පෙරවදන

star_outline

බොහෝ පෙර සිට මිනිසාගේ අදහස් උදහස් පැවැසුම් විසින් රැසැයුණු ග්‍රන්ථ බොහෝයැ. මුල දී කට පාඩමින් ද අකුරු ලිවීම දියුණු වූ පසු පොත් තනා ඒවායේ ලිවීමෙන් ද, මුද්‍රණ ශිල්පය වැඩුණු පසු මුද්‍රාපණයෙන් ද ග්‍රන්ථ පළ කැරිණ. ආගම ධර්ම, ඉතිහාස, දෝ සතර, වෙද සතර ආදී නානාවිධ විෂයයන් පිළිබඳ ග්‍රන්ථ දියුණු වූ හැම රටෙක ම සිය ගණනින් දහස් ගණනින් නැගී ආයේය. ඒ රටවලැ පොත්ගුල් පහළ විය. පොත් සිය ගණනින් දහස් ගණනින් ඒ පොත් ගුල් පිරිණ. නොයෙක් අංශයෙන් ලෝකාර්ථ චර්යායෙහි යෙදුණු වීරයන් ගේ චරිත කථා ඒ ගත් අතුරෙහි පාමොක් තැනැ වැජැඹිණ.

මේ චරිත කථා අතුරෙහි බුදුරජාණන් වහන්සේ ගේ ජීවිත කථාවට ලැබී ඇත්තේ උසස්ම තැනය. බෞද්‍ධයකුට බුද්‍ධ චරිතය මහාර්භ වැ පැනෙනු අරුම නො වේ. තමන් ගත් දෘෂ්ටියෙහි දැඩි ලෙස බැඳීම නිසා බුද්‍ධ ධර්මය නාස්තිකවාදයෙකැ යි දොස් නැගුවෝ පවා බුදුරජුන් ගේ චරිතය ආදර්ශවත් ශ්‍රෙෂ්ඨ එකෙකැයි කීහ. බුදු රජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතික්ෂිප්ත කළ නො හැකි බ්‍රහ්මලබ්ධිකයෝ උන් වහන්සේ දෙවියන්ගේ සතුරන් වූ අසුරයන් මුළා කරනු පිණිස, ලොවැ මිනිස් වැ පහළ වූ විෂ්ණු දෙවියෝ (විෂ්ණුහු ගේ නව වන අවතාරය) යැ යි කීහ. බුදු දහමේ ඇතැම් කරුණු නො පිළිගන්නා දැඩි කතෝලික භක්තිමතෙක් වූ බර්තොලමි සේනේට් හිලෙයර්[1] “උන් වහන්සේ ගේ ජීවිතය නො කිලිටි ය. වීරත්වය පරාර්ථය පිණිස ආත්ම පරිත්‍යාගය (සිය සැප නොතකා හැරීම), මෛත්‍රිය, සද්ගුණ මාධූර්ය යන ගුණවලට ශ්‍රෙෂ්ඨ ආදර්ශය යැ” යි කී ය. එසේ ම අබෞද්‍ධ ආචාර්යවරයෙක් වූ බාත් මහතා[2] උන්වහන්සේ “සංසුන් බව, දක්නවුන් තුළ ගෞරවාන්විත භක්තිය පහළ කරවන තේජස, හැම සතුන් කෙරෙහි පැතිරැවූ අපරිමිත දයාව සියලු දුඃඛිත සත්ත්වයන් කෙරෙහි පෑ මහා කරුණාව, පරිපූර්ණ ආධ්‍යාත්මික නිදහස, අගතියෙන් තොර වූ සර්වසාධාරණත්වය යන ගුණයන් ගේ පූර්ණ මූර්තිය යැ” යි කී ය. සිය වස් ගණනකට පෙරැ පර්සියාවේ (ඉරාණයේ) වුසූ අබුල් අත හීයා නමැති ඓස්ලාමික ගත් කරු[3] “මිනිසුන් අතරැ පහළ වූ උත්තරී තම” තැනැත්තා දකිනු කැමැත්තහු නම්, භික්ෂක වේශයෙන් සැරි සැරූ රජාණන් දෙස බලන්න. ඒ මිනිසුන් අතරැ සිටි, පරම පවිත්‍ර උත්තමයාණෝ යැ” යි කී ය. ඔහුගේ මේ කියුම පිරික්සූ අවුස්ත්‍රියාවේ බුඩාපෙස්ට් නුවර මහාචාර්ය ගෝල්ඩ්සීහර්[4] පඬිතුමා “අබුල්අතහියා මෙය කීයේ පාංශුකූල චීවරයක් පෙරෙවැ භික්ෂාටනයෙන් දිවි පවත්වමින් ලෝ වැඩෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේ ගැන ම යැ” යි පැවැසීය.

