙදවිය යුතු ය. ජීවිතින්‍ද්‍රිය[3] පිළිබඳ දුබලතාව මැනැවින් සිතට ගෙන ඒ ජීවිතය ගැන නොසලකා මනසිකාරයෙහි යෙදිය යුතුය. යෝගාවචරයා තුළ නියම යෝගාවචර අදහස් දියුණු නම්, ඔහුට තමාගේ ජීවිතය කියා දෙයක් නැත. එකින් එකට සම්බන්ධවී පවත්නා පඨවී ආදී ධාතු[4] සමූහය වූ නො නැවතී පවත්නා ක්‍රියාකාරිත්‍වය වශයෙන් දැනෙන මේ කරජකය[5] මහත් පිළිකුල් සේය ඔහුට වැටැහෙන්නේ. එහි ආශාවක් තබා අපේක්‍ෂාවක් පවා තබා ගැනීමේ අදහසෙක් ඔහුට නැත. එය ඔහුට අපවිත්‍ර ගොඩකි. එය තවදුරටත් රැකබලා ගැනීමේ අභිරුචියෙක්[6] ද ඔහුට නැත. ජීවිතය ද නොනැවතී ගලන දිය දහරක් සේ වහ වහා බිඳී බිඳී යන බව ද ඔහුට මැනැවින් වැටැහී ඇත. මෙබඳු අවස්ථාවක ගත කරන, යෝගාවචරයකුගේ බාහිර දුබලකම් කොතෙකුත් බැලිය හැකිය. පිටතින් අවට ඉන්නා පුද්ගලයන් ඔහුගේ අඩුපාඩුකම් සොයන්නන් වුවහොත්, එහි දී වන්නේ යෝගාවචරයාගේ මරණයයි. මෙබඳු සංකටා’වස්ථාවන්ගෙන්[7] යෝගාවචරයා බේරා ගැනීමට නම් මෙහි තතු දත්, පැසුණු නුවණැති, වැඩිහිටියන් අතර නිතර ගැවැසිය යුතු ය. දරදඬු, සැදැහැ මඳ පුද්ගලයන්ගෙන් ඈත් විය යුතුය.

දුබල, නුවණ මඳ පුද්ගලයන් යෝගාවචරයන් ඇසුරෙහි උපස්ථානාදිය සඳහා යෙදවීම කීප අතෙකින් විපත්තියට හේතු වෙයි. ඉතා ඕනෑකමින් පවත්වාගෙන යන පිළිවෙත් මගට මෙය බිහිසුණු මහ කටුවැටක් වීම මෙන්ම පුද්ගලයනට ද ජීවිතයේ අවසානය තෙක් මගහරවා ගත නොහෙන නපුරු පිරිහීමෙක් ද වෙයි. පිළිවෙත් මගෙහි නියම ලෙසින් සිත් සතන් පවත්වාගෙන යාමට ඉඩ කඩ නොලැබීමෙන් එය පිරිහීමට ද පත් වෙයි. එයින් සිදු වූ දෙය තේරුම් ගැනීමට නොහැකි වෙයි. එය දක්නා මහජනතාව පිළිවෙත් මග ගැන ද සැක උපදවන්නාහ. එහෙයින් මෙය පොදු සමාජය තුළ ද බොහෝ විට වැරැදි අදහස් තහවුරු වීමට පවා හේතු වන්නකි.

  1. වේදනාව ජයගැනීම

  2. ඉන්‍ද්‍රීය දමනය

  3. ජීවත්වීම පාලනය කිරීමේ ශක්තිය

  4. ස්වභාව ධර්‍ම

  5. කර්‍මයෙන් හටගත් කය

  6. දැඩි ඇල්මෙක්

  7. දුෂ්කර අවස්ථාවන්