බටහිරින් පංචාල රට ද දකුණින් ගංගා නදිය ද, නැගෙනහිරින් සදානීරා[1] නදිය ද, උතුරෙන් නේපාලිය කඳුකර පෙදෙස ද යන මොහු කෝශල ජනපදයේ සීමාවෝ යි. දැන් අවුද් නමින් ප්‍රසිද්‍ධ පලාතට පුරාණ කෝශල දේශය පිහිටි භූමියෙන් ඉතා වැඩි කොටසක් ඇතුළත් වේ. උත්තර කෝශල, දක්ෂිණ කෝශල යැයි මෙහි බෙදීම් දෙකක් වීය. බුද්‍ධ කාලයෙන් පෙරැ උත්තර කෝශලයෙහි අගනුවර ශ්‍රාවස්ති (සාවත්ථි) පුරය වී ය. දක්‍ෂිණ කෝශලයෙහි ප්‍රධාන නුවර කුසාවතී පුරය යි. එහෙත් බුද්‍ධ කාලයේ දී කුසාවතී නමින් ප්‍රසිද්‍ධ මහා නගරයක් වූ බවෙක් නොපෙනේ. ශ්‍රාවස්තිය මැ මුළු කෝශල රටේ අග නගරය වැ පැවැත්තේ ය. බුද්‍ධ කාලයෙහි කොසොල් රටැ වූ මහා නගර තුන ශ්‍රාවස්ති, සාකේත, අයොධ්‍යා යන මොහු යි.
ශ්‍රාවස්ති
ශ්‍රාවස්ති (සාවත්ථි) පුරය අචිරවතී නදී තීරයේ පිහිටියේ ය. නදිචක්‍රය ඇතුළැ වූ බැවින් උතුරු දකුණු දෙසින් මැ නදිය වී යැ. පසේනදී කොසොල් රජුගේ වාසය වූයේ මෙහි ය. බුද්‍ධ කාලයේ මෙය අනාථ පිණ්ඩික, විශාඛා ආදි උපාසක උපාසිකාවන්ගෙන් විශේෂයෙන් බැබලී ගියේ ය. බුදුරජාණන් වහන්සේ ඉතා වැඩි කලක් වැඩ වුසූයේ මේ නුවර සමීපයේ ය. නගරය ජනයාගේ ආකීර්ණතා හේතුයෙන් නිතර මැ පාහේ ඝෝෂ සහිත වැ පැවැත්තේ ය. රෑ ප්‍රථම යාමය දක්වා මුළු කාලය මැ පවා රථ යාන වාහන ගමනයෙන් ද, ගනුදෙනු පිණිස යනෙන ජනයාගේ කථා ශබ්දයෙන් ඝුෂ්ට වී ය. අචිරවතී නදියේ එගොඩැ දකුණු දිගැ ජේතවනාරාමය වී ය. ඒ සමීපයෙහි මැ පසේනදී කොසොල් රජහු කැරැ වූ රාජකාරාම විහාරය ද වී ය. සැවැතට නැගෙනහිරින් නුවර සමීපයේ පූර්වාරාමය වී ය. මේ සැවැත් පුරයේ සිට කපිල වාස්තු පුරයට දුර යොදුන් 15 ක් පමණ ය.
ශ්‍රාවස්තියේ ප්‍රමාණය වටින් “ලී” 6000 ක් පමණ යැයි ද, ජේතවනය නගරයට “ලී” පහක් හයක් පමණ දකුණින් වූයේ යැයි ද තමා එහි යන කාලයෙහි ජේතවනාරාමය ජරාවාස වැ විහාර අත්තිවාරම් පමණක් ඉතිරි වැ පැවැත්තේ යැයි ද, එහි ඉතිරි වැ පැවැති ගඩොල් ගොඩනැගිල්ලක් තුළ පිළිමයක් පමණක් වී යැයි ද, ඒ පිළිමය වනාහි භාග්‍යවතුන් වහන්සේ මාතෘ දෙව්පුතුට දම් දෙසීමට ස්වර්ගයට නැංග කල උදායන (උදෙන) රජහු සඳුනින් බුදුරුවක් කැරැ වූ බව අසා කොසොල් රජු විසින් කරවන ලද බුදුරුව යැ යි ද ය්වාංජ්ශ්වාන් තුමාගේ ගමන වාර්තායෙහි දක්වන ලදී.