උදාන පාළිය පළමුවෙන් ම ඉංගිලිසියට නගා පළ කළ ආචාර්ය ඩී. එම්. ස්ට්‍රොං මහතා ඒ පොතට පෙර වදන ලියනුයේ, “මේ පොත මා ඉංගිලිසියට නගා පළ කරනුයේ පාළිභාෂා විෂයයෙහි මගේ ප්‍රවීණත්වයක් පෙන්වීමට නො වැ ඉන්දියාවේ පැවිදි වෙසින් සැරි සැරූ ලොවැ දුක් ලෙඩින් පෙළෙන්නවුන් සුව පත් කිරීමට ඉදිරි පත් වූ චිකිත්සකයන් අතරැ අග්‍රතමයාණන් වූ දුකින් පිරුනු මේ භව නැමැති සිර ගෙයින් මිදී සදාහාවි විශ්‍රාමය වූ විමුක්තියට(නිවනට) පැමිණෙනු පිණිස දෙවි මිනිස්නට මඟ පෙන්වීමට ලොවැ පහළ වූ ඒ භාග්‍ය වත් අර්හීත් සම්‍යක් සම්බුද්‍ධ මහෝත්තම ගෞතමයන් වහන්සේ සිහි කොට කැරෙන ආදර භක්තිමය පූජාවක් වශයෙනි” යි සඳහන් කෙළේ ය.

මේ ටික පැවැසූයේ අබෞද්‍ධ උගතුන් පවා බුදුරජාණන් වහන්සේ ගේ චරිතයේ ජෙෂ්ඨත්වය පිළිගෙන තිබෙන සැටි දැක්වීමට ය. අනෙකකු ගේ “රෙකමනක්”, අවශ්‍ය නැත. එලැඹැ සිටි සිහි ඇති ව මුල සිට අගට ම බුද්‍ධ චරිත කථාව කියන කියවන කාට වුව ද එය ආදි කල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍යවසාන කල්‍යාණ හෙවත් සියලු ලෙසින් ම කලණ ගුණයෙන් පිරිපුන් එකෙකැ යි වැටහෙනු ඇත. ශීලයෙන් හෝ සමාධියෙන් හෝ ප්‍රඥායෙන් හෝ බුදුරජුනට වැඩි තරම් කෙනෙක් පෙරත් නො වූහ. මතුත් නො වෙති, දැනුත් නැත. උන් වහන්සේ සකල සද්ගුණ නිධානහ, අසම හ, අසම සම හ.

අසහාය ජගදාචාර්ය වූ අතුල්‍ය පරාර්ථචාරී වූ සකල සද්ගුණ සමුදායයේ පරම මූර්තිය වූ සිද්‍ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ ගේ චරිත කථාව ලිවීමේදීත් එය පුන පුනා කියැවීමේදීත් මේ ග්‍රන්ථයෙහි කර්තෘහට ඇති වන ප්‍රීතිය හා චිත්ත ශාන්තිය අන් මොන ම කෙනකු ගේ චරිතයක් කියැවීමේදී නො ම ලැබේ. සෙස්සනට ද එසේ මැයැ යි අනුමානයෙන් සිතම්හ.

