මගධ රටෙහි බුද්‍ධ කාලයේ දී මැ බුදුසස්න බෙහෙවින් පැතිරැ ගියේ ය. උතුරෙන් ගංගා නදිය ද, නැඟෙනහිරින් චම්පා නදිය ද, නිරිතෙන් වින්ධ්‍යා කඳුවැටිය ද බටහිරින් සෝනා නදිය ද යන මොහු මගධ ජනපදයේ සීමාවෝ යි.
රජගහ නුවර
රජගහ පුරය මගධ රට අගනුවර යි. මෙය ගංගා නදියට (දකුණෙන්) යොදුන් 5 ක් පමණ ඈතින් පිහිටියේ ය. මෙයට පූර්ව කාලයෙහි වසූමතී යන නාමයෙක් වී ය. වසූ නම් රජකු විසින් මෙය ඉදිකරන ලදැ යි රාමායණයෙන් පෙනේ. මෙය නගරයක් හැටියට විශාල ලෙස නිම කෙළේ මහාගෝවින්ද පඬිතුමා ය. මෙයට මාගධ පුර, ගිරිව්‍රජ පුර යන තවත් නම් දෙකක් ද විය. බුද්‍ධ කාලයෙහි මෙයට රාජගෘහ, මගධයන්ගේ ගිරිව්‍රජ පුර යන නම් දෙක බැවහාර වී ය. ගාලක් වටේ බැඳි වැටක් මෙන් නුවර හාත්පස වේහාර, වේපුල්ල, ගිජඣකූට, ඉසිගිළි, පාණ්ඩව යන පර්වත පස පිහිටියේ ය. මේ පර්වත පසේ නම් හින්දු ග්‍රන්ථයන් හි වෛභාරගිරි, විපුලගිරි, වරාහගිරි, වෘෂභගිරි, සෘෂිගිරි යැයි සඳහන් වේ. ඉතා පූර්වයේ සිට මහ රජුනට නිවාස වූ බැවින් මෙයට රාජගෘහ යන නම වී ය. “මගධානං ගිරිබ්බජං” යන්නෙන් මගධ ජනපදයේ ගිරිව්‍රජ යැ යි පාළි පොත්හි සඳහන් වේ. “මගධ ජනපදයේ” යන්නෙන් වෙසෙසන ලද්දේ කේකය ජනපදයේත් ගිරිව්‍රජ නමින් නුවරක් වූ බැවිනි. ස්වාංජ්ශ්චාන්[1] නම් චීන යාත්‍රිකයාගේ ගමන් විස්තරයෙහි මෙයට කුශාගාර පුර යැ යි ද කියන ලදී.
ගයාව අසලැ කඳුවලට මැදි වූ දැන් රාජගිර් යන නමින් ව්‍යවහාර වන භූමියෙහි පුරාණ රාජගෘහ පුරය වූයේ ය. රජගහ පුරයේ සිටැ කපිලවාස්තු පුරයට දුර යොදුන් 60 කි. මෙහි සිටැ විසාලා පුරයට ගංගා නදිය පසු කැරැ යෑ යුතු විය. ගංගා නදියට මේ නුවර සිට යොදුන් 5ක් ද, ගංගා නදියේ සිටැ වෛශාලි පුරයට යොදුන් 3ක් ද දුර ප්‍රමාණය වූ බැවින් වෛශාලි පුරය රජගහ සිටැ යොදුන් 8 ක් ඈත්හි වූ බව පෙනේ. රජගහ පුරයෙන් අනෝමා ගං තෙරට දුර යොදුන් 30කි. රජගහ පුර සමීපයේ තල්වනය, වේළුවනාරාමය, ශීලවනය, මද්දකුච්ඡි මිගදාය, ජීවකම්බවනය, මෝරනිවාපය, ලට්ඨිවනය යන ආදීහූ භාග්‍යවතුන් වහන්සේ වුසූ තැන් ය. මෙහි ගිරිකුළුපව්ව මුදුනට එහි පාමුලැ සිට පහසුවෙන් යා හැකි මාර්ගයක් බිම්බිසාර රජහු විසින් කරවන ලදී.
