මග පල ලැබීම, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය සපුරා ලැබෙන සම්මාසම්බුදු සසුනෙකින් ම ලැබෙන ප්‍රධාන ම කාර්‍ය්‍යයි.
“ඉමස්මිං ඛො සුභද්ද ධම්ම විනයෙ අරියො අට්ඨංගිකො මග්ගො උපලබ්භති, ඉධෙව සුභද්ද සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්‍ථො සමණො සුඤ්ඤාපරප්පවාදා සමණෙහි අඤ්ඤෙ”[1] සුභද්‍රය, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය මේ ධර්ම ශාසනයෙහිමැ ලැබෙන්නේ ය. සුභද්‍රය, ප්‍රථම ශ්‍රමණයා[2] ද මෙහිමය. ද්විතීය ශ්‍රමණයා[3] ද මෙහිමය. තෘතීය ශ්‍රමණයා[4] ද මෙහිමය. චතුත්‍ථි ශ්‍රමණයා[5] ද මෙහිමය. මේ ශ්‍රමණයන්ගෙන් තොරවූ පරවාදයෝ[6] හිස්වෙති. මේ සඳහා අධිගම[7], ප්‍රතිවෙධ[8] යන නම් ද ව්‍යවහාර කරනු ලැබේ. නිවන් අවබෝධකර ගැනීම කියන්නේ ද මෙයට මැයි.
මග පල යනු ලෝකෝත්තර කුසල-විපාක (කුසල් 4 විපාක 4) යන සිත් අටට කියන නම්ය. සීල විසුද්ධිය ආදිකොට ඇති විසුද්ධි සත පිරීමේ දී, සම්පූර්ණ වීමේ දී, ආර්‍ය්‍ය මාර්ගය දියුණුවට පත්වීමෙන් නිවන ආලම්බනය කොට ගෙන[9], මේ සිත් අට පහළ වෙයි. එයින් මාර්ග සිත් සතර ලොවුතුරා කුසල් සිත්ය. ඵලසිත් නම් ලොවුතුරා සිත්වල විපාක අවස්ථා සතරමය. නිවන් අරමුණු කොට පහළවන මේ මාර්ග සිත් සතරෙන් එක් එක් සිතක් පහළ වන්නේ එක් පුද්ගලයකුට එක් වරෙකි. ඵලසිත් ගණන නම් අප්‍රමාණ වෙයි. මේ සිත් අට එක් සන්තානයෙක්හි පහළ වන්නේ ආර්‍ය්‍ය මාර්ගාඞ්ග අට සම්පූර්ණයෙන් දියුණු වීමෙනි. ඒ මාර්ගසිත් සතරට විෂය වන කෙලෙස් සීමාවෝ ද සතර දෙනෙක් වෙති. ඒ මෙසේයි:
ප්‍රථම මාර්ගයට : 1. සක්කාය දිට්ඨි 2. විචිකිච්ඡා 3. සීලබ්බත පරාමාස 4. දිට්ඨානුසය 5. විචිකිච්ඡානුසය 6. අපායගාමී සියලු අකුසල් යන ප්‍රථම සීමාවයි.
දෙවන මාර්ගයට : 1. ඕළාරික කාමරාගය[10] 2. ඕළාරික කාමරාගානුසය 3. ඕළාරික ව්‍යාපාදය 4. ඕළාරික ව්‍යාපාදානුසය යන මොවුහු ද්විතීය සීමාව යි.
තුන්වන මාර්ගයට: 1. අනුසහගත කාමරාගය[11] 2. ව්‍යාපාදය 3. කාමාරාගානුසය 4. ව්‍යාපාදානුසය යන මොහු තුන්වන සීමාව යි.
සතරවන මාර්ගයට : 1. රූපරාගය[12] 2. අරූප රාගය[13] 3. මානය 4. උද්ධච්චය[14] 5. අවිජ්ජාව 6. මානානුසය 7. භවරාගානුසය 8. අවිජ්ජානුසය යන මොවුහු සතරවන සීමාවයි.[15]
මෙහි ප්‍රථම මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු[16] වූ ක්ලේශයෝ තුන්දෙනා නපුරුය. අනාදිමත් කාලයක පටන් සන්තානයට පුරුදු වී ඇති කෙලෙස් තේරුම් ගැනීම ද ඉතාමත් දුෂ්කරය. ඔහුට කෙලෙසුන් නැතිකළ යුතු යයි සිතා ගැන්ම ද අමාරු ය. කෙලෙස් නිසා පලිබෝධ[17] වන්නේය යි සිතීමෙක් ද ඔහුට නැත්තේ ය. සසර දුකෙකැයි වැටහීමෙක් ද ඔහුට නැත. අවිද්‍යාවෙන් වැසී තිබෙන හෙයින් භාවනාවේ යෙදීමට පක්‍ෂව සිත් යෙදෙන්නේ ද නැත. මෙසේ වට්ටය හෙවත් සංසාරය පවත්වා ගෙන යාමට උපකාර වන මුල් කරුණ ආයෝනිසො මනසිකාරය[18] යි. එය දිට්ඨි විචිකිච්ඡාවන් මතුකර දෙයි.
