භාවනා සිතට ශුද්ධාදී ඉන්‍ද්‍රියයන් බලපාන හැටි

(අ) සැදැහැ නම් සිතේ පැනනැගෙන අධිමොක්ඛ ක්‍රියාවය. එයින් අරමුණ එපා නොවේ. එය අතහැර නො දමයි. එය නීරසවැ නො දැනෙයි. සෙසු ගුණ සන්තානය මතු වීමට උපකාර බීජයක ස්වභාවය ගනියි. ධර්මපක්‍ෂය එපා වන්නට ඉඩ නො දී අත දීමේ ක්‍රියාව ද මෙහි ඇතුළත් වෙයි.

(ආ) සති නම් චිත්තයේ උපට්ඨාන කෘත්‍යයයි. එනම් හොඳ කරුණු මතුකර තැබීමය. එයින් සියලු ප්‍රමාද පක්‍ෂය (පමාවට හේතුවන දෑ) මග හරවා අප්‍රමාද පක්‍ෂය මතුකර දෙයි. සතිය නැති තැන ප්‍රමාදය වැඩකරයි. සතිය නිතර එළඹ තිබේ නම්, එහි නො වරදවා අප්‍රමාදය වැඩේ. සියලු කුසල්දහම් ද එයින් ම සපිරෙයි.

(ඇ) විරිය නම් මානසික වූ ප්‍රග්‍රහ කෘත්‍යය[1] යි. එය සිත වැටෙන්නට නො දී, හැකිළෙන්නට ඉඩ නො තබා, සිත කුසල් විෂයෙහි ඔසවා තබා ගනියි. කමටහන් අරමුණෙන් සිත හැංගෙන්නේ මේ කෘත්‍යය නැතිකමේ පාඩුවෙනි.

(ඈ) සමාධිය නම් මානසිකව ලැබෙන අවික්ෂෙප කෘත්‍යයයි[2]. මෙයින් සිදුවන්නේ සිත එක අරමුණක තැන්පත් කර තබා ගැනීමට උපකාර වීමයි. මේ ගුණය නැතිවීමෙන් සිතේ ඇවිස්සීම සැලසෙයි. චිත්තට්ඨිති, එකග්ගතා යන නම්වලින් සඳහන් වන්නේ මේ ගුණය මැයි, මෙය විරිය ගුණය හා එකතු වීමෙන් ඵලවත් වේ.

(ඉ) පඤ්ඤාව නම් මානසිකව ලැබෙන දර්ශන කෘත්‍යය යි. මෙය පිරිසිදුව පවත්නා තරමට අරමුණටත් කාර්‍ය්‍යමණ්ඩලයටත් එළිය සැලැසෙයි. මේ ධර්මය පිළිබඳ දියුණුවේ අගය වචනයෙන් කියා අවසන් කළ නොහේ. මෙය අධිමොක්ඛ ක්‍රියාව සැලැසෙන ශ්‍රද්ධාව හා යොදාලීමෙන් නියම ඵලය සැලැසෙන්නේ ය.

මෙසේ මේ මානසික ක්‍රියාවන් යුගල යුගල වැ දියුණුවට පත්වී ඒකරස[3] වන අවස්ථාවක් ලැබේ. ඒකරසවීම නම් ප්‍රධාන අරමුණට සම්බන්ධ වැ ක්‍රියාකාරීතාව හෝ අසංඛත ධාතුව[4] ප්‍රත්‍යක්‍ෂ කිරීමේ කාර්‍ය්‍යයෙහි දී එක්සත්ව පැවැතීම යි. මේ කියන ලද්දේ ශමථ විදර්ශනාවන් පිළිබඳ අවස්ථා දෙක ම සලකාගෙනය. කාමාවචර තත්ත්‍වය ඉක්ම ගෙන මහද්ගත අවස්ථාවට හැරීමේදී ද මාර්ගඵල ලැබීම ඇතිවීමේ දී ද, එයින් ධ්‍යාන නම් වූ අර්පණාව හා ලෝකෝත්තර මාර්ග අවස්ථාව ද සැලැසෙයි.

5. බුදුපියාණන් වහන්සේ තමන්වහන්සේගේ අනුගාමිකයන් පිළිබඳ ගුණ දියුණුව ම අගය කොට සැලැකූ සේක. මැදුම් සඟියේ එන ධම්මදායාද සුතුර බලන්න.

6. සාමාන්‍ය සිතෙක කොතෙකුත් දුබලතා පහළ වන්නට ඉඩ ඇත්තේ ය. ප්‍රමාදයේ වැටී කල් ගෙවන පුද්ගලයාට දුබලකම් ගැන හැඟුමෙකුදු නැත. සිත දියුණුවට පත්කර ගැනීමට උත්සාහ ගන්නාහට සිත්තුළ හටගන්නා දුබලකම් මගහරවා ගැනීමේ සිත් පහළ වෙයි. එසේ ඒවා මගහරවා ගැනීමට නම් සතිය-සිහිය මැනැවින් තබාගත යුතු ය. තැන්පත් කර ගැනීමට බලාපොරොත්තු වන සිත යටකරගෙන ගලාගෙන එන විතර්ක ධාරාව මැඩගත හැකි වනුයේ එසේ හොඳින් සිහිය තිබෙන විට ය.