බුද්‍ධ චරිතය විදහා නොයෙක් භාෂාවලින් රැසැයුණු පොත් අද පළ වැ ඇත. හෙළ බසිනුදු බොහෝ පෙර සිට ම ගද්‍ය පද්‍ය දෙකින් ම රචිත වූ බොහෝ ග්‍රන්ථ ඇත. අපට ද බුද්‍ධ චරිත ග්‍රන්ථයක් ලියනුවට කොළොඹ තරුණ බෞද්‍ධ සමිතියෙන් අයැදුමෙක් ලැබිණ. ඒ ව්‍යවහාර වර්ෂයෙන් 1928 වන්නෙහි අප කොළොඹැ අනඳ මහ විදුහලැ රැඳී වෙසෙමින් එහි බුදු දහමත් පාලි සංස්කෘත භාෂාත් උගන්වන සමයෙහි යැ. එය ලියා දුනුමු. “ශාක්‍ය සිංහාවදාන” නමින් එය පළ කැරිණ. පළමු වර පොතට වඩා කරුණු එකතු කොට දෙවෙනි වර මුද්‍රණයට පොත සකසා දුනුමු. මේ අතර පණ්ඩිත වැලිවිටියේ සෝරත නායක ස්ථවිරයන් වහන්සේ බොහෝ පොත් බලා එකතු කොට සූවිසි මහා සමාගම් නම් වැල වෙසක් කලාපයක පළ කැරැවූහ. උන් වහන්සේ ගෙන් ලැබුණු අවසරය පරිදි එය ද අප පොතට එකතු කළෙමු. පොත වාර ගණනක් ම මුද්‍රිත විය. එහෙත් මෙයින් හවුරුදු කිහිපයකට පෙර දහම් පාසල් පාඩම් මාලාව අන් සැටියෙකින් සකස් විය. “ශාක්‍යසිංහාවදානය” අනවශ්‍ය විය. එහි මුද්‍රණය නැවැතිණ. පොත අභාවයට ගියේ ය. එසේ වුව ද බොහෝ දෙනා එය යලි දු මහජනයා අතට පමුණුවන්නැයි නොයෙක් වර අප අයැදුහ. කොළොඹැ මරදානේ මාලිගාකන්ද මාවතේ සමයවර්ධන මුද්‍රණාලයාධිපති ආරියදාස වීරමන් මහතා ද බුද්‍ධ චරිතයක් ලියා දෙන ලෙස අයැදීය. පළමු අප සැකැසූ බුද්‍ධචරිතය පදනම් කොට ගෙන අළුතෙන් තවත් බොහෝ කරුණු එකතු කොට මේ “ශාක්‍යමුනින්ද්‍රාවදානය” පිළියෙල කළමු. පොත මුද්‍රිත වු පසු මෙහි සමහර තැනෙක භාෂාව ගැඹුරු යැ යි අපට හැඟිණ. මෙහි දෙවෙනි සංස්කරණය බොහෝ ලිහිල් බසින් පළ වනු ඇත.

මේ පොතේ බෝධිසත්ත්ව චරිත කොටස කියවන සමහර කෙනකුට මෙය වෛතුල්‍ය මත ඇතුළත් එකෙකැයි හැඟෙන්නට ද පිළිවන. එබැවින් එය ගැන ද යමක් කිය යුතුය.

මෙහි ඇතුළත් මහාසම්මත රාජ පරම්පරාවද ශාක්‍යවංශයේ ප්‍රභවය ද තරමක් දුරට පාළි පොත්හි දැක්වෙත්. ස්ථවිරවාද ශාඛාවක් වූ සර්වාස්තිවාදයට අයත් පොත්වලද මහාසාංඝිකයන් ගෙන් ප්‍රභූත වූ මහායානයට අයත් පොත් වලද ඒවා වඩාත් විස්තර කොට දැක්වෙත්. මෙහි දැක්වෙන විස්තරය ඒවායිනුත් කරුණු ගෙන සැකැසුමු.

සුදොවුන් කුමරු පසල් දනව්වක් සංසිඳුවූ පුවත කිසි දු පාළි පොතෙකැ නැත. එය ටිබෙට් චීන පොත්වල ඉංගිලිසි පරිවර්තන ද මහාවස්තු ආදී සංස්කෘත බණ පොත් ද ඇසුරින් සැකැසූමු. මහාමායා කුමරියත් පජාපතී කුමරියත් යන දෙදෙනාම සුදොවුන් කුමරු ආවාහ කොට ගත්තේ කවර හෙයින්ද? කෙසේ ද? යනු කිසිම පාළි පොතක දැක්වී නැත. සර්වාස්තිවාදී ආදීන් ගේ පොත්වලැ ආ ඒවා පිළිබඳ විස්තර කථාව ඒ පොත්වලින් ම ගෙන මෙහි බහා ලුමු.