තවද සංඝාරාමයට පියවර 100 ක් පමණ නැගෙනහිර දිගැ විශාල ගැඹුරු අගලෙක් වේ යැ යි ද, භාග්‍යවතුන් වහන්සේ ට වස දෙන්නට උපායක් යෙදු දෙව්දත[2] ගිලුණු තැනයැ යි ද එයට දකුණින් දේවදත්ත පාක්ෂික කුකාලී (කොකාලිකා) මෙහෙණිය බුද්ධාපවාද අකුශල හේතුයෙන් පොළවැ ගිලූණු තැනැ වූ ගැඹුරු අගලෙකුත් එයට පියවර 100කින් පමණ දකුණෙහි චිංචිමානවිකා පොළෝ ගිලූණු තැනැ වූ අගලත් වේ යැ යි ද, වහින කාලයෙහි දිය ගලා අන් ගංගා වැව් පොකුණු ඉතිරැ ගියත් මෙකී තුන් අගල් වතුර ඇති බවක් වත් නො පෙණෙන තරම් ගැඹුරු යැ යි ද යන ආදී විස්තරයෙක් යට කී ගමන වර්ණනායෙහි මැ පෙනේ.
භාග්‍යවතුන් වහන්සේ ධරමාණ කාලයෙහි මෙහි ද පූරණකාශ්‍යපාදීන් ගේ ධර්මය පැවැත්තේ ය. ඉනුත් වැඩි වශයෙන් දියුණු වැ පැවැත්තේ මංඛලි පුත්‍ර ගෝශාල නම් ආජීවක නායකයාගේ සමය යි. එ ද භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනා හේතුයෙන් දුබල වැ ගියේ ය. මෙහි නැගෙනහිරින් අචිරවතී නදිය සමීපයේ විශාඛාව කරවා පිදූ පූර්වාරාම විහාරය විය. මෙ පුරැ වුසූ ජානුස්සෝනී, පිංගලකොච්ජ, සුන්දරිකභාරද්වාජ, අස්සලායන, ඒසුකාරී, සුභ, සංගාරව ආදි ප්‍රභූ බ්‍රාහ්මණ ගෘහපතීහු බෞද්ධෝපාසකයෝ වූහ.
වීදේහ රට වැස්සන් හා වෙළෙහෙළෙඳාම් අතින් සැවැත් වැසියන්ගේ සම්බන්ධය වී ය. සැවැත් නුවර වූ භූමි ප්‍රදේශය දැන් සහෙත් මහෙත් නමි. අචිරවතියට දැන් රප්ති යැ යි කියත්. පුරාතන කාලයෙහි ශ්‍රාවස්ති පුරයට ධර්මපත්තන ධර්ම පූරි යන නම් ද ව්‍යවහාර විය. ශ්‍රවස්ත [3]1 සෘෂිහුගේ වාස භූමිය වූ බැවින් මෙයට ශ්‍රාවස්ති යන නම විය. සියල්ල ඇත්තේ ය යන අර්ථය පිට සර්වමස්ති යැ යි කිය යුතු තැන එය වෙනස් වී යැ යි ද පුරාතනයෝ කීහ. මේ නගරයේ සීමායෙන් පිට ජේතවනයට ඊසානින් අන්ධ වන නම් බිහිසුණු වන ලැහැබෙක් වී ය. එය දිවා විහාරය පිණිස ප්‍රව්‍රජිතයන් පැමිණෙන තැනෙකි.
අයොධ්‍යා
මෙය සැවැත් නුවරින් දකුණේ ශරයු ගඟ බඩ පිහිටියේ ය. බුද්‍ධ කාලයෙහි වැඩි ප්‍රසිද්‍ධ නුවරක් නොවූවත් ඉන් බොහෝ පෙරැ ප්‍රසිද්‍ධ මහා නගරයෙක් වූයේ ය. මේ නුවර ද භාග්‍යවතුන් වහන්සේ වැඩ දම් දෙසූ සේක.
සාකෙත
සැවැත් නුවරට දකුණින් සත් යොදුනක් පමණ ඈත්හි අයොධ්‍යා නුවර ළඟැ මෙය පිහිටියේ ය. මේ නුවර බුද්‍ධ කාලයෙහි (බුදුරජාණන් වහන්සේ බුදු වූ වර්ෂය පමණේ දී) කොසොල් රජහු විසින් ඉදි කරවන ලදී. ඉන් පසු මහා සිටු කුලයන්ගේ වාසස්ථානයක් වී ය. දඹදිව මහා නගර සයෙන් මෙය ද එකෙකි. සාකේත පුර ළඟැ කාලාරාම, කණ්ටකී වන, අංජන වන යැ යි ආරාම තුනෙක් වී ය. එය කරවන ලද්දේ කාලක සිටුහු විසිනි. මිසදිටු වූ හෙතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් විය.
මාතිගාමය
මෙය කොසොල් රට පර්වත පාදයෙහි (කඳු පාවුල) පිහිටි බොහෝ ජනයාගෙන් ගැවසී ගත් ගමෙකි.
පඞ්කධා
මෙය නිගමයෙකි. මෙහි ද භාග්‍යවතුන් වහන්සේ වැඩ වුසූ සේක.
සක්ඛර නිගමය
සක්ඛර නම් නියම්ගම රජගහපුර සමීපයේ වී ය. මුගලන් තෙරණුවෝ මෙහි වැසි කොසිය නම් මසුරු සිටුහු දමිත කොටැ සසුන්හි පැහැදවූහු.
