සිත දියුණුවට පත්වන හැටි

1. නොයෙක් විදියේ කෙලෙස් ලහටුව සිතෙහි තැවරෙන විට, ඒ සිත අපිරිසිදු වෙයි. රාගය, ද්වේෂය, මානය, දිට්ඨිය යනාදී නම්වලින් කියවෙන කෙලෙස් ගැන සිතන්න. “රත්තො බො බ්‍රාහ්මණ, රාගෙන පරියාදින්නචිත්තො අත්තව්‍යාබාධාය පි චෙතෙති, පරිව්‍යාබාධාය පි චෙතෙති, උභයව්‍යාබාධාය පි චෙතෙති, රාගෙපහීනෙ නෙවත්තව්‍යාබාධාය පි චෙතෙති, න පරිව්‍යාබාධාය පි චෙතෙති, න උභයව්‍යාබාධාය පි චෙතෙති, න චෙතසිකං දුක්ඛං පටිසංවෙදෙති[1] යනාදිය සලකන්න.

“බ්‍රාහ්මණය, රාගයෙන් යුත් රාගයෙන් ගෙවාගත් කුසලසිත් ඇතියේ තමහට පීඩා පිණිස ද ක්‍රියා කෙරෙයි. මෙරමාහට පීඩා පිණිස ද ක්‍රියා කෙරෙයි. දෙපසට ම පීඩා පිණිසත් ක්‍රියා කෙරෙයි. රාගය ප්‍රහීණ වූ කල්හි තමහට පීඩා පිණිසත් ක්‍රියා නොකෙරෙයි. මෙරමාහට පීඩා පිණිසත් ක්‍රියා නොකෙරෙයි. දෙපසටමත් පීඩා පිණිස ක්‍රියා නොකෙරෙයි. චෛතසික දුක (දොම්නස) නො විඳී”.

2. කෙලෙස්මල අයින් වීමෙන් සිත්හි පවත්නේ පිරිසිදුකම ය. එවිට එහි ගුණයට ඉඩසැලැසෙයි. මේ කෙලෙස්මල අයින්වීම ඉබේටම හෝ ලෙහෙසියෙන් හෝ සිදු නොවෙයි. ඒ සඳහා බොහෝ වාර ගණනක් උත්සාහ දැරිය යුතු ය. ස්වර්ණය පිරිසිදු කරන්නාගේ ක්‍රියා පරම්පරාව මෙහිදී සලකා බැලීම වටී. පිරිසිදු කළයුතු ස්වර්ණයේ මලබැඳි අවස්ථා කීපයෙක් ඇත. ඒ ඒ අවස්ථාවට කැපෙන අන්දමට ලැබෙනතාක් මලකඩ පිරිසිදු වන ලෙසින් සුදුසු දේ යොදා ලීමෙන් ඒවා කැපී පිරිසුදු වනසැටි සැලැකිය යුතු ය. කෙලෙසුන් පිළිබඳව ද ස්වභාවය මෙසේය.[2] ඒ සඳහා මහත් වැරක් ගත යුතුව ඇත. ගුණයට ඉඩ සැලැසෙන්නේ මෙකී අන්දමටය. මේ යොදන වැරය නොනවත්වා පවත්වා ගෙන යා යුතු ය. “යං තං පුරිසථාමෙන පුරිස විරියෙන පුරිස පරක්කමෙන පත්තබ්බං න තං අපාපුණිත්‍වා විරියස්ස සත්ථානං භවිස්සති[3] පුරුෂයාගේ වීර්‍ය්‍යයෙන් පුරුෂයාගේ ථාම බලයෙන්,[4] පුරුෂයාගේ පරාක්‍රමයෙන් යමක් ලැබගතයුතු ද? එයට ලැබීම් වශයෙන් නොපැමිණ වීර්‍ය්‍යයේ නැවැත්මක් නොවේ”. යනාදීන් වදහළ අයුරින් නොනවත්වා එය පවත්වා ගෙන යා යුතු වෙයි. වීර්‍ය්‍යයේ අන්තරා සංකෝචය (අතරක හැකිළීම - හෙවත් භාවනා කර්මය නවතාලීම) අන්තරායකර ය. මෙසේ හෙයින් වීර්‍ය්‍යයේ අගය තේරුම් ගතහැකි වෙයි. කුළුගෙඩියෙන් ගසා ගලක් කඩන්නා දෙසට සිත යොදන්න. ඔහු එයට නොනවත්වා පහර දීගෙන යයි. අන්තිමේ දී ඒ මහ කළුගල කැඩී බිඳී යයි. ගලේ මරු අත බලා දුන් එක් කුළුගෙඩි පහරිනුදු ඇතැම් ගල් කැඩී යයි. එය වූයේ විරියට නුවණත් අධිමොක්ඛයත්[5] යොදා කළ හෙයිනි.

3. මෙසේ ම යෝගාවචරයාට සැදැහැ ගුණය ඉතාමත් ප්‍රයෝජන වන සැටි සලකා ගත හැකි වෙයි. ඒ සැදැහැ නැති, සැදැහැ ගුණයෙන් තෙතමනයක් නොලද චිත්තසන්තානය මුඩුබිමක් වැනිය. මුඩුබිමේ කරන වගාව හරියන්නේ නැත. නැත්නම් ඒ බිම වගාවකට සුදුසු නැත. සැදැහැ ගුණය හිස් වීමෙන් රළු වූ කැකුළු වූ[6] සිත්සතන් ද සීලාදී ගුණවගාවකට සුදුසු නොවෙයි. එහි ගුණබිජුවට පැළවීමට සුදුසු නැත. එහි ලැබෙන්නේ වියලි අදහස් ය. ඒ වියලි අදහස් නිසා නිසි උසස් ගුණයට කිසිසේත් හිමිකම් කිය නොහැකි ය.

4. මේ අනුව සලකන කලැ සම්බුදුසසුනක ලැබෙන ගුණ සමුදාය වූ කලී ඉතාමත් ක්‍රමානුකූල වූද, අන්‍යොන්‍ය සම්බන්ධතාවක් ඇතිවූ ද, සංවර්ධන ක්‍රමයක් විදහා දක්වයි. ගුණ සමුදාය සංවර්ධනය ද පාරිශුද්ධියත් ස්ථිරත්වයත් ඉතාමත් උසස් තැනකට පත් කෙරෙන අධ්‍යාත්මයට සම්බන්ධ විශිෂ්ට ක්‍රියා රාශියෙකි. ඒවා කොතරම් දියුණු වුවත් යුගල වශයෙන් නො ගැළපෙයි නම් එකට එක්කාසු නොවේ නම් අර්ථසිද්ධිය ඉතා ඈතය.

  1. අං. නි. තිකනි.

  2. අං. නි. බු. ජ. 452 පිට.

  3. අං. නි. දුක. නි.

  4. නොසැලෙන ශක්තියෙන්

  5. ස්ථිර අධිෂ්ඨානය (සැක වශයෙන් වේදෝ නොවේදෝයි දෙපැත්තට ඇදෙන්නට නොදී මැද්දේ මුදාලීම)

  6. නො දැමුණු