සිද්‍ධාර්ථ කුමාරයන් වහන්සේ ගේ කුඩා වියේ තොරතුරු විස්තරයෙන් දැක්වෙන්නේ සර්වාස්තිවාදීන් ගේ ද මහායානීන් ගේ ද පොත්වල යැ. යශෝධරාවන් සිද්‍ධාර්ථ කුමාරයන් වහන්සේට ආවාහ කොට දීමේ පුවත පාළි පොත්හි එනුයේ සැකෙවිනි. අන්‍ය නිකායවල පොත්හි එය බොහෝ විස්තරයෙන් දැක්වේ. මෙ අත්බව්හි ම රහත්බව ලබනු සඳහා විවසුන් වැඩූ, සස්නේ ආදිම යුගයේ සිටි ථෙරවාදීන් ඒ පුවත් දැන ඉගැමෙන් තමන් පිළිවෙතට වන වැඩක් නැතැ යි දැක ඒවා මුව පරපුරින් නොගෙනාවා විනා, ග්‍රන්ථාරූඪ නො කළා විනා ඒ පුවත්වල සත්‍යතාව නොපිළිගත්තා නො වේ. එහෙත් ඒ පුවත්වල ඓතිහාසික අගය සැලැකූ අන්‍ය බෞද්‍ධ නිකායිකයෝ ඒවා රැකගත්හ, ග්‍රන්ථාරූඪ ද කළහ. ලුම්බිණි උයන ඇති වූ සැටි ද දැක්වෙනුයේ ඒ පොත්හි මය. යශෝධරාවන් ආවාහ කැරැ ගත් පසු ගිහි ගෙන් නික්මෙන අවස්ථාව තෙක් ඒ දෙදෙනා වහන්සේ ගේ ජීවිත ප්‍රවෘත්තිය පිළිබඳ කිසිවකුත් පාළි අටුවාහි නො දැක්වේ. කම්සැපෙහි ම ගිලී, වට පිටාව ගැන කිසිත් නොදැනෙන ලෙසට කැරැවුණු ආවරණ මැද “නිවාස හිර බාරයේ” කල් ගෙවූවකුගේ සැටියක් ජාතක අටුවා ආදියෙන් දැක්වේ. එහෙත් ත්‍රිපිටක පාලියේ සමහර සුත්‍රවල, කොතරම් සැප පහසු කම් මැද වුසුවත් බෝසතාණන් වහන්සේ එලැඹැ සිටි සිහියෙන් කල් යැවූ බව සඳහන් වේ. මහායානිකයන් ගේත් සර්වාස්තිවාදී ආදීන් ගේත් පොත්වල ද නාඬි ග්‍රන්ථාගත බුද්‍ධ චරිතවල ද එන පුවත් එයට අනුකූල වේ.

සිද්‍ධාර්ථ රාජයාණන් වහන්සේ පමණක් නොව යශෝධරා දේවීන් වහසේත් ගිහි ගෙහි ඇලුම් නැති ව වුසූහ. ඕ බෝසතාණන් කැටුව ම ගිහි ගෙන් නික්මෙන්නට සිතා සිටී, පෙරැ සසරැදි සේ ම මේ අත්බව්හි ද, බෝසතාණන් ගිහි ගෙන් නික්මැ තවුස්දම් පුරා බුදු වන තුරු ඔබට උවටන් කරමින් ඔබ රැක බලාගන්නට පත පතා සිටි, බෝසතාණන් වහන්සේට මවක සේ ද ඉතා ළැදි සොහොයුරියක සේ ද, කීකරු සේවිකාවක සේ ද, උන්වහන්සේ කෙරෙහි අපරිමිත ස්නේහයෙන් යුතු ව සිටි මහාමායා දේවීන් වහන්සේත් ප්‍රජාවතී ගෞතමීන් වහන්සේත් යන දෙදෙනා පමණටම සද්ගුණ සමුදායෙන් පරිපූර්ණ වූ, මෙ කපැ පෙරැ ද පහළ නොවූ මතු ද පහළ නො වන අසම රූප සම්පත්තියෙන් සේ ම ගුණසම්පත්තියෙන් ද දෙව්මිනිස් දෙලොව්හි ම සියලු ස්ත්‍රීන් අබිබවා සිටි ආශ්චර්‍ය්‍ය ස්ත්‍රී රත්නයෙකැ යි ඒ අන්‍ය නිකායිකයන්ගේ පොත් වලැ එන පුවත්වලින් ද දැක්වේ.

“බෝසතාණන් වහන්සේ අනුව ඕ ද ජරා ව්‍යාධි මරණාදී දුක් ගැන සිතමින් සාකච්ඡා කරමින් කල් ගත කළා ය.” යන්න වියැ යුතු වියැ හැකි සැටිය මය.

බෝසතාණන් වහන්සේ කාට වත් නො දන්වා ගිහි ගෙන් නික්මගිය පමණෙක් පාලි පොත් හි දැක්වේ. ඒ, සිදු වූ දැය (විස්තර මනා කොට) සැකෙවින් කී අයුරු ය. එහි විස්තර කථාව ලලිත විස්තරාදී බොහෝ පැරැණි සකු බණ පොත්හි සඳහන් වේ. මේ පොතට ඒ පොත්වලින් ගෙන ඒ විස්තරය ඇතුළත් කළම්භ.