පණ්ඩු පුරය
පණ්ඩු පුරය සැවැත් නුවර සමීපයේ ගමෙකි. කියැ යුතු තරම් විශේෂ යමක් මෙහි දී වූ බවෙක් නොපෙනේ.
සේතව්‍යා පුරය
සේතව්‍යා පුරය ද කෝශල රටේ බ්‍රාහ්මණයන්ගේ වාස භූමියකි. මෙහි සිංසපා වනයෙහි බුදුරජාණන් වහන්සේ වූසූ සේක. මෙය ශ්‍රාවස්ති සේතව්‍යා නගර දෙක අතුරෙහි පිහිටියේ ය.
උක්කට්ඨා
උක්කට්ඨා (උල්කාසථා) පුරය පසේනදි කොසොල් රජු විසින් පොක්ඛරසාදි බමුණාට ත්‍යාග වශයෙන් දෙන ලද්දෙකි. නොයෙක් පළාත්වලින් ශිල්පශාස්ත්‍රාභිලාෂිහු මෙහි පැමිණ පොක්ඛරසාදි බමුණා ඇසුරු කළහ.
ඉච්ඡානඞ්ගල ගම
මෙය ද බමුණු ගමෙකි. උක්කට්ඨා නුවරට කිට්ටු වැ පිහිටියේ ය. මෙහි වේද සාකච්ඡා ශාලාවෙක් විය.
ථුන ග්‍රාමය
මෙය ද බමුණු ගමෙකි.
ශාලාවතිකා, ඔපසාද, සාලා, නගරවින්ද, මනසාකට, වේනාගපුර, දණ්ඩකප්පක, කේසපුත්ත යන මොහු ද සැවතට කිට්ටුව පිහිටි ග්‍රාම නිගමයෝ යි. ශාලවතිකායෙහි ලෝහිච්ච බමුණා ද ඕපසාදයෙහි චංකි බ්‍රාහ්මණ, කාපථික මානව ද යන ආදි බෞද්ධෝපාසක වූ බමුණු ගැහැවියන්ගේ නම් පෙළ පොත්හි දක්නා ලැබේ. මේ ඉහතැ කී ගම් සියල්ලෙහි මැ බුදු සසුන පැතිරැ පැවැත්තේ ය.
ශාක්‍ය ජනපදය
ශාක්‍ය ජනපදය කෝශල රටට, භූමියේ පිහිටීම් වශයෙන් ඇතුළත් ය. හිමාලය කඳු වැටියේ දකුණු පැත්තේ බෑවුම් ප්‍රදේශය ශාක්‍ය ජනපදයෙහි අන්තර්ගත විය. මේ දනව් සීමාවෝ කවුරුදැ යි කිසි පොතකින් නුදුටුමු. මෙහි බුද්‍ධ කාලයේ දී ශාක්‍ය ජනපදය ශුද්ධෝදන රජතුමා විසින් ආණ්ඩු කරන ලදී. පසු වැ බෝසතාණන් වහන්සේ 13 වර්ෂයක් රජය කැරැ වූ සේක. බෝසතාණන් මහණ වූ පසු සුදොවුන් රජතුමා ම ආණ්ඩු කෙළේ යැයි පෙනේ. එයට පසු අන්‍ය ශාක්‍ය රජෙක් ආණ්ඩු කෙළේ දැයි පොතෙකින් නො පැනේ. එහෙත් බෝසතුන් බුදු වූ පසු කලක් භද්දිය රජ ද එයට පසු මහානාම රජු ආණ්ඩු කළ බව පෙනේ. රට පාලනය පිළිබඳ විශේෂ කටයුත්තක් පැමිණි විටැ සාකච්ඡා කැරැ ගැනීමට රජතුමා සහිත වූ අනිකුත් ශාක්‍ය ප්‍රධානයන් කපිලවාස්තු පුර සන්ථාගාර ශාලාවට පැමිණීම සිරිත විය. ශාක්‍ය රජුහු වංශය අතින් තමන් ශ්‍රෙෂ්ඨ ලෙස ද, බලසම්පන්න වුවත් කෝශල රජු ආදීන් පහත් ලෙස ද සැලකූහ. එසේම අන්‍ය රජුන් විසින් ද ශාක්‍ය වංශය ශ්‍රෙෂ්ඨ යැයි සම්මත වී ය. ශාක්‍ය වංශයේ ආරම්භ කාලයේ පටන් ම ඥාති සම්බන්ධයෙන් බැඳුණු කෝලිය වංශිකයෝ ද වංශයෙන් ශාක්‍යයන් මිස අන් කිසිවකු තමනට සම තන්හි නො තැබූහ. ශාක්‍ය කෝලියයන්ගේ වාස භූමීහු රෝහිණී නදියේ දෙ තෙරැ වූහ. ශාක්‍යයන්ගේ බලය වැඩි බැවින්, පාලක බලය ඔවුන් අතැ ම තුබුණු බව පෙනේ. මෙසේ හෙයින් කෝලිය රට ශාක්‍ය ජනපදයේ ම පළාතක් වූ බව පෙනේ. තමන් රාජවංශිකයන් වූවත් ඔහු ගොවිතැන ගරු කොට සලකා එහි යෙදුණහ. ශාක්‍යයෝ පරහිංසායෙන් වැළැකුණු, ධාර්මික වූ, සත්පුරුෂ ධර්මය රකින්නෝ වූහ.
