මා යෝගාවචරයකු වූයේ කුමට ද?

1. “හැම විටම ඉඳුරන් පිනවීමට බලාපොරොත්තුවෙන්, හැම වැඩක දී ම එයට මුල්තැන දීමට ඉදිරිපත්ව ඇති ගිහිගෙය, සසර දුකට හොඳටම සම්බන්ධකම් ඇත්තේ ය. එහි ඇති ගිහි කම්කටොලු මට පෙනෙයි. එහෙයින් ගිහිගෙය දුක් රැස්කරන තැනෙකි යි සිතෙයි. දුක්ගනි හැම තැනම පෙනෙයි. අවිද්‍යාවෙන් මුළාව තෘෂ්ණාවට දාසකම් කරන ගිහියාට මේ දුක්ගිනි හැම පැත්තෙන් ම එනසැටි නොපෙනෙයි. කුසල් දහම්වලට එහි ඉඩක් නැත. එයට ලැබෙනුයේ නොයෙක් විදියේ බාධා රැසෙකි. කෙලෙසුන්ගේ බිහිසුණුකම මට වැටහී ගියේ ය. කෙලෙසුන් වැඩෙන දුක්ගිනි බෝකරන එම ගිහිගෙය නපුරු වල්සතුන්ගෙන් පිරි වනලැහැබක් සේ සිතෙන්නට විය. එහෙයින් මම නෛෂ්ක්‍රම්‍ය අදහසක් පහළකර ගතිමි.” මේ, දුක තේරුම් කරගත් යෝගාවචරයෙකුගේ කථාවකි.

2. දුක්ගිනි රැස පහළ වන්නේ කර්‍ම නමැති ගිනි මුල්කර ගෙනය. කර්‍ම ගිනිවලට මුල කෙලෙස් ගිනි රැස ය. මේ ගිනි තුන්වගය මැ සම්පූර්ණයෙන් නිවී යන්නේ විදර්ශනා භාවනාවක උසස් ප්‍රතිඵලය වශයෙනි. ඒකාන්තයෙන් රහත්බව ලබාගන්නා තුරු සම්පූර්ණයෙන් මේ ගිනි රැස නිවෙන්නේ නැත. ඔහු යෝගාවචරයකු වූයේ මේ අදහස් රැස සිතින් ගෙන ය. ඒ සඳහා තමා විසින් කළමනා වැඩ හා පිරුව මනා පිළිවෙත ද, පිරිසිදු වැ දැනගෙන විසිය යුතු ය. මේ සඳහා ඉදිරිපත් කර ගන්නේ ලොවුතුරා ගුණ රැසින් අගතැන් පත් සම්මාසම්බුදු පියාණන් වහන්සේ පෙන්නා දුන් උතුම් උපදෙස් සමූහයයි.[1]

3. මේ සඳහා මම සීලසංවරය වෙත මාගේ අවධානය යොදමි. එහි දී මම එය කඩ නොකොට, සිදුරු සෑදෙන්නට නො දී, අසබලවැ[2], අකම්මාසවැ[3], තෘෂ්ණා දෘෂ්ටි දෙකින් තදින් අල්ලා නො ගෙන, දිවි දෙවෙනි කොට රැකගනිමි. එයින් මාගේ කායික ක්‍රියාවන්ගේ හා වාචසික ක්‍රියාවන්ගේත් පිරිසිදුකම සැලැසෙනු ඇත. මෙසේ සිතට එකඟවැ මැනැවින් රකින සීලය ම සෙසු උසස් ගුණයෙන් මා සිත්තුළ දියුණුවට පත්කර ගැනීමට පිහිටක් වනු ඇත.

4. මීළඟට මම ඉන්‍ද්‍රිය සංවරය වෙත මාගේ අවධානය යොමු කරමි. එය රකින්නා වූ මම ඇස, කණ, නැහැය, දිව, කය, මනස යන ඉන්‍ද්‍රිය දොරවල් සයේ සිහිය පිහිටුවා ගෙන, කෙලෙස් අරමුණුවලින් සිත පිරිසිදු කොට තබා ගනිමි. එය මාගේ අප්‍රමාද ප්‍රතිපත්තිය වනු ඇත. ඒ මගින් මා බලාපොරොත්තු වන සීලවිසුද්ධියට බලවත් රැකවරණයක් සැලැසෙන්නේ ය. ස්ථිරත්‍වයට පමුණුව නොගත් සීලයෙකින් උසස් ගුණයෝ මතුකළ නොහෙන්නාහ. “අයං පතිට්ඨා ධරණීව පාණීනං”[4] යි වදාළ පරිදි මහපොළව සේ මේ සීලය ගුණයනට පිහිට වන්නේ ය.