පාලි පොත්හි දැක්වෙන සංක්‍ෂිප්ත සඳහනින් බෝසතාණන් වහන්සේ ගිහිගෙන් නික්මෙන මෙහොතෙහි කාටත් නොදැන්වූ බව මිස, එයට කලින් එය ගැන මාපිය ආදී කිසිම කෙනෙකු සමග කථාමාත්‍රයකුත් නො කළහ යි සිතිය නොහැක්ක. ජරාරූපාදිය දක්නා වේලෙහි බෝසතාණන් වහන්සේ ළහ සිටි ඡන්නයා ගෙන් ඒ තොරතුරු සෙස්සනට හෙළි නොවිණි ද? ඡන්නයා ගෙන් ඒ තොරතුරු දැනගත් සුදොවුන් මහරජාණන් ඒ ගැන කළ යුතු දැ පිළිබඳ වැ රජගෙදර අය හා මැති ඇමැතියන් හා කතා බස් කළ බව රකවල් තරකිරීමේ යෙදුණු බව (පාලි පොත්හි ද එන) පුවතින් හෙළි පෙහෙළි වේ. එය දැනගත් ප්‍රජාවතී ගෞතමීන් වහන්සේ යශෝධරා දේවීන් වහන්සේ නන්ද කුමාරිකාවන් බෝසතාණන් වහන්සේගේ හිතමිත්‍ර කාලුදායි ආදීන් හෝ සෙසු නෑදෑ කෙනකු එය ගැන උන්වහන්සේ හා වචන මාත්‍රයකුත් කතා නොකළෝද? එසේ කතා කරන්නට බිය ඇත්තන් කරන තරම් රළු පරොස් හැඩිදැඩි බවෙක් ගොර හැඬි බවෙක් උන්වහන්සේ තුළ වූයේ යැ යි සිතියැ හැකිද? උන් වහන්සේ තේජස්වී වුවත් දුරාසද වුවත් මහාකාරුණික මෘදුගුණ සම්පන්න කෙනකු බව ඒ හැම දෙනා ම අතර ප්‍රකට බැවින් ඔවුන් උන්වහන්සේට සුදුසු ගෞරව දක්වා ඒවා ගැන කරුණු කීවා යන්න වියැ හැකි මය. උන් වහන්සේ ද ඒ කවුරුන් සමගත් කාමාදීනව ලොවැ ජරාමරණාදිය අනිවාර්‍ය්‍ය බව පිළිබඳ ව නොයෙක් විට කරුණු වදාළා ද විය හැක්කකි. තමන් වහන්සේ තුළ පහළ වූ හැඟීම් ගැන කිසිම කෙනකු හා කිසිත් නොකියා ගොළුවත රකිමින් හෝ තුන් ප්‍රාසාදයන්හි පැවැති නෘත්‍යගීතාදිය අතට ම යොමු කළ ඉඳුරන් ඇති වැ මුළාවෙනුත් මුළාවට වැටෙමින් කම් සැපෙහි ම ගිලී අටවිසි වන හවුරුද්ද තෙක් අඳුරෙහි ම, ක්‍රීඩෝත්සව පිරුණු හිරගෙයෙක කල් ගෙවා, අන්තිමේදී දෙවියන් විසින් දැක්වූ පෙරනිමිති දැක කලබොල වැ කාටවත් නො දන්වා පලාගිය හා යන්න සාරාසෙකි කප් සිය දහසක් පැරුම් පිරූ නුවණ වැඩූ මහා වීරපුරුෂයකු ගත් ක්‍රියා මාර්ගයෙකැ යි කෙසේ පිළිගත හැකි ද? අටුවායෙහි සංක්‍ෂිප්ත කොට සඳහන් කළ ද එහි විස්තරය නොදන්නාහු වරදවා සිතා ගෙන බෝසතුන් කාටවත් නොදන්වා එදා ම උපන් දරුවා සහිත බිරිය ද අසරණ කොට නොතකා රහසින් පලාගිය කෙනෙකු කොට දැක්වූහ. එහෙත් එහි යථාතත්වය මෙහි හෙළි කොට දැක්වූමු.