කපිලවාස්තු පුරය
මෙය රෝහිණී නදිය අද්දරැ පිහිටියේ ය. ශාක්‍ය ජනපදයේ අගනුවර යි. මෙය බිමට බට දෙව්පුරයක් මෙනැ යි කාව්‍ය කාරයෝ වැණූහ. රජුන්ගේ සන්ථාගාර ශාලාදියෙන් මේ සම්පූර්ණ වී ය. අතීතයෙහි බෝධිසත්ත්ව කපිල තපස්වීහුගේ වාසස්ථානයෙහි ඉදි කළ මේ නගරයට කපිලවාස්තු යැයි නම් කළහ. බුද්‍ධ කාලයෙහි නුවර වටේ ලෝහ දොරවලින් යුත් විශාල ප්‍රාකාරයෙක් වූයේ ය. මෙයින් සැවැත් පුරයට දුර යොදුන් පසොළොසක් පමණ ය. රජගහ පුරයට යොදුන් සැටක් පමණ ය. කපිලවාස්තු පුරයට දැන් පදරියායි ව්‍යවහාර යි. රෝහිණී නදිය කොහානා නමින් දන්නා ලැබේ. ය්වාංජ්ශ්වාන්ගේ යාත්‍රා වාර්තාවෙහි ඔහු එහි පැමිණි කාලයේ පැවැති කපිල පුර තත්ත්වය ලියා තිබේ. ඒ එයින් ගෙන සැකෙවින් මෙහි දැක්වේ.
“කපිලවාස්තු රාජධානිය වටින් “ලී” 400 කි. මෙහි නගර දහසක් පමණ ජරා වාස ව මනුෂ්‍ය වාසයෙන් තොර ව පවතී. මහා නගරය නෂ්ටාවශේෂ දැයින් වැසී තිබේ. රජ මාලිගාව පිහිටි භූමිය ලී 14 ක් පමණ වට ය. එහි සියලු ගොඩනැගිලි ගඩොලින් ම නිමවා තිබුණේ ය. එහි අත්තිවාරම් භිත්ති තවමත් ඉතා ශක්තිමත් ය. උස් ය. ඒ අසළැ මිනිසුන් ඉන්නා බිම් කට්ටි ඉතා ස්වල්පයෙකි. මෙහි එක ම මහරජෙක් නැත. එක එක නගරය එහි අධිපති රජකුගේ පාලනය පිටැ පවතී. පොළොව සාර ය. ධාන්‍ය නියම කලකට සශ්‍රීක ව වැඩේ. දේශගුණය ද එයට සුදුසු ව පවතී. වැසියෝ මෘදු මොළොක් ගුණ ඇත්තෝ ය. දහසකටත් වැඩි තරම් ජරාජීර්ණ වූ සංඝාරාමයෝ දක්නා ලැබෙත්. රජ මාලිගාව පිහිටි බිම සමීපයේ තවමත් භික්ෂූන් තිස්නමක් පමණ ඉන්නා සංඝාරාමයෙක් ඇත. ඔහු සම්මිතිය නිකායාන්තරගත හීනයාන ධර්මය හදාරති. මාළිගා භූමිය තුළැ ජරාවාස වූ අත්තිවාරම් බිත්ති සතරෙක් ඇත. මොහු ශුද්ධෝදන රජුගේ නිවාසය කැඩී බිඳී ගොස් ඉතිරි ව පවත්නා දෑ ය. ප්‍රාසාදය වූ තැන ශුද්ධෝදන රජුගේ ප්‍රතිමාව පිහිටුවා තිබෙන විහාරයෙක් ඇත. මෙයට නුදුරෙහි මායා බිසව ගේ ශයනාගාරය වූ තන්හි කරවන ලද විහාරයෙක් වේ. එහි මායා බිසවගේ රූපය තනා තිබේ. මෙහි අද්දරැ විහාරයෙක් වේ. එය බෝසත් කුසැ පිළිසිඳ ගන්නා අවස්ථාවෙහි මායා බිසව නිදාහොත් තැන ය. මේ ප්‍රවෘත්තිය ඒ විහාරයේ බිත්තියෙකැ සිතියම් කැරැ තිබේ. ස්ථවිර වාදයෙහි උත්තරාෂාඪ මස තිස්වන දා රෑ බෝධිසත්ත්ව ප්‍රතිසන්ධානය වී යැ යි මතයෙක් පවතී. අන්‍ය පරම්පරාවල ඒ මස තෙවිසි වන දා මේ වී යැ යි පිළිගැනේ. මෙ කී තැනින් ඉසාන දිග බෝසතාණන් අසිතර්ෂි විසින් පිළිගත් තැන කරවන ලද ස්තූපයෙක් වේ.
