භාවනාවට උපදෙස් ලබාගන්නා කල්‍යාණමිත්‍ර ආචාර්‍ය්‍යවරයකුගේ උපකාරයක් නොලබා තමා තුළ තැන්පත් කරගත් සුත සම්පත්තිය[1] උපකාර කරගෙන ඇතැම් පුද්ගලයනට තම තමන්ගේ භාවනා මාර්ගය දියුණුවට පත් කරගෙන යාමට නොබැරි නොවේ. සුත සම්පත්තියෙන් යුතුවැ කළණ මිතුරු ගුරුන් ඇසුරු කරන්නාට පවා භාවනාවේ ප්‍රගතිය ගිලිහී යාමෙක් වේ නම්, ක්‍රමිකවැ ප්‍රතිපත්ති මාර්ගය ගෙන යාම පමා වේ නම්, උපදේශකයන් නැතිවැ භාවනාව ගෙන යන්නාහට අඩුපාඩු වීම ගැන කවර කථා ද? උදාහරණයක් වශයෙන් කියතොත්, සුතසම්පන්න බෞද්ධයාහට දිට්ඨි විසුද්ධිය සම්පූර්ණවැ තැන්පත්වී ඇති සැටි හොඳට පෙනෙයි. හෙතෙම තථාගත දේශිත බණ පද නැවැත නැවැත පෙරළ පෙරළා සලකමින් ම තමා තුළ දිට්ඨිවිසුද්ධිය මැනැවින් සැදී පිරී තිබෙන සැටි සිතා ගනියි. හේ මේ බණපදය ගැන සිතා සිත හදා ගනියි.
“කච්චායනය, මේ ලෝකයා ඇතිකම (ශාශ්වතය) ද නැති කම (උච්ඡේදය) ද යන පැති දෙක බොහෝ සේ ඇසුරු කළහ. කච්චායනය, පස්කඳ පහළවීමේ හේතුව තතුසේ තේරුම් ගත් තැනැත්තාහට එහි පහළවන උචේඡදවාදය නැත. කච්චායනය, ලෝක නිරෝධය[2] ඇතිසැටි තේරුම් ගත් තැනැත්තා හට ශාශ්වතවාදය නැත.
කච්චායනය, මේ ලෝකයා තෘෂ්ණා-දෘෂ්ටි නැමැති උපය[3], උපාදාන[4], අභිනිවෙසයන්ගෙන්[5] බැඳුනේ වෙයි. එද මේ ආර්‍ය්‍යශ්‍රාවකයා සිත් පිහිටන තැන් වූ ඒ උපය, උපාදාන අභිනිවේසයනට පත් නොවෙයි. මාගේ ආත්මයැ යි නො ගනියි. එහි සිත් නොපිහිටුවයි. උපදනාතාක් දුක ම යයි ද, නිරුද්ධ වනතාක් දුකම නිරුද්ධවේ යයි ද, මෙනෙහි කරයි. අන් සත්ත්‍වයකු පුද්ගයකු ඇතැයි සැක නොකෙරෙයි. කච්චායනය, ඔහුට අනුන් කෙරෙහි පිහිටුවා ගත් විශ්වාසයක් නැති වැ භාවනාමය ඥානය මැ මෙහි ලැබේ. කච්චායනය, මෙතෙකින් සම්මාදිට්ඨිය ඇත්තෙක් වෙයි.[6]
මෙහි අග සඳහන් වන වචන තේරුම් නොගෙන දුබල යෝගාවචරයාට සම්මාදිට්ඨි නාමයෙන් සඳහන් දිට්ඨි විසුද්ධිය, තමාතුළ වැඩී තිබෙන බවත්, කර්‍මඵල විශ්වාසය මැනැවින් තමා තුළ තිබෙන බැවින් කඞ්ඛාවිතරණ විසුද්ධිය ද නොඅඩුව වැඩී තිබෙන බවත් සිතා ගන්නට ඉඩ තිබේ.
මේ දුර්විචාරය[7] මැඩලීමට මෙහි සඳහන් “අනුන් කෙරෙහි පිහිටුවා ගත් විශ්වාසයක් නැතිව භාවනාමය ඥානය ම මෙහි ලැබේ” යන්න මැනැවින් තේරුම් ගත යුතුය. දිට්ඨි විසුද්ධියත් කඞ්ඛාවිතරණ විසුද්ධියත් යන දෙකම නාමරූප පරිචේඡද ඥානයත්[8] සමඟ දියුණුවට පත්විය යුතු ය. සමාධිය දියුණු වීමෙන් චිත්තවිසුද්ධිය සපිරිය යුතු ය. එතැන් පටන් මැනැවින් කම්මට්ඨාන මනසිකාරය[9] පැවැත්විය යුතු ය. එය කරන හැටි ගුරුන්ගෙන් උගත යුතුය.