ගිජුකුළු පව්වෙහි වූ ආවාස හැරැ රජගහ වටා පිහිටි සෙසු පර්වතවලත් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක ගණයාත් වුසූ තැන් වීය. ඉන් සමහරෙක් නම් : චෝරපපාතය, ඉසිගිළි පර්වත පාර්ශවයෙහි වූ කාළසිලාව, වේහාර පර්වත පාර්ශවයෙහි වූ සත්තපණ්ණිගුහාව, ශිතවන (සීවක වන) නම් මිනී පිට්ටනිය සමීපයෙහි වූ සප්පසොණ්ඩික පබ්භාරය, ගෝතම කන්දරය, තින්දුක ගුහාව, තපෝද කන්දරය, තපෝදාරාමය, ඉන්දසාල ගුහාව, පිප්පලි ගුහාව යන මොහු යි. මින් තපෝදාරාමය වූයේ උණුදිය උල්පතක් සමීපයේ ය. තපෝදා යනු උණු දිය උල්පතට නමෙකි. දැනුදු මේ උණු දිය උල්පත එහි ඇත්තේ ය. ඉන්දසාල ගුහායේ දී භාග්‍යවතුන් වහන්සේ සක්කපඤ්හ සූත්තය දෙසු සේක. නගරයෙන් පිටතැ කැලෑවල ද අරණ්‍ය කුටිකාවන්හි භික්ෂූහු වුසූහ.
සූකරඛත ලෙන (ඌරන් හැරූ ලෙන) ගිජුකුළු පව්වෙහි වූයේ ය. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන්ගේ බෑණනු දීඝනඛ පිරිවැජියාට වදාළ වේදනා පරිග්ගහ සුත්ත (දීඝනඛ සුත්ත) දේශනාව අසා තෙරණුවෝ රහත් වූහ. දෙවෙනි, තෙවෙනි, සිවුවන, සතළොස්වන, විසිවන වස් කාලයන්හි බුදුරජාණන්වහන්සේ රජගහ නුවර වූසූ සේක. සංජය නම් ශාස්තෘහු වුසුයේ මෙහි ආශ්‍රමයෙක යි. බුද්‍ධප්‍රාදුර්භාවයෙන් පළමුයෙන් මැ පහර වැදුණේ ඔහුට යි. සැරියුත් මුගලන් දෙනම මොහුගේ ශිෂ්‍ය වැ සිට ඉන් නික්ම බුද්‍ධශ්‍රාවක වූහ.
නාලන්දා පුරය
නාලන්දා නුවර රජගහ නුවරින් යොදුනක් ඈත පිහිටියේ ය. මෙහි අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරකයෙක් (රජුගේ ක්‍රීඩා පිණිස කැරැවූ ප්‍රාසාදයෙක්) වී ය. භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රය දෙසූයේ එහිදීය. දුස්සපාවාරික නම් සිටූහු විසින් ද මෙහි පාවාරිකම්බ වනයෙහි විහාරයක් කොට භාග්‍යවතුන් වහන්සේට පූජා කරන ලදී. නිර්ග්‍රන්ථ ඥාත පුත්‍රයා (නිගණ්ඨ-නාතපුත්තයා) නාලන්දා වැසියෙකි.
අම්බසණ්ඩා නිගමය
මෙය රජගහට නැගෙනහිර විය. මෙහි උතුරෙන් පිහිටි වේදිසක පර්වතයෙහි ඉන්ද්‍රශාල ගුහායේ දී භාග්‍යවතුන් වහන්සේ සක්දෙව් රජු ඇසූ ප්‍රශ්න විසඳීමෙන් (දික්සඟියේ). සක්කපඤ්හ සුත්තය දෙසූ සේක.
කල්ලවාලමුත්ත ගම
මෙය මගධ රට සීමාව ආසන්නයෙහි යැ යි සිතිය හැකි.
මාගධ ක්ෂෙත්‍රය
මෙය මගධ රට කුඹුරුවලින් ගහණ වූ පෙදසෙක් බැවින් මාගධ ක්ෂෙත්‍ර නම් විය. මෙහි භාග්‍යවතුන් වහන්සේ පිණිස පාෂාණචෛත්‍ය නම් තන්හි විහාරයක් කරවා තුබුණේය. එය පාසාන චේතිය විහාර (පාෂාණ චෛත්‍ය විහාර) නම් වී ය.
අන්ධකවින්ද ගම
මෙය රජගහ පුරින් ගවු තුනක් ඈත් හි සප්පිනිකා නදිය සමීපයේ වී ය. මෙහි භාග්‍යවතුන් වහන්සේ පිණිස උපාසකයකු විසින් කරවන ලද විහාරයක් වී ය. අන්ධකවින්ද සූත්‍රය දෙසූයේ මෙහි දී ය.
මහාතිත්ථ බ්‍රාහ්මණ ගම
මෙය මහා කස්සප තෙරුන්ගේ ජාත භූමි යයි.
නාලක ගම
මෙ මගධ රට නැගෙනහිර පැත්තේ පිහිටි බමුණු ගමෙකි. සැරියුත් තෙරුන්ගේ උත්පත්තිය ද, පිරිනිවන් පෑම ද මෙහි දී ම වී ය.
