6. මල්ල ජනපදය

බටහිරින් ශාක්‍ය ජනපදය ද, දකුණින් වජ්ජි රට ද මල්ල ජනපදයේ සීමා යි. මෙහි වැසියෝ භක්තිමත් බෞද්‍ධයෝ යි. මල්ල රජුනට වාසෙට්ඨ යන නමෙක් ද විය. මේ මල්ල රජුහු ඔක්කාක රාජවංශයට අයත් වූවෝ ය. පුරාතනයෙහි රාජාංඩුවක් පැවැති මේ රටෙහි පසු කාලයෙහි (එනම් මගධ රට භට්ටිය රජ ආණ්ඩු කරන කාලයෙහි) මල්ල රජුන් විසින් සමූහ ආණ්ඩුවක් පිහිටුවන ලදී. මල්ල ලිච්ඡවී යන රටවල් සමීප බැවින් නොයෙක් විටැ ඔවුන් ගේ සතුරු මිතුරුකම් ඇති වී ය. බන්ධුල නම් කොසොල් රජුගේ සේනාපතියා මල්ලරාජ වංශිකයෙකි. ඔහු විසින් ලිච්ඡවි රජුන් 500 ක් මරා දමන ලද බව භද්දසාල ජාතක කථා ආදියෙහි පැනේ.

කුසිනාරා

මෙය බුද්‍ධ කාලයෙහි කුඩා නගරයෙක් ව පැවැත්තේය. කුසිනාරා ඉන් බොහෝ පෙරැ කුසාවතී නමින් දියුණු අඩියකැ පැවැති නුවරෙකි. මෙය හිරණ්‍යවතිය (හෙවත් අචිරවතියේ නැගෙනහිර කොටස) ගණ්ඩකි නදිය හා එක් වූ තන්හි පිහිටියේ ය. දැන් නේපාලයට අයිති යි. වර්තමානයෙහි ගෝරක්පූර් නම් පෙදෙසේ නැගෙනහිර පැත්තේ වූ කුසී නගරය මේ කුශාවතී (හෙවත් කුසිනාරා) පුරය යි. මෙහි වූ පරිනිර්වාණ චෛත්‍යය නොබෝදා සොයා ගන්නා ලදී. එහි එක් තඹ තහඩුවෙක “පරිනිර්වාණ චෛත්‍ය තාම්‍රපට්ට ඉති” යන වාක්‍ය සඳහන් වී ය. මේ නගරයෙහි හිරණ්‍යවති නදිය අද්දර වූ උපවත්තන නම් රාජශාලවනයෙහි දී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක.

පාවා

මෙය බුද්‍ධ කාලයෙහි මල්ල රජුන්ගේ අගනුවර යි. මෙහි නුවර මැද උබ්භතක නමින් සන්ථාගාර සාලාවක් මල්ල රජුන් ගොඩ නංවා නිමැ වූ කාලයෙහි ද භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩි සේක. මල්ලයන් ගේ ආයාචනා පිටැ පළමුයෙන් ම එය පරිභෝග කළ සේක. ඒ කාලයෙහි දී ම පාවා පුරයේ දී නිගණ්ඨනාථපුත්තයා මළේ ය. ඔහු ගේ අතැවැසියෝ නිර්ග්‍රන්ථධර්මය ගැන නානා මත පහළ කරමින් ආරාවුල් කරන්නට වූහ. මෙය ඇසූ සැරියුත් තෙරණුවෝ, භාග්‍යවතුන් වහන්සේ ගේ අවසර පිට භික්ෂූනට දම් දෙසනුවෝ, බුද්‍ධ වචනය ගැන භික්ෂූන් ගේ මත භේදයක් නොවනු පිණිස මුළු බුද්‍ධ වචනය පිඬු කොට සංගීති සුක්තය දෙසූහ. මේ පාවා නගරයේ මැ චුන්දකර්මාර පුත්‍රයා ගේ අඹවනයෙක් ද වී ය. එහි ද භාග්‍යවතුන් වහන්සේ කලින් කල වුසූ සේක.

අනුපිය නගරය

මෙය අනෝමා නදී තීරයේ පිහිටි මල්ල රට කුඩා නුවරෙකි. මෙයට අනුපිය නිගම යැ යි ද නම් විය. මෙහි මල්ලයන් ගේ අඹ වනයෙක් වී ය. බුදු වූ අළුතැ භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩි සේක. භද්දිය, අනුරුද්‍ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත, උපාලි යන සත් දෙන අවුත් පැවිදි වූයේ බුදුරජුන් ඒ අනුපිය අඹ වෙනෙහි වසද්දී ය. දබ්බමල්ල තෙරුන් වහන්සේ ගේ ජාතභූමියත් මේ නගරය යි.

කිඹුල්වතැ පටන් මෙ පුරය තෙක් දුර යොදුන් 30 කි. ගෝරක්පූර් පෙදෙසේ වූ අඋමි නමින් දැන් ප්‍රකට නදිය අනෝමාව යි.