“සිද්‍ධාර්ථයන් වහන්සේ තවුස් පැවිද්දෙන් පැවිදි වූයේ බඹහු දුන් අට පිරිකර පිළිගෙන යැ” යි පාලි අටුවාහි ඇත. ඡන්නයා ඉදිරියේදී මෙය සිදු වී නම් ඔහු ආපසු ගොස් සුදොවුන් රජු ආදීනට එය කියනු ඇත. බඹහු අහසින් බැස එය පිළිගැන්වූහු නම් මේ ආශ්චර්ය සිද්‍ධිය ඔහු පවසනු ම ඇත. බඹහු ඡන්නයාට නොපෙනී බෝසතාණන් වහන්සේට පමණක් පෙනෙමින් අට පිරිකර පිළිගැන්වූහු නම් ඒ මොහොතේ “ඉබේ ම පහළ වු අට පිරිකර” ගැන ද ඔහු රජ ගෙදරැ දී කියනු විය හැකි ම ය. එය ද පුදුම සිද්‍ධියක් බැවිනි. බඹුන් අවුත් ඒවා පිළිගැන්නුවේ බඹ වෙසින් ද මිනිස් වෙසින් ද කෙසේ ද යනු පාලි අටුවාවේ විස්තර වැ නැත. බඹුන් අටපිරිකරින් පිදු බව පමණෙක් පාලි පොත්හි කොටින් දැක්වේ. සර්වාස්තිවාදීන් ගේත් මහායානීන්ගේත් පොත්හි එය විස්තරයෙන් දැක්වේ. ඔවුන් කියන පරිදි වැදිවෙසින් ආයේ බඹුහු යැ නැත හොත් බ්‍රහ්මාවෙශයෙන් ආ කෙනෙකි.

“මා හැදු වැඩූ නොපමණ වියදම් කොට මට සුව පහසු සැලැස්සූ ආදරණීය පියාණනට නොදන්වා අවසර නො ගෙන ගිහිගෙන් නික්මිය යුතු නො වේ, යැ” යි. “කෙසේ හෝ පියා ගෙන් අවසර ගෙන ම ගිහිගෙන් නික්මෙමි” යි බෝසතාණන් වහන්සේ සිතූ නියාව ලලිත විස්තරාදියේ දැක්වේ. මෙයින් බෝසතුන් වහන්සේ දැක්වූ ආදර්ශය, උන්වහන්සේ ගේ විශාරදත්වය කොතරම් ශ්‍රෙෂ්ඨ ද? කාටත් නො කියා පලායෑමේ කතාවට වඩා මෙය කොතරම් අගෙන්ද?

බෝසතාණන් වහන්සේ රාත්‍රියේ පිය රජු දක්නට ගිය වේලේ උන්වහන්සේ ගේ ශරීරයෙන් බඹයක් තරම් දුර පැතුරුණු එළිය ගැන ලලිත විස්තරයේ දක්වා ඇති ලෙසට ම මෙහි ද සඳහන් කළම්හ. මෙයත් විය හැක්කක් දැයි කෙනකුට සිතෙන්නට පිළිවන. මිනිසුන්ගේ ශරීරවලින් පමණක් නොව ගස් වලින්ද රශ්මියක් විහිදෙන බව අද විද්‍යාඥයන් සොයා දැන ගෙන තිබේ. ඒ ඒ තැනැත්තාගේ ශරීර තත්වය අනුව ඒ රශ්මිය අඩු වැඩි වේ. මෙයින් අවුරුදු සියයකට පමණ පෙර තම සිරුරෙන් විදුලිය එළි වැනි රශ්මියක් විහිදුවන කෙනකු රශියාවේ සිටි බව කලකට පෙර පළ වූ ඥානාදර්ශ සඟරා වේ පළ වී තුබුණේය. බුදුවන මහෝත්තමයා ගේ සිරුරෙන් බඹයක් පමණ එළියක් විහිදුණ බවත් එය පැහැදිලි වනුයේ උන් වහන්සේ අඳුරු තැනක සිටින විට බවත් හැඟේ. මෙය ඛ්‍යාම ප්‍රභාමණ්ඩල යැයි ථෙරවාදීන් ගේ පොත්වල ද දැක්වේ.

බෝසතාණන් වහන්සේට ගිහි ගෙන් නික්ම යන්නට අවසරය දී යලිත් ඒ ගමන නවත්තන්නට සුදොවුන් රජු මුර කළ බව සුදුසු ද? යන ප්‍රශ්නයද නැංවිය හැක්ක. සුදොවුන් රජු ඒ අවසරය දුන්නේ කැමැත්තෙකින් සතුටෙකින් නො වේ. තව ස්වල්ප කලකට වත් ගමන පමා කළොත් යෙහෙකැ යි යනු රජුගේ අදහස විය. කවදා නුමුත් ගිහි ගෙන් නික්මෙන බව නියතයෙන් ම දැනගත්තත් ගමන තව ටිකක් පරක්කු කළ හැකි වුවොත් මැනැව යනු රජුගේත් අනිත් නෑ පිරිසගේත් අදහස විය. මුර කළේ එහෙයිනි. පුත්‍රප්‍රේමයේ බලවත් බව නිසා ය.