7. සසර පැවැත්ම පිළිබඳ සංවේගය මැනැවින් සලකාගෙන ඇත්ත වශයෙන් ම එම සංවේගය පවත්වා ගතයුතුය. බැරිකම් හෝ කෙලෙස්බර හෝ කොතරම් වැඩීගියත් සතිය අත් නොහැර පවත්වා ගන්නවානම් ප්‍රමාදයට නොවැටී සිත් හසුරුවා ගන්නට නො හැකි වන්නේ නැත.

8. සිත තුළ පහළ වන සුළු වරදකට වුවද, ඉඩ කඩ ලැබීමෙන් සිදුවන්නේ යටවී ඇති කෙලෙස් බලමුළුවට ඉඩ කඩ සලසා දීමෙකි. අල්පමාත්‍රවූ ද වරදෙහි බිය දක්නා සුළු වූයේ ශික්‍ෂාපදයන් මොනොවට ගෙන හික්මෙයි. “අනුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි[5]” යයි වදාළේ සිතේ කෙලෙසුනට ඉඩ නො දී සිත්හසර පවත්වා ගැනීම පිළිබඳව ය. කෙලෙසුන්ගේ පරියුට්ඨානයට ඉඩ නොතබා සතර ඉරියව් පැවැත්වීම ය අප්‍රමාද විහාරය. එයින් පරාගේ වැරැදි නිසාවත් ඒවා සිතට වද්දා ගෙන හෝ තම සිත් සතන් කිළිටි කර නො ගන්න. නොසන්සුන් කර නො ගන්න.

9. “යො පබ්බජි ජාති සතානි පඤ්ච - පහාය කාමානි මනොරමානි[6]” යනාදීන් බුදුපියාණන් වහන්සේ වදාළේ දම්සෙනෙවි සැරියුත් හිමියන් අතරක් නැතිව ජාති-ආත්මභාව පන්සියයක් පස්කම් අරමුණුවලින් වෙන්කර තබාගැනීමේ මහ පුදුම පිරිසුදු පුරුද්දක් ඇත්තකු බවය. මෙය නිසා සිතට සැලැසෙන්නේ නෙක්ඛම්මාදී හොඳ පුරුදු සමුදායකි. පිරිසිදු සිතේ පුදුම දියුණුවෙකි.

10. අරිය පරියේසනය[7] තේරුම් ගත යුතුය. අනරිය පරියේසනය[8] තේරුම් ගත යුතුය. අනරිය පරියේසනයට යොමු කළ සිත බිහිසුණුය. එහි දැහැමි බවක් ඇඟවුවත් එබන්දෙක් නැති. එබඳු සිතක් ඇත්තහුට දැහැමි කථා රුචි වන්නේ නැත. එහි මෙත් කුළුණු ගුණ නැත. ඇතිසේ පෙනේ නම් ඒ පිටතිනි. වඤ්චනික වශයෙනි. හමුවනතාක් සත්ත්‍ව සංස්කාරයන් පෙළාලීම එහි ප්‍රකට කෘත්‍යයයි.

11. මේ සත්ත්‍වයන් දුෂ්කරවැ පාලනය වන මෙම ජීවිතයේ නියම තතු හරිහැටියට දකිතොත්, සිතා බලතොත් මොහොතකුදු පමාවට නො වැටී දැහැමි වැඩෙහි යෙදෙනු ඇත.

12. විදර්ශනාවත්, විදර්ශනාව සඳහා ශමථයත් යන දෙකේදීම නිරතුරු මතුවී එන්නේ පාරමිතා කුශලකර්ම සමූහයෙකි. එබඳු පාරමිතා කුශලයෙක්හි අවම විපාක වශයෙන් ලැබිය යුත්තේ භව ග්‍රන්ථි වැඩෙන ආකාර සුඛෝපභෝගී උපකරණ රාශියෙකැයි නොසිතමි. එබඳු උපකරණවලින් ලැබෙන නිරාමිෂ පහසුව, සැනසිල්ල එබඳු උපකරණ නැතිවමැ සැලැසීම එහි ඵලය විය යුතුය. මේ නිසාම පාරමිතා පුණ්‍යයෝ භවග්‍රන්ථි[9] කැඩීමේ ශක්තිය ලබාගෙන සිටිති.

  1. ඔසවා තැබීමේ කාර්‍ය්‍යය

  2. විසිර යා නොදීමේ කාර්‍ය්‍යය

  3. එකම කෘත්‍යයකට යොමුවූ

  4. නිවන

  5. අං. නි. බු. ජ. 11-24 පිට.

  6. සාම් හේ. මු. 3.

  7. උතුම් සෙවීම

  8. උතුම් නොවන සෙවීම

  9. සසර පැවැත්ම තර කරන ගැට