කාශි දේශයේ මායිම් මොන මැ පොතකිනුදු නො දුටුමු. දඹදිව සොළොස් මහ ජනපද අතුරෙන් මෙය බොහෝ සමෘද්‍ධ වැ බැබැළුණු රටෙකි. උසස් දියුණුවක් පැවැති කාලයෙහි මෙහි ප්‍රමාණය සැතපුම් දෙදාහකට අඩු නොවී යැයි කියන ලදී. කලක් දකුණු ඉන්දියාවේ අස්සක ජනපදයත් කාශි දේශයේ පළාතෙක් වැ පැවැත්තේ ය. තවත් කාලයෙක කෝශල රටත් කාශි ජනපදයට ඇතුළත් වූයේ ය. පළමු පැවැති දියුණුවෙන් මඳක් පහත බැස්ස මේ ජනපදය බුද්‍ධ කාලයෙහි කෝශල රාජ්‍යයට අයත් වී ය.
බාරාණසී
බාරාණසී පුරය (බරණැස්නුවර) කාශි රටේ අගනුවරයි. පිහිටියේ ගංගා නදිය අද්දර ය. වරණා අසී යන නදීන් දෙදෙනා අතරැ වූ භූමි භාගයෙහි ඉදිකළ බැවින් වරණාසි යැ යි වැහැර වූ මෙය පසු කාලයෙක බාරාණසි ය යි ව්‍යවහාරයට පැමිණියේ ය. එසේ මැ වටින් තවත් ගම් ආදිය නගරයටමැ ඇතුළත් වීමෙන් ක්‍රමයෙන් විශාල පුරයෙක් වී ය. බුද්‍ධ කාලයෙන් පූර්වයෙහි එක් කලෙක යොදුන් දොළොසක් තරම් වැ පැවැත්තේ ය. මෙහි නානා ලබ්ධික ජනයා රැස් වැ තමතමන්ගේ දෘෂ්ටි ගැන කථා පවත්වන සමයප්‍රවාදක නම් නගර ශාලාවෙක් ද වීය. තවුසන්ගේ අසපුවක් වූ සෘෂිපතනය (ඉසිපතනය) මෙයට සමීපයේ ය. භාග්‍යවතුන් වහන්සේ මුලින් මැ දම්සක් පැවැත් වූයේ ද මුල් වස වුසූයේ ද මෙහි ය. බරණැස පටන් ජයසිරි බෝමැඩට දුර ගවු 18 යි . බෞද්‍ධයන් විසින් විශේෂයෙන් යා යුතු පුණ්‍ය භූමි සතරින් බරණැස එකෙකි.
විශේෂ කරුණු
නුවරින් ඊශානයෙහි වරණා ගඟේ බටහිර තෙර ලී[1] 10 ක් පමණ දුරින් ඉසිපතනාරාමය වී යැ යි ද මෙය වටේ විශාල ප්‍රාකාරයෙක් වී යැ යි ද, මෙහි හීනයානයට අයත් සම්මිතිය නිකායිකයන්ගේ ධර්මය හදාරන භික්ෂුන් 100 ක් පමණ තමන් එහි යන කාලයේ වූසූ හ යි ද, ප්‍රාකාරය ඇතුළත අඩි 200 ක් තරම් උස් විහාරයක් වූහ යි ද. එහි මැද දම්සක් පවත්වන අයුරු දක්වන තඹමුවා විශාල පිළිමයක් වූහ යි ද, මෙය සමීපයේ පසෙකැ ආඥාත කෞණ්ඩිණ්‍යාදීන් තවුස් දම් පිරූ ස්ථානයෙහි ස්තූපයක් වූහ යි ද, එයට නොදුරින් පසෙක් හි බෝසතාණන්ගේ උත්පත්තියට බුද්‍ධක්‍ෂේත්‍රයෙහි ඉඩ සලසනු පිණිස පන්සීයක් පසේ බුදුවරුන් වැඩ පිරිනිවන් පෑ ස්ථානයෙහි කළ ස්තූපයක් වූහ යි ද, ඊළඟැ මෛත්‍රෙය බෝධිසත්වයන් විවරණ ලත් තැන කළ ස්තූපයක් වූහ යි ද ආදී විස්තරයෙක් ය්වාංජ්ශ්වාන්ගේ ගමන් වාර්තා පොතේ පෙනේ.
පෙසකාර ගම
බරණැස සමීපයේ පෙහෙරුන්ගේ ගමෙක් වී ය. බරණැසට බටහිරින් ගංගා නදියේ එගොඩ වාසභ නම් ගමක් ද, එය ඉක්මවා චුන්දත්ථික නම් ගමක් ද වූ බව පොතින් පෙනේ. මේවා ගැන කියැ යුතු තරම් විශේෂ කිසිත් නැත. බිම්සර රජුන්ගේ කෝලිය නම් මහාමාත්‍යයකු පසල් දනව්වෙක කැළඹීමක් සංසිඳුවා ආපසු එන ගමන් ගංගා නදිය දිගේ පහළට යාත්‍රා කළ බවකුත් ඔහුට චුන්දත්ථි ගමට ගඟ දිගේ ඉහලට යන ප්‍රෙතයකු හමු වූ බවකුත් පොතින් පෙනේ. බරණැස කිට්ටු වැ මගධ රටට යටත් දනව්වක් වූ බව මෙයින් සිතිය හැකි ය. ඒ එසේ නම් මගධ දේශය කාශි ජනපදය තෙක් ව්‍යාප්තවැ පැවැති බව ද සිතිය හැකි ය. කේවට්ටද්වාර නම් ගමෙක් බරණැස් නුවර එක් දොරටුවක් සමීපයෙහි වී ය.
-
ලී යනු මයිල කාලක් පමණ වූ චීන මැනීමකි ↑