“මා ගිහි ගෙන් නික්මැ යන ගමනේ දී කොතරම් දුර බැහැර යන්නට වේ ද, කොතරම් කරදර වලට මුහුණ පාන්නට වේ දැ යි කිය නො හැක්ක. අත දරුවකු ඇති වැ නුඹ මේ ගමනට එක් වීම නුඹටත් දරුවාටත් දුක් හිරි හැර ඇති කැරැ ගැන්මෙකි. නිරර්ථක ක්‍රියාවෙකි, බුද්‍ධත්වය සඳහා නොපමණ වෙහෙස වින්දැ යුතු යැ. එබැවින් ඔබ මේ ගමනට එක්වීම මා ගන්නා ක්‍රියාමාර්ගයට බාධකයෙක් වෙයි. එයින් දරුවාට වත් ඔබට වත් මට වත් වන වැඩෙක් නැත. ඒ බැවින් මා ගොස් ගුණදහම් වඩා බුදු වැ අවුත් ඔබට ත් මපියාණනටත් කුඩා මෑණියන් ආදී සෙස්සනටත් මා අවබෝධ කළ ධර්මය අවබෝධකර වන්නෙමි, මා ලබන විමුක්තිය ඔබ ඇතුළු හැම දෙනාට බෙදා දෙන්නෙමි, එ බැවින් ඔබ නවතින්න, දරුවා රැක බලා ගන්න, ඔබට මෙහි සියලු සැප පහසු කම් තිබේ. පියාණෝ ද කුඩා මෑණියෝ ද සෙසු නෑයෝ ද ඔබේ ආරක්ෂවට සිටිති. මා එන තෙක් බලාපොරොත්තු වී සැනැසී ඉන්නැ” යි යශෝධරා දේවීන් වහන්සේට බෝසතාණන් වහන්සේ අවවාද කොට සනසා ඇගෙනුත් මහබිනික්මනට අවසර ගත් පුවත කොතරම් අගී ද! ස්වභාවිකද ! මෙය මහායානයේ හෝ සර්වාස්තිවාදයේ හෝ වෛතුල්‍යවාදීන් ගේ හෝ කවර කෙනකුගේ පොතෙක තිබුණත් “යශෝධරාවනට තමා කිසිසේත් නොදන්වා දරුවා සහිත ඇය හැරදමා රහසින් පලා ගියේය” යන්නට වඩා පිළිගත හැකි ස්වභාව සිද්‍ධියෙකි. කලින් ඒ කාටත් දන්වා අවසර ගෙන තිබුණු බැවින් ගමන නොදැන්නුවේ පිටත් වන මොහොතේ ය. හැම දෙනා ම තමන් වටා රැස් වැ හඬන්නට වැලැපෙන්නට වුවොත් එය ගමනට බාධක වන බැවිනි. බෝසතාණන් වහන්සේ පිටත් ව ගිය බව දැනගත් පසු ප්‍රිය විප්‍රයෝග දුකින් කවුරුනුත් හැඬුව ද, වැලැපුණ ද, ‘උන් වහන්සේ බුදු වී තමන් වෙත එතැ’ යි යන තහවුරු වූ විශ්වාසය නිසා ඔහු හැම දෙනාම සැනසුණහ, සාපේක්‍ෂක වූහ. ස්වල්ප දේපල ඇති දුප්පත් දරුපවුලකට “මතු සැපසේ ඉන්නට හැකි වනු පිණිස ටිකකලෙකින් මහා ධනස්කන්ධයක් සපයා ගෙන එමැ” යි කියා ධන සැපයීමට ඈත රටකට යන ගෙහිමියා ගේ වෙන් වැ යෑමේ දුක වැන්නෙහි කිඹුල්වත්පුර රජගෙහි ඇති වූයේ. එහෙත් ඒ ගමන ඔවුන් ගේත් සෙස්සන් ගේත් යහපත පිණිස ම යැ යි ඔවුහු දත්හ. එයින් සැනසුණහ, කලින් ම මෙය සලකා බැලූ බෝසතාණන් වහන්සේ අබිනික්මන් මොහොතේ කාටත් නොදැන් වූහ.

