හිමාලය පර්වතයෙහි පිහිටි ජම්බු වෘක්ෂ නමින් ප්‍රකට කඳුවැටියෙන් ලක්ෂිත වූ ද්වීපය ජම්බුද්වීප නම් වේ. මෙය දැන් ඉන්දියා නමින් ව්‍යවහාර වූ දේශයයි. ඉන් බාහිර රටවල් බුද්ධාදී උතුමන්ගේ ජන්ම භූමි නොවූ හෙයින් සුලු කොට සැලකීමෙන් දෝ ජම්බුද්වීපයේ පිරිවර වූ කොදිව් යැයි කියන ලදහ.
දඹදිව බෙදීම
දඹදිව වනාහි මහාමණ්ඩල, මධ්‍යමණ්ඩල, අන්තර් මණ්ඩල යැයි විශාල කොටස් තුනකට බෙදා තිබුණ බව අටුවාවලින් පෙනේ. එයින් මහා මණ්ඩලය යොදුන් නවසියෙකි. මධ්‍ය මණ්ඩලය යොදුන් නවසියෙකි. අන්තො මණ්ඩලය යොදුන් තුන් සීයෙකි.
මෙහි මහා මණ්ඩල නමින් දැක්වුණේ මධ්‍යම දේශයැ යි හැඟේ. මධ්‍යම ජනපදයෙහි ප්‍රමාණය වටින් යොදුන් 900 කැයි පෙනෙන බැවිනි.
මධ්‍යම ජනපදයේ සීමා නම්: නැගෙනහිරින් කජංගලා නිගමය, ගිනිකොනින් සළලවතී ගඟය, බටහිරින් ථූනා නම් බමුණුගමය, උතුරින් උශීරධ්වජ පර්වතය යන මොහුය. මෙ කී සීමාවලට මැදි වූ මධ්‍ය දේශය මිහිඟු බෙරයකට බඳු හැඩහුරුකම් ඇත්තේ ය. බුද්ධාදීන් පහළ වන ශ්‍රේෂ්ඨ භූමිය වේ.
තවද කොදෙව් සහිත වු සියලූ මැ ජම්බුද්වීපයට මධ්‍ය දේශයැ යි ද, අපරගෝයාන, පූර්ව විදේහ, උත්තරකුරු යන ඉතිරි මහාද්වීප තුනට ප්‍රත්‍යන්ත දේශ යැ යි ද ව්‍යවහාරයෙකුත් වීය. ගෝයාන යනු තවලම් මඟයි. එයින් බටහිරැ වූයේ අපර ගෝයානය යි. විදේහ යනු ඉන්දියාවේ නැගෙනහිර මායිමේ වූ පෙදෙසෙකි. එයින්ද නැගෙනහිරැ වූයේ පුර්වවීදේහය යි. කුරුරටට උතුරින් වූයේ උත්තරකුරුව යැ, උත්තරකුරු නමින් රටවල් දෙකක් තුබුණු බව පෙනේ. එකක් හිමාලයයට උතුරෙන් වූ ටිබෙට් රටට උතුරු දිගැ සතර පැත්තෙන් ම කඳුවලට මැදි වූ ගුප්ත ප්‍රදේශයෙකි. එහි වසන යෝගීන් ගේ කැමැත්ත නැතිව කිසිවකුට එහි යෑ නොහැක්ක. අනිත් උත්තරකුරුව උතුරු ඇමෙරිකාවට අයත් පෙදෙසෙකි. කොරියාව පුරාතනයේ කුරුද්වීප නම් විය. එයට උතුරු අතට පිහිටියේ උත්තර කුරුව යි. මෙය ඔට්ටර කොරා යනුවෙන් මෙගස්තීනස් නම් ග්‍රීක් ඉතිහාසඥයා සඳහන් කරයි.
මේ උඩ දැක්වුණු මහාද්වීප බෙදීම මෙයින් වර්ෂ 50000 කටත් පෙරැ පොළොවේ පිහිටීම අනුව ව්‍යවහාරයට ආවකි.
සොළොස් මහා ජනපද
බුද්‍ධ කාලයෙහි දියුණු වැ පැවැති දඹදිව මහා ජනපද නම් :- අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වංස, කුරු, පංචාල, මච්ඡ, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ යන සොළොස යි. ශාක්‍යදේශයය මෙයින් ඉතාම දියුණු වූ රටක් වුවත් භූමිවශයෙන් කෝශල ජනපදයේ ම උතුරු කොටසය. එහෙත් කොසොල් රජුට නොයටත් ශාක්‍යයන් ගේ ම පාලනය පිට පැවැති එකෙකි.