නුවර දකුණු දොරැ ස්තූපයෙක් ඇත. මෙය දෙව්දත් කුමරුන් විසින් නළලට ගසා මරා දමා පාර මැද දැමූ ඇතකු සිදුහත් කුමරු විසින් ඔසොවා නුවර දිය අගලින් එ පිටට වීසි කළ ස්ථානයේ කරවන ලද්දෙකි. මෙය සමීපයෙහි සිදුහත් කුමරුන්ගේත් යශෝධරාවගේත් ශයනාගාරය වූ තැනැ විහාරයෙක් වේ. මෙහි යශෝධරාව රාහුල කුමරු ළෙහි හොවා ඉන්නා සැටි හඟවන රූප සාදා තිබේ. මේ විහාරයේ එක් අද්දරෙකැ තවත් විහාරයෙක් දක්නා ලැබේ. මෙහි ශිෂ්‍යයකු ඉගෙන ගන්නා සැටි හඟවන රූපයෙක් වේ. මෙය වනාහි සිදුහත් කුමරු ශිල්ප උගත් ස්ථානය යි.
නුවරට ගිනිකොනැ සිදුහත් කුමරු සුදු අසකු අරා ඉන්නා සැටි හඟවන ප්‍රතිමා සහිත විහාරයෙක් වේ. මෙය බෝසතුන් ගිහි ගෙන් නික්මුණු ස්ථානය යි. නුවර සතර දොරින් පිටතැ මහල්ලකු, ලෙඩකු, මලකඳක්, පැවිද්දකු යන එක් එක් රූපයක් සාදා තිබෙන විහාර සතරෙකි. මේ සතර පෙර නිමිති දුටු සථාන සතර යි. මාලිගාවට නුදුරින් නුවර දකුණු දිගැ බුද්‍ධත්වයෙන් පසු මුලින් ම සුදොවුන් රජුට බුදුරජාණන් වහන්සේ හමු වූ තැනැ ද ස්තූපයෙක් වේ.
නුවරට දකුණු නැගෙනහිර සර්වඥ ධාතු නිධාන කැරැ කරවන ලද ස්තූපයෙක් වේ. එය ඉදිරියෙහි අඩි තිහක් උස මත්තෙහි නෙලු සිංහ රූපයක් ඇති ස්ථම්භයෙක් වේ. එහි පැත්තෙකැ බුද්‍ධ පරිනිර්වාණ වාර්තාව ලිපි කොටැ තිබේ. මෙය අශෝක රජහු විසින් කරවන ලද්දෙකි.
නුවරින් ඉසාන දිග ‘ලී’ 40 ක් පමණ දුර වප් මඟුල් දා බෝසතුන් ප්‍රථම ධ්‍යානයට සමවැද හුන් තැන ද කැරැ වූ ස්තූපයෙක් දක්නා ලැබේ.
නුවරින් වයඹ දිග විරූඪක (විඩූඩභ) රජහු විසින් ශාක්‍ය රජුන් මරන ලද ස්ථානයෙහි දහස් ගණන් ස්තූප දක්නා ලැබේ. මෙයින් දකුණු බටහිරැ කුඩා ස්තූප සතර දෙනෙක් වෙත්. මේ ශාක්‍ය රජුන් සතර දෙනෙකුන් සතුරු සෙනඟ ප්‍රතිවර්තනය කැරැලු ස්ථානය යි. විඩූඩභ කුමරුන් ශාක්‍යයනට විරුද්‍ධ ව එනු දුටු ශාක්‍ය රජහු සිවුදෙනෙක් ඔවුනට විරුද්‍ධ ව ඉදිරියට ගොස් ඔවුන් විසුරුවා හැරැ නුවර වන්හ. ඔවුන් කළ දෑ ඇසූ ශාක්‍යයෝ අපේ වංශයෙහි අය සත්ත්ව ඝාතනයෙන් තොර වූවෝ ය. මොවුන් වංශ ප්‍රවේණියට නින්දා ලැබෙන අකුශලයක් කළහ යි කියා ඔවුන් රටින් නෙරැපූහ. ඔහු ද හිමවතට ගියහ. ඉන් එක් අයෙක් වධ්‍යයන්ගේ රටෙහි රජ වූහ. අයෙක් උද්‍යාන රටෙහි ද, අයෙක් හිමතල රටෙහි ද සතර වැන්නා ශාම්බි රටෙහි ද රජ විය. එහි ඔවුන්ගේ රාජ පරම්පරාව අවිච්ඡන්න ව පැවත ආ ය.
