මෙය දක්ෂිණාපථයට උතුරින් පිහිටියේ ය. බුද්‍ධ කාලයෙන් ශත වර්ෂ 12 කින් පමණ පසු මෙයට මාලව දේශ යැ යි ව්‍යවහාර වී ය. මෙය උත්තර අවන්තිය, දක්ෂිණ අවන්ති යැ යි පළාත් දෙකකට බෙදී පැවතිණැයි සිතිය හැකි. අවන්ති දක්ෂිණාපථ යැ යි දකුණු අවන්තියට කියන ලදැ යි හැඟේ. වර්තමානයෙහි මල්චා නිමර් යන පළාත් දෙකත් එයට සමීප වූ මධ්‍යම පළාතේ සීමායෙහි කොටස් කීපයකුත් යන මේ කී සියල්ල පුරාතන අවන්ති දේශයට ඇතුළත් වූ බව පෙනේ. බුද්‍ධ කාලයෙහි මෙහි රජය කැරැවූයේ චණ්ඩප්පජ්ජෝත රජතුමා යි. එතුමා බෞද්‍ධයෙකි.
මෙහි කුරරඝර නුවරැ පපාත පබ්බතයෙහි ද මක්කරකටක ගම අසළැ ද කච්චාන තෙරුන් ගේ ආශ්‍රම වි ය.
උජ්ජෙනි
ග්‍රීකවරු ojene (ඔජෙනේ) යැ යි මෙයට ව්‍යවහාර කළහ. මෙය බුද්‍ධ කාලයෙහි මුළු අවන්ති දේශයේ ප්‍රධාන නුවරයි. මහ රහත් කච්චායන තෙරුන් වහන්සේ ගේ ජාතභූමියයි. මිහිඳු මාහිමියන් වහන්සේ උපන්නේ මේ නුවරෙහි ය. මෙය අවන්ති රටේ උතුරු කොටසේ චර්මන්වතී නදී තීරයේ පිහිටියේ ය.
මාහිස්සති
අවන්ති දක්ෂිණාපථයේ ප්‍රධාන නගරය වූ මෙය බුද්‍ධ කාලයෙන් පෙරැ කලක් මුළු අවන්ති ජනපදයේම අග්‍ර නගරය වි ය. නර්මදා නදී තීරයේ පිහිටියේ ය. දැන් මෙය මන්ධාතෘ පුර යැයි කියනු ලැබේ.
කුරරඝර
මේ නගරය අවන්ති රටට අයත් බව මිස කිනම් පැත්තෙකැ පිහිටියේ දැ යි අවිනිශ්චිත යි. මෙහි වුසූ කාලි නම් තැනැත්තිය මුලින් ම මේ සස්නෙහි සෝවාන් වූ උපාසිකාව යි. ඇගේ පුත්‍ර වූ සෝණකුටිකණ්ණ තෙම භාග්‍යවතුන් වහන්සේ ගෙන් තනතුරු ලත් මහා ශ්‍රාවකයෙකි.
වේදිසා
මෙය මාහිස්සති නුවර සිට සැවැත් පුරට යන මහා මාර්ගයෙහි චේත්‍රවතී නදී තීරයේ වූයේ ය. සැරියුත් මුගලන් යන දෙඅගසව්වන් වහන්සේ ගේ ධාතු නිදන් කොට කරවන ලද චෛත්‍ය දෙක මේ සමීපයෙහි ය. අශෝක රජු ගේ පළමු බිරින්දෑ මෙහි කුමරියකි.
ගෝනද්‍ධපුරය
මෙය උජ්ජෙනි වේදිසා යන දෙනුවර අතරැ වී ය.