කුඩා රටවල්

මද්‍ර දේශය සොළොස් මහ රටවලින් කුමකට අයත් වී දැ යි අවිනිශ්චිත යි. සාගල පුරය මෙහි අගනුවර යි. මෙය දැන් පංජාබ් පළාතට අයිති යි.

සින්ධු දේශය

මෙය වර්තමාන රාජපුටානාහි වාලුකා කාන්තාරයට බටහිරින් සින්ධු නදිය දෙපැත්තේ පිහිටියේ ය. සැවැත් නුවර හා වෙළෙඳාම අතින් මෙහි සම්බන්ධය විය.

සෝවීර දේශය

මෙය රාජපුටානාහි වාලුකා කාන්තාරයට දකුණින් (පුරාතන) අවන්තියට බටහිරින් වින්ධ්‍යා කඳු වැටියට උතුරින් පිහිටියේ ය. මෙහි අගනුවර රෝරුක හෙවත් රෝරුව පුරය යි. සෝවීර රට ද සැවැත් නුවරට වෙළෙඳාම අතින් සම්බන්ධ වී ය. බුද්‍ධ කාලයෙහි මෙහි තිස්ස නම් රජ රජය කැරැවූයේ ය. ඔහුට ඔහුගේ මිත්‍ර වූ බිම්සර රජ බුද්‍ධ චරිතය වස්ත්‍රයෙක සිතියම් කරවා, රන් පතෙකැ පටිච්චසමුප්පාදය ලියවා තෑගි පිණිස එවූයේ ය. එය බලා පහන් වූ තිස්ස රජ භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් පැවිදි වූයේ ය.

අපරාන්ත රට

මෙය දක්ෂිණා පථයට බටහිරින් සමුද්‍ර තීරයේ පිහිටියේ ය. භරුකච්ච, සුප්පාරක යනු මෙහි තොටවල්ය. මෙයට සුනාපරන්ත ය යි ද කියන ලදි.

බාහිය රට, අජිත රට, අල්ලකප්ප රට, වේඨදීප රට, ආළවි රට, කෝකාලික රට, පත්තුන්න රට, පානියත්ථ ජනපදය, බුලු ජනපදය යන මේවා දඹදිව සොළොස් මහ ජනපදවලින් කුමකට අයත් දැ යි කිසි පොතකින් නො දුටුමු. භද්දවතී රට චේතිය ජනපදයේ වී යැ යි අනුමානයෙන් සිතමු. එහි ප්‍රධාන පුරය භද්දවතී නුවර යැ යි පැනේ. දැන් මෙය භතල් නමි. අල්ලකප්පක වේඨදීපක යන දෙ රට එකිනෙකට යා බද ව පිහිටියා විය හැකි ය. බුදුරජාණන් වහන්සේ ගේ පහළ වීමට වර්ෂ 60 කින් පමණ පෙර මෙහි රජය කැරැවූ රජුන් දෙදෙන සිය රටවල් හැර පර්වත දෙකකට ගොස් තවුස් දම් රැක්ක බව දම්පියා අටුවායෙහි කියන ලදී. කොසඹෑ පුරයේ උදේනි රජ කුඩා කාලයේ දී වේඨදීපක තවුසා ළඟ වැඩුණේ ය. වේඨදීප රට දැන් බෙටියා නමි. එය නේපාලයට දකුණින් ගොරක්පුරයට නැගෙනහිරින් පිහිටියේ ය.

කෝකාලික රට

කෝකාලික තෙරුන් ගේ ජාතභූමිය යි.

පත්තුන්න රට

පට්ටවස්ත්‍ර ගැන ප්‍රසිද්‍ධ වූවෙකි.

බුලු ජනපදයේ උත්තරකා නම් නියම් ගමේ භාග්‍යවතුන් වහන්සේ වුසූ සේක.

නගරග්‍රාම :

පහත සඳහන් නගර ග්‍රාම කිනම් රටකට අයත් දැ යි අනිශ්චිත යි.

දීඝලම්බක පුරය

මේ නුවර සමීපයේ අරණ්‍ය කුටිකාවෙක භාග්‍යවතුන් වහන්සේ වුසූ සේක. එ සමයෙහි නගරවාසි බමුණු දරුවකු යක්ෂෝපද්‍රවයෙන් මුදනු සඳහා භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ලවා සත් දිනක් දිවා රෑ දෙක්හි මැ පිරිත් බැණවූ සේක.

මුණ්ඩනිගමය:

මෙය වින්ධ්‍යා පර්වත අඩවියේ පිහිටියේ ය.

කේසපුත්ත පුරය :

කාලාමගෝත්‍රයෙහි වූවන් ගේ බලය පැවැති නුවරෙකි.

හස්තිග්‍රාමය (හත්ථිගාමය) :

මෙහි නාගවනාරාම නම් වෙහෙරක් වී ය. මෙය වජ්ජි රටට හෝ මල්ලරටට අයත් වියැ යුතු යි.

අට්ඨක නගරය :

මෙහි කුක්කුටාරාම නම් වෙහෙරක් වී ය.

ජාලිකා පුරය:

මෙය කිපිල්ලිකා නදී තීරයේ වී ය. මේ චාලිකා නමින් ද ව්‍යවහාර විය.

පිප්ඵලිවන පුරය :

මෝරියවංසික රජුන් ගේ නගරයෙකි.

වෙළුකන්ටකි පුර, මන්තාවතී පුර, මාතුලා පුර යන මොහු ද කිනම් රටකට අයත් දැ යි නො හැඟේ.