නැගෙනහිරින් පංචාල රට ද, දකුණින් මාත්ස්‍ය රට ද මෙහි සීමායි. සෙසු දිශාවලින් කිනම් සීමා වී දැ යි පොතෙකින් නො පැනේ. මෙහි වට යොදුන් 300 කි. යුධිෂ්ඨිර පෙළපතේ රජුහු මෙහි රාජ්‍යය කැරැවූවෝ ය. බුද්‍ධ කාලයෙහි කෝරබ්බ (කෞරව) රජකු විසින් පාලිත වූ බව පමණෙක් පෙනේ.
ඉන්දපත්ථ පුරය
ඉඳිපත් නුවර මෙහි අග නුවර යි. රජුගේ වාසය වූයේ මෙහි යි. මිගාවීර නම් උයනේ දී රට්ඨපාල තෙරණුවෝ රජුට දම් දෙසූහ. මේ නගරය යොදුන් 7 ක් පමණ විශාල යැ යි කියන ලදී. මෙය වූ තන්හි දැන් ඉන්ද්‍රප්‍රාත් නම් ගමෙක් වේ. පිහිටා තිබෙන්නේ දිල්හි පුරය සමීපයේ යි.
හස්තිනා පුරය
හස්තිනා පුරය පෙරැ ඉතා බලසම්පන්න වැ පැවැති බව මහා භාරතයේ සඳහන් වේ. බුද්‍ධ කාලයෙහි හස්ථිනී නම් කුඩා නුවරෙකි.
ථුල්ලකොට්ඨිත
මෙය මහාධනීන් ගේ නියම් ගමෙකි. රට්ඨපාල තෙරුන් ගේ ජාත භූමිය යි.
විශේෂ කරුණු
කුරු රට දේශ ගුණය විශේෂයෙන් සුබ දායක යි. මනා සැප පහසු ඇති බැවින් එහි මිනිස්සු අන් රටවලැ ජනයාට වඩා නිරෝග වූහ. නුවණ සුව සේ මුහුකුරුවන්නට හැක්කෝ ද වූහ. ගැඹුරු බණ දහම් අසා තේරුම් ගැනීමෙහි සමර්ථයෝ වූහ. එබැවින් මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මහාසතිපට්ඨාන, මහානිදාන, සතිපට්ඨාන, සාරෝපම, රුක්ඛෝපම, මාගන්දිය, ආනෙජ්ජසප්පාය යන ගැඹුරු සූත්‍රාන්තයන් දෙසූ සේක. රට්ඨපාල සූත්‍රය දෙසන ලද්දේ ද මෙහි දී ය. තව ද මෙහි වැසියෝ නිරර්ථක කථායෙන් කල් නො ගෙවුවෝය. ඉතා පහත් දාස දාසීහු පවා යම් කිසි සතිපට්ඨාන භාවනාවක් ඉගෙන එය වැඩීමෙහි යෙදුණාහ. භාවනා නො කිරීම ඔවුනට ලජ්ජාවට කරුණු වී ය. පසු කාලයක මෙහි සමූහ ආංඩුවක් වී යැ යි ඓතිහාසිකයෝ කියත්.