නුවරින් දකුණැ ලී තුන හතරක් දුරැ භාග්‍යවතුන් වහන්සේට ශාක්‍යයන් කරවා දුන් නිග්‍රෝධාරාමය වේ. මෙහි සංඝාරාමයේ පසෙකැ ස්තූපයෙක් වේ. භාග්‍යවතුන් වහන්සේට ප්‍රජාවතී ගෞතමිය විසින් මහඟු කසාවතක් පුදන ලද්දේ මෙ තැන දී ය.[4]
නුවර නැගෙනහිර දොරින් ඇතුළතැ මහ මගැ වම් පසැ සිදුහත් කුමරුන් ධනුශ් ශිල්පාදිය පුරුදු කළ ස්ථානය හැඟවීමට කළ ස්තූපයෙක් දක්නා ලැබේ.
නුවරින් පිට ඊශ්වර දේවාලයෙක් වේ. මෙහි දේවරූපය බිමට නැමී නැගී සිටින ආකාර පෙනේ. බෝසතාණන් උපන් දා සුදොවුන් රජ ලුම්බිනී වනයෙන් එන ගමනැ ශාක්‍ය දරුවන්ගේ ශුභ සිද්‍ධිය සඳහා ඔවුන් උපන් අළුතැ පළමු කොට ඔවුන් ලවා වන්දවන ස්ථානය වූ යථෝක්ත දේවාලයට පැමිණියේ ය. මේ වේලාවේ ප්‍රජාවතී ගෞතමී බෝසත් කුමරු වඩා ගෙන ආවාය. ඇය බෝසතුන් ගෙන එහි ඇතුළැවන් කෙනෙහි දේවරූපය හුනස්නෙන් නැගිට බෝසතාණනට නමස්කාර කෙළේ ය. මේ ඒ ස්ථානය යි.
නුවර දකුණු දොරින් පිට මහ මඟැ වම් පසැ ස්තූපයෙක් දක්නා ලැබේ. බෝසත් විද්ද ඊගසක් බිම වැදී පොළොව බිඳී ගොස් දිය උල්පතක් මතු වී පොකුණක් වූ තැනෙකැ යි සලකනු ලබන ශරකූප නම් පොකුණෙක් යට කී ස්තූපයෙන් ලී තිහක් දකුණු නැගෙනහිරින් දක්නා ලැබේ. මෙහි ජලය ද මඩ ද රෝග සුව කිරීමේ ශක්තිය ඇත්තහ යි අසල් වැසියෝ සලකත්.
මේ පොකුණෙන් ‘ලී’ අසූවක් ගිය තැනැ ලුම්බිනී වනය වේ.
ලුම්බිනී ග්‍රාමය [5]1
ලුම්බිනී නම් රජ කුමරියකගේ නමින් ඉදි කරන ලද රාජෝද්‍යානය සමීපයේ වූ ගම ද ලූම්බිනී ග්‍රාම නමින් ප්‍රකට වී ය. යථෝක්ත උයන මහා බෝධිසත්ත්ව සිද්‍ධාර්ථ කුමාරයන් වහන්සේගේ ජාතභූමියයි. මෙය කපිලවාස්තු (කිඹුල්වත්) පුරයටත් දෙව්දහ පුරයටත් අතරැ පිහිටියේ ය. පසු කාලයෙක ධර්මාශෝක රජතුමා මෙය බලන්නට අවුත් ලූම්බිනී ගම අය බද්දෙන් නිදහස්කොට එහි ගල් කණුවක් කරවා තමාගේ පැමිණීම් ආදිය එහි කොටවා තැබ්වී ය. මේ ශිලාලිපිය තව ම දක්නා ලැබේ. දැන් ලුම්බිනී ග්‍රාමයට රුමීන්දායි යැයි කියත්.
ලූම්බිනී වනය ගැන ය්වාංජ්ශ්වාන්ගේ ගමන වාර්තායෙහි මෙසේ සඳහන් වේ.
“මෙහි (මේ ලුම්බිනි වනයෙහි) ශාක්‍යයන් නාන පොකුණ වේ. එහි ජලය කැඩපතක් සේ පිරිසුදු ය. පැහැදිලි ය.
පොකුණින් උතුරට පියවර විසි පහක් පමණ ගිය තැන දිරා ගිය අශෝක රුකෙක් ඇත. මෙහි දී වෙසක් පුර අටවක දා බෝසත් උපන්නේ ය. ස්ථවිරවාදීහු මෙය පසළොස්වක් දා යැ යි කියති. මෙයින් නැගෙනහිර නාගයන් බෝසතාණන් නෑවූ ස්ථානයෙහි අශෝක රජහු කැරැවූ ස්තූපයෙක් වේ.