ජෙන්ත ගම
මෙය මගධෙශ්වර වූ බිම්බිසාර රජු යටතේ මාණ්ඩලික රාජයකු විසින් පාලිත වී ය. එම මාණ්ඩලික රජුගේ පුත්‍ර වූ ජෙන්ත (ජයන්ත) කුමරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි විය.
උරුවෙලා ජනපදය
බොහෝ පෙරැ තවුසන් විසින් ගෙනවුත් ගොඩ ගසන ලද මහත් වැලි රැසක් කරණ කොටැ මේ පෙදෙසට උරුවේලා යන නම වී ය යනු පාළි අට්ඨවණ්ණනාචරිය මතයයි. මහ බෙලි පල ගන්න පෙදෙසක් බැවින් මේ උරුවිල්වා නැමැයි සංස්කෘත බෞද්‍ධ ග්‍රන්ථයන්හි සඳහන් වේ.
සෙනානී නිගමය
මෙහි මගධ රජුගේ සේනාධිපතියකු (සේනානියකු) වූ හෙයින් සේනානි නිගමයැ යි නම් වී යැ යි සිතියැ හැක. බුදුවන දාට පූර්ව දිනයෙහි අප මහසතාණන් ක්‍ෂීරපායාසයෙන් පිදු තැනැත්තී යථෝක්ත සෙනෙවි කෙළෙඹියාගේ දූ වූ සුජාතාවෝ යි.
ගයා
ගය නම් රාජර්ෂීන් විසින් කරන ලද බැවින් මෙයට ගයා යන නම ව්‍යවහාර වී ය. මෙය ජයසිරි මහ බෝ මැඩින් තුන් ගව්වක් පමණ ඈත්හි නේරංජරා නදිය අද්දරැ වූ ගමෙකි. මෙ ගම සමීපයෙහි බ්‍රහ්ම ලබ්ධිකයන් පව් සෝදන පොකුණක් වී ය. නේරංජරාවේ තොටුපල ද ඔවුන්ගේ පාපප්‍රවාහස්ථානයෙක් වී ය. එබැවින් එ දෙපොල මැ ගයා තීර්ථ නමින් දන්නා ලද්දේ ය. ඉන් ගම් දොරටුව සමීප තන්හි ගයා පොකුණ තෙර ලොකු ගල් සතරක් උස දිග පුළුල ඇති මහත් ගල්ලෑල්ලක් අතුට කරන ලද ගල් ඇඳෙක් වී ය. මෙය ටංකිතමංච යැ යි දන්නා ලද්දේ ය. එය ඇසුරු කොට පිහිටි සුචිලෝම යකුගේ භවනයෙහි ද භාග්‍යවතුන් වහන්සේ වූසු සේක. තවද ගයා ගම සමීපයේ මැ ගයා තොටුපල ඉස්මත්තේ ගජ ශීර්ෂයක් (ඇත් ඔලුවක්) බඳු කඳු මුදුනෙක් වී ය. එ කඳු මුදුනේ වූ විශාල සම ගල් තලය දහසක් පමණ භික්‍ෂූනට විසුමට තරම් අවකාශ ඇති වී ය. ගයා තොටුපල ඉස්මත්තේ වූ ඒ විශාල ගල් තලයෙහි (ගයා ශීර්ෂයෙහි) ද භාග්‍යවතුන් වහන්සේ වූසූ සේක. පුරාණ ජටිල භික්‍ෂූනට ආදිත්ත පරියාය සූත්තය දෙසූයේ මෙහි දී යි. මෙහි දෙව්දත් තෙරුනට අජාසත් රජු කරවා දුන් විහාරයෙක් ද වී ය. සංඝභෙදය කොටැ පන්සීයක් පමණ වූ නවක භික්ෂූන් ගෙන ආවේත් ඒ ගයා ශීර්ෂ විහාරයට යි. දැන් බුද්‍ධගයා නමින් ප්‍රසිද්‍ධ වැ ඇත්තේ බෝධිමණ්ඩ ප්‍රදේශය යි.
රෝහිත වාස්තු (රෝහණ වත්ථු), උරුවේලකප්ප (උරුවිල්වා කල්ප), අනාලය, සාරථිපුර යන ග්‍රාම නිගමයෝද බෝ මැඩින් උතුරු දිගැ මහ මඟැ පිහිටියෝ යැ.
