යෝගාවචරයා නම්, ආධ්‍යාත්මික පාරිශුද්ධියකුත් ආධ්‍යාත්මික අභිවර්ධනයකුත්[1] අපේක්ෂා කරන පින්වතාය. ඔහුගේ ක්‍රියා සරණිය - ක්‍රියා මාර්ගය - භාවනා කර්මය යි. ඔහු මෙයට සම්බන්ධ කරගෙන ස්වකීය මුළු මහත් වැඩ පිළිවෙළ ම ගෙන යනවා ඇත. ඔහුගේ මේ වැඩ පිළිවෙළේදී පළමුවෙන් ආධ්‍යාත්මික පාරිශුද්ධියත් දෙවනුව ආධ්‍යාත්මික සංවර්ධනයත් සපුරා ගැනීමට හැකි වෙයි.
ඒ කියන ලද ආධ්‍යාත්මික පාරිශුද්ධිය ලැබෙන මාර්ගය නම්, භාවනා ක්‍රියාවට පරිපන්ථ වූ,[2] සිත් සතන් නරකට යොදන, සිත් කෙලෙසන ක්ලේශයන් හා උපක්ලේශ[3] සමූහය දුරලා සිත සුමගට යොමු කරවීම යි. මේ කියන ලද්දේ භාවනා සිද්ධිය පිළිබඳ ඉතා සාර්ථක වැඩපිළිවෙළෙකි. එය බර වැඩෙකි. නොයෙක් විදියේ හැල හැප්පිලිවලට භාජන වන එකක් බව කල් ඇතිව සලකා ගෙන තිබීම මැනවි.
මෙහිදී මේ කරගෙන යන වැඩපිළිවෙළ ඇන හිටින කරුණු රැසෙකි. කීපයෙක් මෙසේයි:-
(අ) ඇතැම් විට වේදනාවෙන් මිරිකී යාම හේතුකොටගෙන යෝගාවචරයාගේ වැඩ ඇනහිටියි. නවතියි. කරගත නොහැකි වෙයි.
(ආ) ඇතැම් විට කමටහන නීරස වීමෙන් ඇනහිටී. නවත්වන්නට සිදුවෙයි.
(ඇ) ඇතැම් විට සිත විසිරී යාමෙන් ඇනහිටියි. නවත්වන්නට සිදුවෙයි.
(ඈ) ඇතැම් විට නිදිමත නිසා ඕනෑකම තිබෙද්දී ම වැඩ ඇනහිටියි.
(ඉ) ඇතැම් විට ප්‍රතිඵලයක් නැතැයි සිත දුබලකර ගැනීමෙන් සම්පූර්ණයෙන් ම නවත්වන්නට සිදුවෙයි.
(ඊ) ඇතැම් විට විතර්ක[4] ධාරාවට යට වී යාමෙන් සිත දුබල වී වැඩ ඇනහිටියි.
(උ) ඇතැම් විට අනුන් සතුටු කරන්නට යාමෙන් භාවනා වැඩ ඇනහිටියි.
(ඌ) ඇතැම් විට ඉන්නා තැන එපාවීමෙන් ඇනහිටියි.
(එ) ඇතැම් විට පිරිස එපාවීමෙන් ඇනහිටියි.
(ඒ) ඇතැම් විට කමටහන එපා වීමෙන් ඇනහිටියි.
මෙහි කරුණු දහය (10) ක් සඳහන් වී තිබේ. කරන භාවනාමය වැඩ පිළිවෙළ ඇනහිටින කරුණු තව කොතෙකුත් තිබිය හැකි ය. මෙසේ මේ බාධකයන් දැන තේරුම් කර ගන්නා හැම අවස්ථාවක දී ම යෝනිසො මනසිකාරය[5] යොදා ඒ ඒ බාධකයන් ඉවත් කර ගැනීමට යෝගාවචරයා උනන්දු විය යුතු ය. මෙබඳු අවස්ථාවන්හි දී මෙහි මුලින් සඳහන් කළ ගාථාවේ ඇතුළත් අදහස් මනසට නගා ගැනීමෙන් ද යථොක්ත බාධකයන් මගහරවා ගැනීමට හැකි වෙයි.