ඉන් නැගෙනහිර පිරිසුදු දිය උල්පත් දෙකෙකි. මෙය බෝසතුන් උපන් කෙණෙහි එකෙකැ ඇල් දිය ද අනෙකෙහි උණු දිය ද ඇති වැ පහළ වූ දෙ උල්පත් ය. මේ සමීපයෙහි ද ස්තූප දෙකක් දක්නා ලැබේ. මෙයට දකුණින් ශක්‍රයා බෝසතුන් වඩා ගත් තැනැ කැරැවූ ස්තූපයක් දක්නා ලැබේ. මෙයට නො දුරෙහි බෝසතුන් උපන් කෙණෙහි සිවු වරම් රජුන් එ තුමන් වඩා ගත් තැන ස්තූප සතර දෙනෙක් වෙත්.
එයට නො දුරින් පසෙකැ අශෝක රජහු කැරැ වූ මත්තෙහි අශ්ව රූපයක් සහිත ගල් කුලුනෙක් වේ. මෙය නාගයකු විසින් පසු කලෙකැ මැදින් කඩා කොටසක් බිම හෙලන ලදී. මෙයට ඉතා සමීපයෙහි ගිනිකොණට ගලා යන කුඩා දිය පාරෙක් වේ. ඒ තෙල් නදිය යැ යි කියනු ලැබේ. මෙය බෝධිසත්ව ප්‍රසූතිය කළ මායා බිසවගේ පරිහරණයට දෙවියන් මැවූ පොකුණෙකි. පසු වැ එය කුඩා නදියෙක් වී ය.
මෙ තැනින් “ලී” 100 ක් පමණ නැගෙනහිරට ගිය තැන රාමග්‍රාමය වේ.
දෙව්දහ පුරය
දෙවදහ පුරය සුප්‍රබුදධ ශාක්‍ය රජුගේ වාසභූමිය යි. මෙය ද ශාක්‍ය ජනපදයේ වී ය.
තවත් ගම්
චාතුමා, සාමගාම, බෝමදුස්ස. සීලවතී, දෝන වත්ථු, නාගරක, උළුම්ප යනු ද ශාක්‍ය ජනපදයේ තවත් ග්‍රාමයෝ යි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා වර්ෂයේ උළුම්ප නම් ශාක්‍ය ගම වැඩ වසන සමයෙහි කොසොල් රජ එහි පැමිණ කතා බස් කොට බණ අසා ගියේ ය. රජුගේ ඇමැතියා කල් ඇති වැ පිරිස කැටුව ගොස් ඒ රජුගේ මැ පුත්‍ර වූ විඩුඩභ කුමරු රජ බවට පැමිණැවූයේ ය. තනි වූ රජ, පිහිට ලබනු වස්, සිය බෑනණු වූ අජාතශත්‍රැ රජ වෙත (රජගහපුරයට) ගියේ ය. රෑ නුවර දොරටු වසා තුබුණෙන් නුවරින් පිට ශාලාවෙක නවාතැන් ගත්තේ ය. ශෝකයටත්, වෙහෙසටත් පත් වැ සිටි අසූ හවුරුදු මහල්ලෙක් වූ දුර්වල රජ තෙම මෙහි දී කලුරිය කෙළේ ය.
හලිද්දිවසන, සජ්ජනේල, සාපූග, උත්තරකා, කක්කරපට්ට යනු කෝලිය රජුන් ගේ ග්‍රාම නිගමයෝ යි.
විශේෂ කරුණු
ශාක්‍යයෝ ගෞතම ගොත්‍රයෙහි (පෙළපතෙහි) වූවෝ ය., එබැවින් සමහර විටෙකැ පෙළපතේ නම් ද ඔහු කරුණු ව්‍යවහාර කළහ. බෝසතාණනට ද, අනඳ තෙරුණටද ගෝතම යන නම් ව්‍යවහාර කළ බව පෙනේ.
කෝලිය රජුහු ව්‍යග්ඝපජ්ජ යන නම ව්‍යවහාර කළහ. ඔවුන් ගේ මුල් බිම රාමග්‍රාමය යි.[6] කෝළනගර, ව්‍යාඝ්‍රපද්‍ය යනු ද එයට ම නමි. ශුද්ධෝදන රජතුමාට පසු සිද්‍ධාර්ථ රජතුමා රාජ්‍යය කැරැවූ බව මත්ස්‍ය පුරාණයෙන් පෙනේ. ශාක්‍ය රජුගේ පුත්‍ර ශෞදොධදනි (සිද්‍ධාර්ථ) රජය, තප්පුත්‍ර රාහුල ය, තත්පුත්‍ර ප්‍රසෙනජිත් ය යන රජවරුන් රජ කැරැ වූහ යි විෂ්ණු පුරාණයෙහි පෙනේ. එහෙත් රාහුල කුමරු රජ වූ බවද ප්‍රසේනජිත් රාහුල පුත්‍ර වූ බව ද බෞද්‍ධ පොත්වලට හාත්පසින් ම විරුද්‍ධයි. ශුද්ධෝදන රජතුමා මුළු කෝශල රටට ම මහරජ වූ බවක් පෙළ අටුවාවලින් නො පැනේ. ශාක්‍ය ජනපදය පමණක් සුදොවුන් රජු විසින් පාලිත වූ බවද මහා කෝශල රජු කෝශල ජනපදයේ අග රජ වූ බව ද ඔහුගේ ඇවෑමෙන් කොසොල් රට පසේනදි කොසොල් රජුගේ පාලනය පිට පැවැති බව ද පෙළ අටුවාවලින් පෙනේ.
