5. වජ්ජිරට

star_outline

වජ්ජි (වෘජ්ජි) රට වජ්ජි, විදේහ, ලිච්ඡවී, නාතික ආදි ගෝත්‍ර අටෙක ක්‍ෂත්‍රියයන් ගේ සමානචජන්දයෙන් පාලිත වි ය. ඔවුන්ගෙන් විදේහ ලිච්ඡවි ගෝත්‍ර දෙකෙහි වූවෝ සෙස්සනට වඩා ප්‍රකට වූ බලවත්තු යැ යි හැඟේ. මෙයින් ලිච්ඡවීන්ගේ ප්‍රධාන නගරය වේසාලි (වෛශාලි) පුරය යි. විදේහයන්ගේ ප්‍රධාන නුවර මිථිලාව යි. නාතිකයන්ගේ අගනුවර කුන්දපුර (කුන්දග්‍රාම) ය යි. අන් ගෝත්‍රවලැ වූවන්ගේ ප්‍රධාන නගර පොතකින් නො පෙනේ. බුද්‍ධ කාලයේ දී විසාලා පුරය ඒ සියලු ම වජ්ජි රටේ අග්‍ර නගරය වී ය. වජ්ජි ජනපදයේ සීමාවෝ කවරහු දැ යි නො පැනේ. මෙහි සමූහ ආණ්ඩුවක් පැවති බව හැඟේ.

වේසාලි පුරය

මේ වජ්ජි ජනපදයේ අගනුවර යි. වජ්ජිගාම යැ යි ද මෙයට නම් වී ය. ගංගා නදියෙන් තුන් යොදුනකින් ඈත උතුරු දිගැ පිහිටියේ ය. රජගහ පුරය මින් යොදුන් අටෙකින් මෑතැ ගංගා නදියෙන් දකුණු දිගැ පිහිටියේ ය. මේ නුවරට පිටි පසැ මහාවනය හිමාලය තෙක් පැතිරැ පැවැත්තේ ය. එහි භාග්‍යවතුන් වහන්සේ පිණිස කූටාගාරශාලා නම් විහාරයක් කරවා තුබුණේ ය. භාග්‍යවතුන් වහන්සේ පස්වන වස වුසූයේ එහි ය. මෙ නුවර වටේ ගව්ව බැගින් එකිනෙකට ඈත් වූ ප්‍රාකාර වලලු තුනෙක් විය. ලිච්ඡවි රජහු 7707 දෙනෙක් විශාලා පුරයෙහි මැ නැවැතී රාජ්‍ය පාලන කටයුතුවල යෙදුණහ. මේ නගරය සමීපයේ උදේන චේතිය, ගෝතමක චේතිය, සත්තම්බ චේතිය, සාරන්දද චේතිය, චාපාල චේතිය යන චෛත්‍ය ස්ථානයන් හි ද, අම්බපාලි වනයෙහි ද භාග්‍යවතුන් වහන්සේ වුසූ සේක. මෙය වර්තමානයෙහි ගණ්ඩකී නම් නදිය අද්දරැ වූ බෙසාර් නම් පුරය යි.

බේළුව ග්‍රාමය

භාග්‍යවතුන් වහන්සේ අන්තිම වස වුසූ ස්ථානය මෙය වේ. මෙය පිහිටියේ වෛශාලි පුර සමීපයේ ය. මේ වේණුව ග්‍රාම නමින් ද සංස්කෘත බෞද්‍ධ පොත්හි සඳහන් වේ. භාණ්ඩග්‍රාමය ද වජ්ජි රටෙහි ගමෙකි.

කෝටි ග්‍රාමය

මෙය "කුන්දග්‍රාම, කුන්දපුර" යන නම් වලින් ද ප්‍රකට වී ය. විසාලා පුර ළඟ පිහිටියේ ය. නාතික (ඥාතික) ගම් දෙකින් මේ කෝටි ග්‍රාම ය එකෙකි. නිගණ්ඨනාතපුත්තයාණන්ගේ පියා වූ සිද්‍ධාර්ථ ක්‍ෂත්‍රිය තෙම මෙහි ආධිපත්‍යය දැරූයේ ය.