“සබ්බා දිට්ඨියො ච සොළස විධා විචිකිච්ඡා ච අත්තදිට්ඨි මූලිකා එව හොන්ති. අත්‍ථදිට්ඨියා නිරුද්ධාය නිරුජ්ඣන්ති. සබ්බානි ච අපායගාමිකම්මානි අත්තදිට්ඨියා සතියා එව විපච්චන්ති.[19]”
සියලු දෘෂ්ටීහු ද, සොළොස් වැදෑරුම් විචිකිච්ඡාවෝ ද ආත්ම දෘෂ්ටිය මුල්කොට ඇත්තාහුම වෙත්. ආත්ම දෘෂ්ටිය නිරුද්ධ වූ කල්හි ඒවා නිරුද්ධ වෙති. සියලු අපායේ උපදවන කර්මයෝ ද ආත්ම දෘෂ්ටිය ඇතිකල්හි ම විපාක දෙත්. මේ කෙලෙසුන්ගෙන් වෙළී ඉන්නාතාක් සිතන්නේ “සංසාරයේ දුකක් නැත. එයින් වෙන්වීමය දුක” යනුවෙනි.
“භාවනාව දැන් ඕනෑ නැත. නරක නැහැ. කරන්නට ඕනෑ, ඒත් දැන්ම නොවේ.” තවත් කරුණක් නම් මේ කාලයේ කොතරම් භාවනා කළත් මාර්ග ඵලයන් ලබෙන්නේ නැහැ. ඒ නිසා ම විදර්ශනා භාවනාව වැන්නක් කළාට වැඩෙක් නැත. මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති භාවනාව වැනි භාවනා නම් ටිකක් කළාට වරදෙක් නැහැ” යනාදී ප්‍රසිද්ධ ප්‍රකාශයනයන් කරන උගත්තුත් ඇත්තාහ. මේ උගත් වේශයෙන් ඉන්නා නූගතුන්ගේ මොළධාතුව පෑදෙන්නේ කවදා ද? ස්වකීය කෙලෙස් වේගය නිසා මෙබඳු අදහසක් සිතට පහළ වුවත් තුනුරුවන්ගේ නාමයෙන් ප්‍රකාශ නොකර ඉන්නට සිතනවා නම් ඒකත් ලොකුම ලොකු සහනයෙකි. ඔබ තුළ බලපානා මේ කෙලෙස් වේගය ඔබට ප්‍රකට නැත. එය ඒ කෙලෙස් වේගයේ ම තදින් බලපානා ආවරණීය[20] ස්වභාවයෙකි. යෝනිසෝ මනසිකාරය ඕනෑ කරන්නේ මෙබඳු ආපදා අවස්ථාවන්ගෙන් සැනැසිල්ලක් ලබා ගැනීම සඳහා බව මතක් කර දීම වටියි.
මේ සමඟ ඔබට විශේෂ කරුණක් කියමි. ඔබ විසින් ඔබ අවටත්, ඔබ ඇතුළතත්, පිටතත් හැමපැත්තෙන් ම ඉදිරියට පත්වෙන මහාදුක්කඳ දෙස නුවණ යොමු කොට බැලිය යුතු ය. ඔබම, ඔබ කල්ගෙවන්නේ මහාදුක් විඳීම් රැසක් මැද්දේ නොවේදැ යි සලකා බැලිය යුතු ය. මේ දුක්කඳ ඔබ අල්ලාගෙන ඉන්නේ මන්දැ යි ඔබෙන්ම ඔබ ප්‍රශ්න කරන්න. මෙම දුක්රැස ඈත් කිරීමට නොසිතන්නේ කවර හෙයින්දැ යි සිතා බැලිය යුතු ය. සැබැවින් ම මෙම දුක්රැස අහේතුකව පවත්නේ නොවේ. මෙහි හේතුවක් තිබෙන බව යම් විටෙක ඔබට වැටහුණොත් එවිට ය, ඔබට දුක් රැස ඉවත්කර ගන්නට පුළුවන් වන්නේ. එකලැ ඔබට දුක ද වැටැහෙයි. එය නැතිකර ගත යුතුය යන අදහස ද ඔබට පහළ වනවා ඇති. එකලැ ඔබට හොඳ ඇසක් ලැබුණුසේ සැලැකිය යුතුය. ඔබට නිවන් ඕනෑ කරන්නේ මේ නිසා ය.
