යෝගාවචරයාගේ තත්ත්වය

යෝගාවචරයාගේ සම්පූර්ණ, තත්ත්‍වයය, සිරුරය ජීවයයයි දෙයාකාර වෙයි. ඔහුගේ සිරුර නම්; භාවනා මනසිකාරයයි.[1] ජීවය නම්; ඒ මගින් ඔහු තුළ වැඩෙන නුවණ යි. එහෙයින් මේ යෝගාවචරයා සතිසම්පජඤ්ඤ[2] දෙකින් අඳුන්වා දීම නිවරද යයි සලකමු.

යෝගාවචරයා විසින් අරමුණ දෙස බැලීමේ දී, එනම් කමටහනට සිත යෙදීමේදී හා ඉන්‍ද්‍රිය ද්වාරයනට[3] හමුවන අරමුණුවලදී ද, සිත මධ්‍යස්ථභාවයේ තබාගත යුතුය. යෝගාවචරයාට ලැබෙන යෝගානුභාවයෝ[4] සතර දෙනෙකි. එනම්:

(අ) අනුරෝධයෙන් තොර බව හෙවත් පුද්ගලයන් හා නොයෙකුත් දේ ගැන බැඳීමක් නැති බව.

(ආ) විරෝධයෙන් තොර බව හෙවත් පුද්ගලයන් නිසා පහළ කරගන්නා ගැටීමක් නැති බව.

(ඉ) අරති[5] රති[6] දෙකින් සිත නොසැලීම.

(ඊ) අභූත පක්ඛෙප හෙවත් නැති දේ ඇතුල්කිරීම, භූතාපනයනය හෙවත් ඇතිදේ අස්කිරීම යන දෙකින් මිදී සිත් පැවැත්ම යනුය.

නැති දේ ඇතුළු කර ගැනීමෙනුත්, ඇති සැබෑ දේ අයින් කිරීමෙනුත් තොර වූ යෝගීන් තුළ ලැබෙන ගුණයෝ අයෝගීන් තුළ නොලැබෙති. ගෝගයට සමර්ථවීම නම් මෙහි සඳහන් අගුණ කොටසින් වෙන්වැ ගුණ කොටසින් යුක්තවීම ය. මේවා දියුණුවට පත්කර ගැනීමට වීර්යය හා නුවණ දියුණු වී තිබිය යුතු ය. එය නැති නම් අතරමග නතර වීම සිදුවෙයි. එය අන්තරායකර වෙයි. ඊළඟට සැලැකිය යුත්තේ සම්පජඤ්ඤයයි. එය නැති නම් උපාය[7] අයිතිකර ගැන්මටත් අනුපාය[8] වර්ජනයටත් සමර්ථ නො වේ. සම්පජඤ්ඤය නැත්තා ඒ දෙකේ දී ම මුළා වෙයි. ඒ දෙකෙහි නූමුළා නම් ඒ දෙක පිළිබඳව නිසි පරිදි ක්‍රියා කිරීමේ සමත්කම ලැබේ.

  1. මෙසේ යෝගාවචරයා අනුරෝධයෙන්[9] හෙවත් බැදීමෙන් තොරය. එහෙයින් මනාප අරමුණෙහි ආශාවෙන් බැඳීමෙකින් පීඩා නො විඳියි.
  2. හෙතෙම විරෝධයෙන්[10] හෙවත් ගැටීමෙන් තොර වේ. එහෙයින් අමනාප අරමුණෙහි ගැටීමෙන් පීඩා නො විඳියි.
  3. අරතියෙන් නො සැලෙන හෙයින් කමටහන් මෙනෙහි කිරීමෙහි සැදී පැහැදී වෙසෙයි.
  4. රතියෙහි නොසැලෙන හෙයින් විවේකවත්හි යෙදී විසීමට සුදුසු වෙයි.
  5. කෙලෙසුනට ඉඩ සලස්සා ගන්නා බැලීමක් නො වන හෙයින් මොහු අරමුණ දෙස බලන්නේ එහි අඩුතැන් පුරවමින් නො වේ.
  6. එසේම හෙතෙම ඇති වැඩිතැන් අයින් කරන්නේ ද නො වේ.
  1. භාවනා අරමුණ මෙනෙහි කිරීම.

  2. සිහිය සහ නුවණ

  3. ඉන්‍ද්‍රිය දොරටු (ඇස, කන, නාසය, දිව, කය, මනස)

  4. යෝගකර්‍මයේ බලය, භාවනාවේ බලය

  5. කුසල් දහම් පිළිබඳ නොඇල්ම

  6. පඤ්ච කාමයන්හි ඇලීම

  7. නිසි පිළිවෙල (ක්‍රමය)

  8. අනිසි පිළිවෙල

  9. ඇලීම

  10. ගැටීම