කොල්ලාග (නාතික)

බෞද්‍ධ පොත්හි නාතික නමින් ව්‍යවහාර වන්නේ මෙය විය හැකි ය. මේ කුන්ද ග්‍රාමය හැර ඥාතිකයන්ගේ අන් (දෙවෙනි) ගම යි. මෙහි ගිඤ්ජකාවසථ (උළු සෙවිලි කළ ගෙය) නමින් කරවා තුබුණු විහාරයෙහි භාග්‍යවතුන් වහන්සේ වුසූ සේක. ගෝසිංග සාලවනදාය මෙයට නො දුරෙහි වී ය.

මිථිලා

මෙය පුරාතනයෙහි විදේහ දේශයේ අගනුවර ව බලසම්පන්නව පැවැත්තේ ය. පසු කාලයෙකැ විදේහ ලිච්ඡවි ආදීන් එක් ව සමූහ ආණ්ඩුවක් පිහිටුවා ගත් තැන් පටන් වෛශාලි පුරය ප්‍රධාන නගරය වූයෙන් මිථිලාව එයට දෙ වැනි වූ (විදේහයන්ගේ ප්‍රධාන නුවර) වී ය. නේපාල සීමාවේ දැනට තිබෙන ජනක් පූර් නම් කුඩා ගම පුරාණ මිථිලා පුරය වූ භූමි භාගයෙන් පසෙකැ වී යැ යි පැරැණි තතු සොයා බැලූ සමහර උගතුන් ගේ මතය වේ. දියුණු වී පැවැති කාලයෙහි මෙහි ප්‍රමාණය වටින් සත් යොදුනක් පමණ වී ය. මෙහි ද භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක.

ධම්ම කොණ්ඩ පුරය

මෙය විදේහ රට මැදැ පර්වත රටේ (කඳුකර පෙදෙසේ) මහී නදී තීරයේ පිහිටියේ ය. ධනිය නම් ගොපල්ලාට අනුග්‍රහ පිණිස බුදුරජාණන් වහන්සේ මෙහි වැඩිසේක. දැන් මෙය ධාම් කොණ්ඩ නමින් ප්‍රකට ය.

විශේෂ කරුණු

ප්‍රබල ව පැවැති වජ්ජි ජනපදය භාග්‍යවතුන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් තුන්වන වර්ෂය පමණේ දී අජාතශත්‍රැ රජහු විසින් ගන්නා ලදී. එය එ තන් පටන් මගධ දේශයට යටත් පළාතෙක් වී ය.

ආගම්

භාග්‍යවතුන් වහන්සේ පහළවන්නට සියවස් කිහිපයකට පෙර පාර්ශවනාථ නම් ජෛන ශාස්තෘහුගේ කාලයේ පටන් ලිච්ඡවී රටෙහි ජෛන සමය පැතිරැ පැවැත්තේ ය. නිගණ්ඨනාතපුත්තයන් පහළ වූ පසු වඩාත් ඒ පැතිර ගියේ ය. මෙයට වැඩියෙනුත් හේතු වූයේ නිගණ්ඨනාත පුත්තයන් එහි සම්භාව්‍ය ක්ෂත්‍රියයකු වීම යි.

ලිච්ඡවි රාජ පරම්පරාවෙහි ඥාත (නාත) පෙලපතේ එවකට අධිපතිව සිටි කුන්ද (-කෝටි) ග්‍රාමවාසී සිද්ධාර්ත්ථ නම් ක්ෂත්‍රියයාගේත් තද්භාර්‍ය්‍යා වූ විදේහදත්තා (ත්‍රිශාලා) නම් (වේතක් ලිච්ඡවි රජු දූ වූ) ක්ෂත්‍රියාණියගේත් පුත්‍ර වර්ධමාන මහාවීර යන නමින් ප්‍රකට නිර්ග්‍රන්ථඥාත පුත්‍රයා (නිගණ්ඨනාත පුත්තයා) එ සමයෙහි පහළ වැ මහා ශ්‍රාවක පිරිසක් ඇති වැ සිටි ජෛන ශාස්තෘවරයා යි.