මේ අදහස - මේ අවබෝධය ඔබට ලැබුණොත් භාවනාව පිළිබඳ එපාකම හඟවන කථා සියල්ලක්ම මෝඩ කථා බව ලෙහෙසියෙන් මැ වැටහෙනවා ඇත. භාවනාව ද ඒකාන්තයෙන් කළයුතු අවශ්‍ය කර්තව්‍යයක්[21] ලෙස ඉබේට ම වැටැහී යනවා ඇත. මෙහිදී ප්‍රතිඵල පිළිබඳ ප්‍රශ්නය හරස් කරගත යුතු නැත. භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයෝ එය පටන්ගත් වේලාවේ සිට මැ ටිකෙන් ටික අභ්‍යන්තරයේ දියුණුවට පත්වන්නාහ. එය ඔබට පෙනෙන්නට ද ඉඩ තිබේ. නො පෙනෙන්නට ද ඉඩ තිබේ. ඒ ගැන ප්‍රශ්නයක් සිත්තුළ පහළ කර ගත යුතු නැත. යෝගාවචරයා ප්‍රතිඵලයනට සිත් යොමු කොට සිත් කෙලෙසා ගන්නකු නොවිය යුතුය. අනාගත ආශාබන්‍ධනයෙන් සිත් වෙළී ගන්නට ඉඩ නොතබා ඔබ භාවනාවේ යෙදෙන්න.
නොවරදවා මේ ප්‍රතිපත්ති මාර්ගය ඔබ ගෙන යනවා නම් ඔබේ බලාපොරොත්තුව වූ මගපල ලැබීම හෝ මගපල ලැබීමට පාරමී හෝ වෙනවා ඇත. එය කිසිලෙසෙකින් වරදින්නේ නැත. නිවන් දැකීමට - මේ ජීවිතයේදී ම නිවන් දැකීමට, ඔබ සුදුසුය යි ඔබ තරයේ සිතා ගන්න. එහි මැදුම් පිළිවෙත ගෙන නොකඩවා භාවනා මනසිකාරයේ යෙදෙන්න. පණ කෙන්ද අන්තිමට ම ගෙවී යන තෙක් ම භාවනාවේ යෙදෙන්න. නොනවත්වා කරගෙන යන්න. ඒ මහා ප්‍රයාශයේ[22] ප්‍රතිඵලයෝ ඔබ සොයා ගෙන එන්නාහ. ඒ සත්‍යයෙකි.
-
දී. නි. 279 පිට. ↑
-
සෝවාන් ආර්‍ය්‍ය පුද්ගලයා ↑
-
සකදාගාමී ආර්‍ය්‍ය පුද්ගලයා ↑
-
අනාගාමී ආර්‍ය්‍ය පුද්ගලයා ↑
-
අර්හත් ආර්‍ය්‍ය පුද්ගලයා ↑
-
අන්‍ය ආගමික වාද ↑
-
උසස් තත්‍වයකට පැමිණීම ↑
-
විනිවිද දැකීම ↑
-
අරමුණු කොටගෙන ↑
-
කාමරාගයේ ප්‍රකටව දැනෙන කොටස ↑
-
සියුම් කාමරාගය ↑
-
රූපභවයන් පිළිබඳ ආශාව ↑
-
අරූපභවයන් පිළිබඳ ආශාව ↑
-
සිතේ නොසන්සුන්කම ↑
-
ප. දි. 400 පිට. ↑
-
අත්හළ යුතු ↑
-
බාධක ↑
-
අනුවණ ලෙස - අනිසි ලෙස - මෙනෙහි කිරීම ↑
-
පටිසං 1. භාගය 130-132. ↑
-
වසන් කරන, මුවහ කරන ↑
-
කාර්‍ය්‍යයක්, වැඩක් ↑
-
මහා ප්‍රයත්නයේ ↑