මේ පොතෙහි බෝධිසත්ත්ව චරිතයේ දැක්වෙන, සර්වාස්තිවාදී ආදීන්ගේ පොත්වල එන විස්තර අප ලබා ගන්නේ ලලිත විස්තර මහාවස්තු ආදී සංස්කෘත පොත්වලිනුත්, ටිබෙට් පොත්වලත් චීන පොත්වලත් ඉංග්ලිසි පරිවර්තනවලිනුත් ය. ඒ ටිබෙට් චීන පොත් යනු බුදු දහම ඉන්දියාවෙන් අතුරු දහන් වන්නට බොහෝ කලින් එහි සංස්කෘත මාගධී ආදී භාෂාවලින් තිබුණු බණපොත් ය. ඒවා මහාරාශියක් ටිබෙට්රටට ද චීනයට ද ගෙන ගොස් ඒ භාෂාවලට නගා තුබුණේ ය. එයින් සමහරෙක් ඉංග්ලිසියට නගන ලදු ව පළ වුණහ. මේ බුද්‍ධ චරිතය සැකැසීමේදී ඒ බොහෝ පොත්වල එන බෝසත් සිරිතේ ඇතැම් කොටස් සස ඳා බලා මෙහි ඇතුළත් කළම්හ.

මෙතෙකින් පෙර වදන අවසන් කරම්හ.

මේ අවස්ථායෙහි, අප පැවිදි කොට සිංහල පාලි සංස්කෘත භාෂාත් ධර්ම විනයයත් උගන්වා වදාළ, අපට ඉංග්‍ලිසි භාෂා විෂයයෙහි දැනීම දියුණු කැරැ ගන්නයි එයට දිරි දුන්, බළන්ගොඩැ බුලත්ගමැ (උඩුමුල්ලේ) ශ්‍රී නන්දාරාමාධිපතිවැ වැඩ වුසූ විනයාචාර්ය ආභිධම්මික දෙණිහේනේ ශ්‍රී ශීලානන්දාභිධාන අස්මදාචාර්ය පාදයන් වහන්සේ ද, අපගේ අභිවෘද්‍ධියට හැම ලෙසින් ම රුකුල් දුන් මහවළ තැන්නේ චන්ද්‍රශේඛර මන්ත්‍රීන්ද්‍රාරාමාධිපති වැ වැඩ වුසූ දාමහන ධම්මානන්දාභිධාන අස්මත් ප්‍රාචාර්ය මහානායක ස්වාමීන්ද්‍ර පාදයන් වහන්සේ ද මේ ගත රැසැයීමේ පින් අනුමෝදන් කරමින් සිහි කරම්හ. ඒ දෙදෙනා වහන්සේට ද, අප මාපියනටද අප දියුණුවට අතිශයයෙන් උපස්තම්භක වූ ඇස්. ඩී. මහවළතැන්නේ රටේ මැතිතුමාට ද බාන්ස් රත්වත්තේ රටේ තුමාට ද සගමොක් සුව පිණිස මෙය ලියූ පින ද ප්‍රත්‍යය වේ වායි ද පතම් හ.

මෙයට

බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය ස්ථවිර

අමරාවතී විහාරය, ග්‍රෙය්ට් ගැඩස්ඩන්, එංගලන්තය

1985 ඔක්:

නමො භගවතො විසුද්‍ධචරිතස්ස

සම්පුරිතාපමිත පාරමිතාපගාය

නිද්ධූය යො’ ඛිල කිලෙසමලප්පබන්ධං

නිස්සේසඤෙය්‍යවිදුතාභරණො රරාජ

සො චිත්තගන්ධකුටියං ලසතං ජිනො මෙ

  1. “His life is without blemish, he is the finished model of heroism, self-renunciation, the love, Sweetness he commands.” Bartholemy Saint Hilaire.

  2. “The finished model of calm and sweet majesty, of infinite tenderness for all that breathe and compassion for all that Suffer, of perfect moral freedom and exemption from every prejudice” Barth.

  3. "If you desire to see the most noble of mankind, look at the king in beggar's clothing, it is he whose Sanctity is great among men." Abul Atahiya.

  4. Professor Goldzihar of Budapest.

    I publish this translation not with any pretension to proficiency in Pali but as a tribute of love to the memory of the noble Gotama, who stands forth as the most prominent of the world's physicians, that traversed India in monastic garb the exalted, the holy, the highly illuminated One who came into the world to show to gods and men the way out of the sorrowful prisonhouse of being into the freedom of everlasting Rest, D.M. Strong (preface to the transla tion of Udana),