5. මේ අප්‍රමාද ප්‍රතිපදාව මැනැවින් රැක ගැනීමට නින්ද අඩු කර දිවිපැවැත්වීම වූ ජාගරියානු යෝගයත්, ආහාර ගැනීමේ දී නිස්සරණ අදහස් මතුකොට තබා ගැනීමෙන් භොජනෙ මත්තඤ්ඤුතාවත් යන ධර්‍ම දෙක ඉතා දැඩි අධිෂ්ඨානයෙකින් ආරක්‍ෂා කර ගනිමි.

6. මේ හැම ගුණයක්ම අඩපණ නො වී, අතරක නතර නොවී පවත්වා ගෙන යාමට නම් බලවත් වීර්‍ය්‍යයක් පවත්වා ගත යුතු ය. “යං තං පුරිස ථාමෙන පුරිස විරියෙන පුරිස පරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්‍වා විරියස්ස සන්‍ථානං භවිස්සති”[5] යි වදාළ පරිදි, පුරුෂයාගේ ඥානථාමයෙන් පුරුෂයාගේ වීර්‍ය්‍යයෙන් පුරුෂයාගේ පරාක්‍රමයෙන් යම් උතුම් ලොවුතුරා ගුණයකට පැමිණිය යුතු ද? එයට නො පැමිණ, එය නොලබා පටන්ගත් වීර්‍ය්‍යය නොනවත් වන්නෙමි’යි දැඩිව ගත් අධිෂ්ඨානයෙකින් යුතුව චෛතසික වීර්‍ය්‍යයත්, කායික වීර්‍ය්‍යයත් පවත්වා ගෙන යන අප්පටිවානිතාව[6] මම දියුණු කරමි. එසේම එය සමඟ “අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මෙසු”[7] යි වදාළ පරිදි අපේක්‍ෂා කරන උත්තමාර්ථයෙන් මෙපිට ලැබෙන, යම් කවර ගුණයෙකිනුදු තෘප්ත නොවන ස්වභාවයෙකින් යුක්ත වෙමි.

7. මා විසින් කඩ නොකොට යායුතු වන, ප්‍රතිපත්තිය හෙවත් වැඩ පිළිවෙළ, මා මැනැවින් නිසැකව ම දැන සිටිය යුතු ය. ප්‍රමාදය ඈතට තල්ලු වෙන්නාවූ ද, අප්‍රමාද පක්‍ෂය නිරන්තරවැ පිරී යන්නාවූ ද, සතියත් සම්පජඤ්ඤයත් කඩ නොවී මා තුළ දියුණු විය යුතු බව මම නිතර සලකමි. එය මගේම ජීවිතයට සම්බන්ධ කොට ගෙන පවත්වාගෙන යාමට මම තදින් සිතට ගෙන වාසය කරමි.

8. මා දුක තේරුම් කොට ගෙන කල්යැවිය යුතු ය. එහෙයින් කය සතප්පාගෙන විසීමට ඕනෑ කරන්නා වූ ද, බැහැර සැපයට ගිජු වූ සිත නිතර නිතර ඉල්ලාන්නාවූ ද, සුඛෝපභෝගී උපකරණයන් සෙවීමට මම නොයන්නෙමි. බුදුපියාණන් වහන්සේ, “කලිඞ්ගරූපධානා භික්ඛවෙ එතරහි මම සාවකා විහරන්ති, අප්පමත්තා ආතාපිනො”[8] ...... යනාදීන් “මහණෙනි, ලී කොටයක් කොට්ටය සඳහා යොදාගෙන මාගේ ශ්‍රාවකයෝ පමා නො වී, කෙලෙසුන් තවන වීර්‍ය්‍යයෙන් යුතුව මේ කාලයේ වාසය කෙරෙති. ඔවුන් එසේ වාසය කරන හෙයින් කෙලෙස් මරහු ඉඩ නො ලබා ඉවත් වන්නාහ.” යනුවෙන් වදාළහ.

9. “පල්ලඞ්කෙන නිසින්නස්ස - ජණ්ණුකෙ නාභිවස්සති,

අලං ඵාසුවිහාරාය - පහිතත්තස්ස භික්ඛුනො.”[9]

යනුවෙන් සැරියුත් හිමියන් වදාළ පරිදි, කෙලෙසුන් තවන වීර්‍ය්‍යයෙන් යුත් මහණහුට යම් සෙනසුනක පළක් බැඳගෙන ඉන්නා කල්හි වැස්ස දෙ දණ නොතෙමා නම් ඒ සෙනසුන පහසු විහරණයට සුදුසු ය. කෙලෙස් උල්පතට අසු නොවන හෙයින් මේ පහසු විහරණය මගපල නිවන් ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට උපකාර වෙයි.

10. තණකොළ ඇතිරිල්ලක හෝ සම්කඩ එළාගෙන එහි හෝ හිඳිමෙන් කල් ගෙවීම මගපල නිවන් අත්පත් කරගැනිමේ මහා මාර්ගය යි. කොටළුවා යම්කිසි තැනක ඉතා සුළු වේලාවක් නිදන්නා මෙන් මා ද නිදි බහුල නොවිය යුතු ය. මා විසින් නින්ද අඩුකර ගත යුතු ය. කවර හෙයින්ද? නින්ද නම් ප්‍රමාදයට හේතුය. එය කෙලෙස් මරුන්හට අවකාශ ලැබෙන අවස්ථාවෙකි.

