විතර්ක විජය

යෝගාවචර ජීවිතයට ඇතුළත් වූවහුට මරසෙනග මෙන් විතර්ක ධාරාවෝ ගලා එන්නට පටන් ගන්නාහ. මේ විතර්කයෝ නව කොටසකට බෙදා දක්වන ලද්දාහ. ඒ මෙසේයි:

  1. කාමවිතර්ක - කාම වස්තූන් පිළිබඳ කල්පනාවෝ,
  2. ව්‍යාපාද විතර්ක - පරාහට හානියක් පීඩාවක් වනසේ කරන කල්පනාවෝ,
  3. විහිංසා විතරක - පරාහට හිංසාවක් කිරීම ගැන කල්පනාවෝ,
  4. ඥාති විතර්ක - නෑයන් ගැන පහළවන විතර්කයෝ - කල්පනාවෝ,
  5. ජනපද විතර්ක - ඒ ඒ නගර ජනපදයන් ගැන පහළවන කල්පනාවෝ,
  6. අමර විතර්ක - නොමැරී කල්ගෙවීම ගැන පහළවන කල්පනාවෝ,
  7. පරානුද්දයතා පටිසංයුත්ත විතර්ක - පරාහට අනුකම්පා කිරීම ගැන පහළ වන කල්පනාවෝ,
  8. ලාභ සක්කාර පටිසංයුත්ත විතර්ක - ලාභ සැලකිලි ලැබීම ගැන පහළ වන කල්පනාවෝ,
  9. අනවඤ්ඤත්ති පටිසංයුතත විතර්ක - අවමන් නොලැබ කල්ගෙවීම ගැන කල්පනාවෝ.[1]

මේ විතර්කයන් ගෙන් ඇතැම් විතර්ක එක එල්ලේ අකුසලයට බර නො වුව ද, කුසල් සැටියට පෙනී සිටිය ද, ඒකාන්ත වූ අකුසල වූ විතර්ක ඇද ගැනීමට උපකාර වන්නාහ. යෝගාවචර තත්ත්‍වය කෙලෙසාලන ගති ද එහි ඇත. එහෙයින් මේ හැම විතර්කයක් මැ දැනෙන විටමැ මෙනෙහි කර ඈත්කරන්නට පුරුදු විය යුතු ය.

“මේ විතර්කයෝ මාරසේනාවෝය. මොවුන්ගෙන් බේරීයාම යෝගාවචර ජීවිතයක් ගතකරන මට අයිති ලොකුමැ යුතුකමය. මා ගමන් කළ යුත්තේ මැදුම් පිළිවෙතේය. මේ විතර්කයෝ අන්තයකට වැටී ගත්තෝ ය. මේවා ඔස්සේ ගමන් කරන්නට සිතට ඉඩදීමෙන් වන්නේ මා පැතූ ලොවුතුරා මග සොයා ගෙන යන ගමන අසාර්ථක වීමය,” කියා මෙසේ සලකා මෙනෙහි කිරීමෙන් විතර්ක නිග්‍රහය කොට, මේ විෂම භූමිය ඉක්ම ගතහොත්, ඒ දක්‍ෂ යෝගාවචරයෙකි. තමා තෝරාගත් කමටහනට සිත යොදාගෙන පර්‍ය්‍යඞ්කාසනයෙහි[2] දෙතුන් පැයක් කල් ගෙවීම ඔහුට දුෂ්කර නැත. වේදනාවෙන් පීඩා ද ඔහුට නැත. සමාධිය දියුණු කරගැනීමේ අවස්ථාව එළඹී ඇත.

  1. චූළනි. බු. ජ. 342.

  2. එරමිණිය ගොතාගෙන සිටීම