මගහැරී යන යායුතු මග

දැන් අපි යෝගාවචරයාට තමා යා යුතු මග ඇහැරීයන සැටි ද පෙන්නාදීමට උත්සාහ කරමු. විතර්ක නිග්‍රහයෙන්[1] ජයක් ලබා ගත් අපේ මේ යෝගාවචරයා බාහිර කිසිදු දෙයකට නො පෙලඹෙනසුළු අහිංසක පුද්ගලයෙකි. සුදුසු යෝගාවචර ගුණ නොමැතිවැ යෝගාවචර නමින් සිටුනා පුද්ගලයන් දෙස බල බලා කල්ගෙවූ මහජනයා මේ පුද්ගලයන් දැකීමෙන් පහළකර ගන්නේ රහතුන් වහන්සේ යන හැඟුමෙකි. එහෙයින් දැන් මොහු වටා නොයෙක් දෙනා එතෙන්නට පටන් ගන්නාහ. අනුන් සිත් ගැනීමේ අදහසින් ඉරියවු පැවැත්වීම ඔහුට නොකර පැහැර හැරිය නොහැකි තැනට පත් වෙයි. ඔවුන්ගේ නොයෙක් විදියේ සිතැඟි ඉටු කිරීමට නො ගොස් නො විසිය හැකි තැනට පැමිණෙයි. වටින් පිටින් නොයෙක් විදියේ ලාභ-කීර්ති-ප්‍රශංසාවෝ ගලා එන්නට පටන් ගන්නාහ. මේ පිරිසිදු අදහසින් ගමන්ගත් පුද්ගලයා අර ලාභ-කීර්ති-ප්‍රශංසා මහ මඩෙහි එරීගනියි. එයින් ගොඩ ඒමට නොහැකි තරමට හේ මේ මහමඩේ එරීගනියි. කල් ඇතිවැ මේ ආදීනවය තේරුම් කරගෙන සිටින්නට බැරිවීම නිසා යට වී තිබු කෙලෙස් කසළ යළිත් මතු වන්නට පටන් ගනියි. අන්ත පරිහානියකට වැටෙන, මේ යෝගාවචරයා කිසිලෙසකින් මතු විය නොහෙනසේ ඒ මහමඩෙහි එරී කල් ගෙවයි. ඔහුට ලොවුතුරා ගුණ අමතක වී ඇත. සසර දුක බව අමතක වී ඇත. කෙලෙසුන්ගේ මහා ආදීනව රාශිය අමතක වී ඇත.[2] දැන් ඔහුට තමා යන්නේ කවර මගෙක ද? කියා සැලැකීමෙක් නැත. සසර මහදුක් මුහුදේ පෙරැළෙමින් කල් යවයි. මේ පුද්ගලයාට සිදුවූයේ මහ විපතෙකි. එහෙත් ඔහුට හෝ ඔහු වටා සිටි ජනයාට හෝ එබඳු අදහසෙක් පහළ නො වේ. මේ හැමදෙනම කල් ගෙවන්නේ මාරයාගේ අධිරාජ්‍යයේ නොවේද? මේ පුදුමයෙක් නො වේ.

  1. විතර්ක (සිතිවිලි) මැඩලීම

  2. ලාභ සක්කාර සංයුත්ත, බු. ජ. 2.344