බුද්‍ධ කාලයෙහි කාශි කෝශල දෙ රට කෝශල මහ රජුට අයත් විය.
ආළවි පුර
මෙය ආටවී පුර යැ යි සංස්කෘත පොත් හි සඳහන් වේ. මෙය කොසොල් ජනපදයෙහි වූ වෙන ම මාණ්ඩලික රාජයකු විසින් පාලිත රටෙකි යි පෙනේ. සැවත සිට මෙයට දුර යොදුන් තිහකි.
ආළවි රට
මෙ පුරැ අග්ගලාව චෛත්‍ය ස්ථානය, ගෝමග්ග සිංසාප වනය යන දෙ තන්හි භික්ෂූහු වූහ.
මෙහි ආධිපත්‍යය දැරූ හස්ථකාලවක රජ සතර සංග්‍රහ වස්තූයෙන් රට රක්නන්ගෙන් අග තැන්පත් බෞද්ධෝපාසකයෙකි.
-
ගණ්ඩකී නදිය යි ද කියත්. ↑
-
මෙය ලක්දිව පොත්වලැ ප්‍රවෘත්තියට වෙනසි. දෙව්දතු වස දෙන්නට ප්‍රයත්නයක් කළ බවක් දැන් පවත්නා පාළි පොතකැ නැත. එසේම දෙව්දත් සුප්‍රබුද්‍ධ රාජ පුත්‍ර බව මැ පාළි පොත්හි පෙනේ. ↑
-
1 ශ්‍රාවගේ පුත් ( යුවනාශ්වගේ මුණුබුරු වු) ශ්‍රාවස්ත විසින් මේ නගරය නිර්මිත වීයැ යි හරිවංශ, විෂ්ණු පුරාණ, මහාභාරත, හගවත් පුරාණ යන ඉතිහාසයන් හිද, පාණිනීය ව්‍යාකරණයෙහි V 1 2, 27 හිද සඳහන් වේ. ↑
-
මෙය භාග්‍යවතුන් වහන්සේගේ අවවාද පරිදි ඇය විසින් සංඝයාට පුදන ලදී. පසු වැ මහා කාශ්‍යපයන් වහන්සේ විසින් කුක්කුට පර්වතහි සුරැකි කොට මෛත්‍රෙය බෝසතාණන් පිණිස තබා ලූ බවෙක් චීන පොතේ පෙනේ. මෛත්‍රෙය බෝසතාණෝ තමන් ලත් වස්ත්‍රයෙන් භාග්‍යවතුන් වහන්සේ පිදුහ. ↑
-
1 මෙහි මුල් නම රුග්මිණි දාය යැ යි සිතමි. රුග්මිණි යනු විෂ්ණු භාර්යාවකි. ඇයගේ නමින් ශාක්‍ය කුමරිය ද රුග්මිණි යයි ප්‍රකට වී යැ යි සිතිය හැකි. රුග්මිණි යනු රුම්මිනි විය හැකි. රුම්මවාසි යන තැන රුම්ම යනු සංස්කෘතයෙහි රුග්ණ යනුවෙන් ආ සේ යි. මෙසේ රුග්මිණි යන්න ලූම්මිණි ලූම්බිණියැ යි විය හැකි. රුක්මිණි දාය යන රුමින්දායි කියා හින්දි බසට ද පෙරළි ආසේ පෙනේ. එසේ වුවත් වෛය්‍යාකරණයෝ ලූඛී ‘ලූම්බ’ යන ධාතුන් කෙරෙන් ප්‍රත්‍යය යොදා ලූම්බිනි ශබ්දය සිද්ධ කරත්. මහා සුප්‍රබුද්‍ධ රජුගේ බිසව (මායා බිසවගේ මෑණියෝ) ලූම්බිනි දේ නැමැති සංස්කෘත පොන්හි පැනේ. ↑
-
මෙය ලූම්බිනියෙන් ‘ලී’ 300ක් නැගෙනහිරිනැ යි ය්වාංජ්ශ්වාන්ගේ යාත්‍රා වෙහි පෙනේ. ↑