පාටලී ග්‍රාමය
මෙය බුද්‍ධ කාලයෙහි මගධ රටැ උතුරෙහි ගංගා නදිය අද්දරැ තොටුපල යි. පරිනිර්වාණ වර්ෂයේ දී අජාසත් රජු විසින් මෙය මහා නගරයක් කරන ලදී. එතන් පටන් පාටලී පුත්‍ර නමින් ප්‍රකට වී ය. නගර නිර්මාපණ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි සේක. එහි භාග්‍යවතුන් වහන්සේ නුවරින් පිටැ වූ ද්වාරයට ගෞතමද්වාර යැයි ද, ගඟ අද්දරැ වැඩි තොටුපලට ගෞතමතීර්ථ යැ යි ද නම් කරන ලදී. ඉෂ්ටකාවතී, දීඝරාජි යනු ද මගධ රට ගම් දෙකෙකි. මෙයින් ඉෂ්ටකාවතියෙහි අරුණවතී නම් විහාරයෙක් වී ය.
දක්ෂිණගිරි ප්‍රදේශය
රජගහ පුරය වටේ වූ කඳුවැටියෙන් දකුණු පැත්තේ (එනම් නුවරට දකුණින් පර්වත වළල්ලෙන් පිටතැ) පිහිටි පෙදෙස දක්ඛිණගිරි ජනපද යැයි කියන ලදී. ඒකනාලාව මෙහි ප්‍රධාන ගමය. භාග්‍යවතුන් වහන්සේ මෙහි එකොළොස්වන වස වුසූ සේක. කසීභාරද්වාජ සූත්‍රය වදාළේ මෙහි දී ය.
බානුමත
මෙය සසුන් පැතුරුණු බමුණු ගමකි. මෙහි කූටදන්ත බමුණා බෞද්ධෝපාසක වී ය.
පංචශාල
මෙය ද බමුණු ගමෙකි. දිනක් මෙහි පිඬු පිණිස වැඩි භාග්‍යවතුන් වහන්සේට කිසි මැ තැනෙකින් භික්ෂාව නො ලැබුණේ ය.
විශේෂ කරුණු
මගධ දේශයට පුරාතනයේ කීකටස්ථාන යැ යි ද කීහ. බුද්‍ධ කාලයෙහි අංග මගධ දෙ රටේ ප්‍රමාණය යොදුන් 300 ක් වීය. දෙරට මැ අසූදාහක් පමණ ග්‍රාමයෝ වූහ. බුද්‍ධ කාලයෙන් බොහෝ පෙරැ අංග ජනපදය, මූදු වෙරළ දක්වා විශාල වැ පැවැත්තේ ය. මගධ රට පවා අංග ජනපදයට යටත් පළාතෙක් වී ය. සමහර කලෙකැ එ දෙ රට වෙන වෙන මැ මහ රජුන් යටතේ පැවැත්තේ ය. අප මහසතාණන් බුදු වන්නට පෙරැ අංග මගධ දෙ රට රජුන්ගේ යුද්‍ධ ඇති වී ය. මුල් වරැ අංගාධිපති වූ බ්‍රහ්මදත්ත රජහු විසින් මගධෙශ්වර භට්ටිය රජ පරදවන ලද්දේ ය. එහෙත් පසුවැ භට්ටිය රජුගේ පුත් බිම්බිසාර කුමරු යුද්‍ධයට වැද බ්‍රහ්මදත්ත රජහු මරා අංග දේශය අල්ලා ගත්තේ ය. එතැන් සිට අංග ජනපදය මගධ රාජ්‍යයට ඇතුළත් වී ය. බිම්සර කුමරු තෙමේ ද අංග රට ප්‍රධාන නුවර වූ චම්පා පුරයෙහි වසමින් යුවරජකම් කොට පිය රජහුගේ ඇවෑමෙන් රාජගෘහ පුරයට පැමිණැ එහි නැවතී අඟු මගධ දෙරට ආංඩු කෙළේ ය. බුද්‍ධ කාලයෙහි අංග රට ආංඩු කෙළේ බිම්සර රජු යටතේ සිටි රජෙක් ය. හෙතෙම අංගරාජ යන නමින් හැඳින්විණ. අංග මගධ දෙරට සින්ධු සෝවීර යන රටවල් හා වෙළෙදාම් අතින් සම්බන්ධ වී ය.
ආගම
මෙහි පූරණ කාශ්‍යපාදී ෂට් ශාස්තෲන් ගේ ධර්ම අනු වැ ගියෝ කලෙකැ බොහෝ වූහ. එහෙත් බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් පසු එ සියලු අන්‍ය තීර්ථ දර්ශන දැඩි අඳුර භජනය කෙළේ ය.
රාමඍෂීගේ පුත්‍ර උද්‍රක නම් තවුසාගේ ආශ්‍රමය වූයේත් මගධ රටෙහි ය.
-
හුයාන්ත්සාන් හ්‍යුඑන්සාන් යනු වැරැදියි. ↑