1. අංග රට

අංග ජනපදය මගධ දේශයට නැඟෙනහිරින් පිහිටියේය. චම්පා නදිය එ දෙරට අතර සීමාව විය.

චම්පා පුරය

අංග ජනපදයේ අගනුවර චම්පා පුරය යි. එය පිහිටියේ චම්පා නදිය ගංගා නදියට වැටුණු ස්ථානය කිට්ටු ව ය. පවුරු පදනම් ආදි සියලු නගරාංගයන්ගෙන් සමන්විත වූ මෙය ඉතා පූර්වයෙහි මාලිනී, කාලචම්පා යන නම්වලින් ප්‍රකට වැ පැවැත්තේ පසු කාලයෙහි චම්පා පුර යැ යි වැහැරැවිණ. මෙහි සිට ස්වරණභූමියට නැවින් යන වෙළෙඳුන් කරන කොටැ වෙළඳාම අතින් ද මෙය ප්‍රසිද්‍ධියක් ඉසුලූයේ ය. මෙයින් කොචින් චීනයට ගොස් පදිංචි වූවන්ගේ ඒ (පදිංචි වූ) භූමියට ද චම්පා යන නම පසු කාලයෙකැ ව්‍යවහාර විය. බුද්‍ධ කාලයෙහි දඹදිවැ වූ මහා නගර සයෙන් චම්පා පුරය එකෙකි. මෙහි ගර්ගරා නම් මෙහෙසියක කෙරැවූ ගර්ගරා නම් පොකුණ ගැන ද මෙය ප්‍රසිද්‍ධ වැ පැවැත්තේ ය. මේ නගරය වූ භූමිභාගයෙහි කොටසෙකැ චම්පාපුර චම්පා නගර යන නමින් කුඩා ගම් දෙකෙක් දැන් ඇත්තේ ය. එ ගම් පිහිටා ඇත්තේ භගලපූර් සමීපයෙහි චාන්දන් නදී තීරයේ ය. චාන්දන් යනු පුරාණ චම්පා නදියට දැන් ව්‍යවහාර නාමය යි. බුද්‍ධ කාලයෙහි මෙහි ඡාත්‍රයන් 300 ක් සහිත වූ සෝණදන්ඩ නම් බමුණු ඇදුරෙක් රාජ පූජිත වැ විසී ය.

කජංගලා

මෙය බෞද්‍ධ මධ්‍යදේශයේ නැඟෙනහිරැ සීමා ස්ථානය යි. මෙහි මහා ශිෂ්‍ය පිරිසක් සහිත වූ පාරාසරිය නමින් ප්‍රකට බමුණෙක් විසී ය. චම්පා පුරැ සිටැ මෙයට දුර සැතැපුම්[1] ස-සැටක් පමණ වේ. මැදුම් සඟියේ අන්තයෙහි සඳහන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය වදාළේ මෙහි දී ය. මෙහි බොහෝ උපාසකයෝ වූ හ.

උග්ග පුර

මෙහි ප්‍රධාන සිටුහුගේ පුත්‍රයාට අනාථපිණ්ඩික සිටුහුගේ දූ වූ චුල්ල සුභද්‍රා විවාහ කොටැ දෙන ලද්දී ය. ජෛන ලබ්ධික මුළු සිටු පවුල මැ ඇගේ මගින් බෞද්ධෝපාසක විය.

අස්ස පුර

මේ නිගමයෙකි. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ මහා අස්සපුර සුත්ත, චූල අස්සපුර සුත්ත දෙක දෙසූ සේක.

අංගුත්තරාප දනව්ව

අංගුත්තරාප ජනපදය අංග රටෙහි වූ විශාල පළාතෙකි. මෙය එරට මැදින් ගලා යන මහා මහී නදියෙන් උතුරු පැත්තේ පිහිටියේ ය. මෙහි නගර අතුරෙන් අංගුත්තරාප නගරය, ආපණ නගරය, භද්දිය නගරය යන මොහු බුද්‍ධ කාලයෙහි ප්‍රසිද්‍ධ වැ පැවැත්තෝ ය. ඉන් ආපණ පුරය විශාල වෙළඳාම් පලෙකි. භද්දිය නුවර මහ සිටුවරුන්ගේ වාසස්ථානයකි. සාමාවතී, විශාඛා යන දෙදෙනාගේ ජන්ම භූමිය මේ භද්දිය පුරය යි. බුදු වූ වර්ෂයේ දී භාග්‍යවතුන් වහන්සේ අංගරට අංගුත්තරාපයෙහි සැරිසරන සේක් භද්දිය පුරයට වැඩිසේක. එකල සත් හැවිරිදි වූ විශාඛාව භාග්‍යවතුන් වහන්සේ දුටු ඒ ප්‍රථම වාරයේ දී මැ බණ අසා සෝවාන් වූවා ය. භද්දිය පුරයෙහි ජාතියා වන නම් උයනෙක් විය. බුදුරජාණන් වහන්සේ එහි ද වැඩ වුසූ සේක.

  1. මෙහි සැතැපුම් යැ යි ව්‍යවහාර කොට ඇත්තේ ඉංග්‍රීසි “මයිල්” එකටය.