11. “යෝගාවචරයා නොනිදයි” යන්න මම හොඳින් තේරුම් ගෙන සිටිමි. එහෙයින් මම සෙනසුන් සොය සොයා ඇඳ ඇතිරිලි ආදිය සොය සොයා නො වෙහෙසෙමි. ඒ ගැන සිතිවිලි මාත්‍රයක් පවා මා පහළ කරතොත් මම යෝගාවචර ධර්‍මය කඩකරන්නෙක් වෙමි. යෝගාවචරයා නම් නොපමා පුද්ගලයා ය. හේ කිසිවක තදින් එල්ලී නැත.

12. යෝගාවචරයා යම්කිසි ලදදෙයකින් සතුටු වන්නෙකි. එහෙයින් යම් කිසි අස්නක් ලදහොත්, එහි පර්යඞ්කය බැඳගෙන භාවනා මනසිකාරයෙහි යෙදෙයි. එහි දී ථිනමිද්ධාදියෙන් පෙළෙන අවස්ථාවක් ආවොත් හේ සක්මන් කරයි. යළිත් පර්යඞ්කයෙන් කල් යවයි. මෙසේ කල් ගෙවන යෝගියා නින්දට යාම සඳහා සකස් වීමක් නො පතයි. කෙලෙසුන්ගෙන් පෙළෙන සිතටය ප්‍රමාද නින්දට ඉඩ ලැබෙන්නේ. ඇතැම් විටක සක්මනේ ආලම්බන රජ්ජුවේ[10] එල්ලීගෙන ඉන්නා විටෙක හෝ පර්යඞ්කයෙහි ඉන්නා විටෙක හෝ චිත්ත සන්තානය භවඞ්ගයට වැටීමෙන් එක්තරා පැවැත්මෙකින් නිද්‍රා කෘතියක් සිදුවෙන සැටි කිය හැකි ය. ඇතැම් යෝගීන්ට ඇතැම් දිනෙකදී රෑ දාවල් දෙකේදී ම මෙබඳු දුබලතාවකුදු නැති වැ කල් ගෙවීමට පිළිවන්කම තිබෙන සැටි අප දැක ඇත. නො නිදා ඉන්නේ කොහොමදැයි ප්‍රශ්න නැගෙන්නේ යෝගකර්මය නියම ලෙසින් නොදන්නවුන් විසිනි.

13. නියම අන්දමින් යෝගාවචර තත්ත්වයට පත් වූවහුට පවා සංසාරික පරිචයත්[11] දූෂිත පරිසරයකට වැටීමත් හේතු කොට ගෙන, නංවාගත් උසස් නෙක්ඛම්ම අදහස ගිලිහී යන්නට ඉඩ තිබේ. එහෙයින් එබඳු අවස්ථාවලින් ආරක්ෂා වීමට නො කැඩී පවත්වාගෙන යන අධ්‍යාශය සම්පත්තියෙකින්[12] හා තමහට බලපානා කෙලෙස් දුබලතාවන් මැනැවින් හඳුනාගෙන කලණ මිතුරන් කෙරෙහි බලවත් ඇදැහිලිමත් ගතියෙකිනුත් යුතුවැ විසිය යුතු ය. “මට වරදින්නේ නැත” යන මානී අදහස සම්පූර්ණයෙන් කඩාගෙන විසිය යුතු ය.

14. සුදුසු කලණ මිතුරකු ලද්දේ නම් යෝගාවචරයා ඒ කලණ මිතුරා කෙරෙහිම තද විශ්වාසය තබාගෙන ස්වකීය යෝගී වැඩ කරගෙන යා යුතුය. කවර දෙයක් සඳහා හෝ ඒ ගෙනයන වැඩ පිළිවෙළ නවත්වාලන කිසිම වැඩකට සම්බන්ධ නොවිය යුතු ය. ඔහුගේ ගමන බාධක සාගරයෙකය. එහෙයිනි.

  1. සං. නි. ආදිත්ත පරියායසුත්ත.

  2. පුල්ලි නොගැසෙන සේ (පාඩ ගවයකුගේ මෙන්)

  3. තැන තැන පැල්ලම් නොගැසෙන සේ

  4. මී.ප.

  5. අං. නි. බු. ජ. නි. 1-100 පිට.

  6. නොපසුබස්නා බව

  7. අං. නි. බු. ජ. නි. 1-100 පිට.

  8. සං. නි. ඔපම්ම සංයුත්ත.

  9. ථෙරා.

  10. එල්බ ගැනීමට ඇති කඹය

  11. සසර පුරුද්ද

  12. උදාර අදහස් ඇති බව