බාධක රාශියක් මැද

යෝගාවචරයා අනුන්හට එපා වීම මෙන් ම යෝගාවචරයාට අනුන් එපාවීම ද ස්වාභාවික සිද්ධියක් සේ සැලකිය හැකිය. නියම ලෙසින් කල්පනා කරන්නට නොහැකිවූ, ගුරු අවවාදයෙන් මඳක් ඈත් වූ යෝගාවචරයා හට සිදුවන්නට ඉඩ ඇති පීඩා රාශිය අති මහත් ය. හිතවතුන්ගෙන් මඳක් ඈත් වී ගිය මොහු නැටවීමට සෙස්සන් පමණක් නොව අනෙක් යෝගාවචරයෝ ම මැනවින් සැදී සිට ගනිති. මේ හැම දෙනම, භාවනාවේ යෙදුණු තැනැත්තා කිසිදු වැඩකට නැති පුද්ගලයකු කොට පෙන්වීමට සමත් වෙති. අහෝ! ධර්මය කොහේදෝ සැඟ වී ගත්සේ හැඟෙයි. භාවනාවේ යෙදී, ධ්‍යාන මග පල ලබනු වෙනුවට අද සමාජයේ බලපානා අධර්ම වේගය යෝගාවචරයාගේ ඉස්මුදුන මත කරකැවීමෙන් ඔහුට සැලැසෙන්නේ කිමෙක් ද යනු මෙයින් වටහා ගත හැකි වෙයි. අද රහත් වීමට පිළිවන්කම ඇතත් මේ සා විෂම ගිහි-පැවිදි සමාජයේ වෙසෙමින් නම් චිත්තෙකග්ගතා මාත්‍රයකුදු[1] ලැබ ගැන්ම පහසු නැත්තේය. ඉතා උසස් ධ්‍යාන මාර්ග ඵල ගැන කවර කථාද?

බොහෝ යෝගාවචරයෝ තම තමන්ගේ ප්‍රණිධිය[2] ද වෙනස් කරන්නාහ. එසේම ඔවුහු සෘජුව එක් සිතින් එහි යෙදෙන්නෝද නො වෙති. ඇතැම්හු, නිවන පහසුවෙන් ලැබෙතොත් ලැබෙන්නත්, නැති නම් පසුව වෙන ආත්ම භාවයකදී එය ලබාගැනීමේ අදහසින් මෙන් බොහෝ හෙමින් භාවනාවේ යෙදෙන්නටත් ඉටා ගනිති. නො යෙදී නිකම්ම කල්ගෙවන්නන් දෙස බලන විට මෙයත් උසස් ගුණයක් සේ සැලැකිය හැකිව තිබේ.

  1. සිත එකඟ කිරීම් පමණකුදු

  2. බලාපොරොත්තුව - ඉලක්කය