ඉදිරි ගමනේදී ලැබෙන මාරක බාධක රාශිය

“දාරුණො භික්ඛවෙ ලාභ සත්කාර සිලොකො”[1] යනාදීන් වදාළ, බුදුපියාණන්ගේ බණ සිතටගත් යෝගාවචරයා අනුන්ගේ ඇප උපස්ථානයට නො රැවටෙයි. අනුනුත් අනුන්ගේ පිදවිලිත් මැනැවින් තේරුම් ගෙන, තණ්හා, වසික නොවී[2] සිහි නුවණ ඇතිවැ පරිභෝග කෙරෙමින්[3] තමාගේ ඉදිරියට තිබෙන බරපතළ වැඩ රැස පිළිබඳ වැ මැනැවින් තේරුමක් සිතින් ගෙන, භාවනා මනසිකාරයේ හොඳින් යෙදෙයි. මෙසේ අනුන් ගැන නොබලා, අනුන්ගේ ඕනෑ එපාකම් ගැන නොසලකා, තමාගේ භාවනා කෘත්‍යය මැ වැඩිදියුණු කරගෙන යාමට උත්සාහ කරන මෙබඳු යෝගාවචරයා ගැන මේ කාලයේ ගිහි පැවිදි සමාජ දෙකම සලකන්නේ හිතුවක්කාර පිස්සකු ලෙසිනි. ගුණය දන්නා, ගුණ ගරුක උතුමන් විසින් හිස මුදුනෙන් පිළිගන්නා මේ නිවන් මගට පිළිපන් පුද්ගලයා, අද වැඩිහිටි ගිහි පැවිදි බොහෝ දෙනා සලකන්නේ අහක දමන බුලත්කෙළ පිරවූ පඩික්කමකටත් වඩා පහත් කොටය.

අහෝ! සසුන් පිළිවෙත් මගක් පිරිහීමේ මහමගට වැටී යන හැටි! බුදුන් රහතුන් පවා සලකන, ගරුකරන, ආරද්ධවිරිය[4], සාතච්චකාරී[5], නිබ්බාන සච්ඡිකිරියාවෙහි[6] යුත්තප්පයුත්ත[7] යෝගාවචරයා ඇසුරු කරන්නන්හට තදින් අප්‍රිය පුද්ගලයෙක් වෙයි. මෙය පිරිසේ ම වරදෙක් නොවේ. පිරිසට අණ දෙන නිළධාරියාගේ එනම් සාථලිකව[8] ගත් වැඩපිළිවෙළක් ඇති, සංඝ පරිනායකයාගේ අධර්ම පාලනයෙහි වරදය. “භාවනා කරනවා කියා කාලය නාස්තිකර ගන්න එපා, පරියත්තියෙහි යෙදෙන්න ඕනෑ, අපටත් මේ ස්ථානයටත් ආදරයෙන් කටයුතු කරන දායකයන් සතුටු කරන්න ඕනෑ. ඔවුන්ගේ ආරාධනා දන් පින්කම්, අශුභ දර්ශනාදියට හොඳට පෙළගැසී යන්නට ඕනෑ, මේ කාලයේ ඔය වැඩ කළාට ප්‍රතිඵලයකුත් නැහැ. ඒ නිසා ඔය වැඩි වැඩ අතහැර හොඳට සිල්ටික පුළුවන් තරමින් රැකගෙන ඉඳීම හොඳා” යනුවෙනි, ඒ සංඝපරිනායක තැනගේ නිරන්තර දේශනයයි. ‘දිනපතා ලැබෙන සුගතෝවාදය[9]” මෙන් මෙබඳු දේශනාවන් අසන්නට ලැබෙන එම පිරිසට මෙබඳු පුද්ගලයකු ඇහේ වැටුණු කුණක් මෙන් වීම පුදුමයක් නොවේ. අනුන් ගැන හෝ අනුන්ගේ වැඩ ගැන හෝ නො බලා තමාගේ භාවනා කෘත්‍යය දියුණු කර ගෙන යාමට උත්සාහ කරන මේ යෝගාවචරයා වැඩිදෙනෙකුන්හට අප්‍රිය පුද්ගලයෙක් වේ. ඔවුන්ගෙන් ලැබෙන පීඩා සීමාරහිත ය. භාවනා සිත පවත්වා ගෙන යාමට මොහුට ඉඩෙක් නොලැබෙයි. මේ යෝගාවචරයා ද පසුබට නොවේ. හේ මෙසේ සිතයි. “චක්ඛුමාස්ස යථා අන්‍ධො - සොතවා බධිරො යථා”[10] යයි මහාකච්චායන මහරහතන් වහන්සේ වදාළේ “ඇස් ඇතිව අන්‍ධයකු මෙන් ද, කන් ඇතිවැ බිහිරකු මෙන්ද හැසිරෙන්නැ” යි කියා ය. ඒ කාලයේත් මෙබඳු තැනැත්තන් සිටින්නට ඇත. අද ගැන කියන්නම දෙයක් නැති. මෙසේ සිතා වැඩි වැඩියෙන් ධෛර්‍ය්‍යය වඩා භාවනා මනසිකාරය කඩ නොකොට කරගෙන යයි, හේ භාවනාවෙන් ක්‍රමයෙන් දියුණුවට පත් වෙයි.

  1. සංයු: බු. ජ. 2x344

  2. තණ්හාවට යටත් නොවී

  3. පාවිච්චි කරමින්

  4. අරඹන ලද වීර්‍ය්‍ය ඇති බව

  5. නිතර (භාවනාවේ) යෙදෙන

  6. නිවන ප්‍රත්‍යක්‍ෂ කිරීමෙහි

  7. යෙදුනු, මැනවින් යෙදුනු

  8. ලිහිල්ව

  9. ‘අප්පමාදෙන භික්ඛවේ සම්පාදෙථ...’ ආදී බුද්ධාවවාදය

  10. ථෙර