ගමන මාර්ග

star_outline

දඹදිව ඉතා දීර්ග මාවත් කීපයෙක් සඳහන් වෙත්.

උතුරැ සිට නිරිත දිගට වූ මාර්ග : සැවැත් නුවර සිට පතිට්ඨාන නුවර තෙක් පිහිටියේ ය. ඉන් එහා තවත් දකුණු අතට එය පිහිටි නො පිහිටි බවෙක් අපේ පොතෙකින් නො පැනේ. මෙහි අතරැ වූ ප්‍රධාන නවාතැන් පළවල් නම් සාකේත, කෝසම්බි, වේදිසා, ගෝනද්‍ධ, උජ්ජේනි, මාහිස්සති යන නගරයෝ යි.

උතුරැ සිට ගිනිකොන (දකුණු - නැගෙනහිර) අතට වූ එක් මාර්ගයෙක් සැවැත් පුර සිට රජගහ නුවර තෙක් ද, ඉන් ගයාව තෙක් ද වීය. මෙහි නොයෙක් තැනැ නදීන් පසු කරැ යෑ යුතු ය. මෙහි අතර ප්‍රධාන නවාතැන් පළවල් නම් (සැවැත පටන්) සේතව්‍යා, කපිලවාස්තු, කුසිනාරා, පාවා, හස්ති‍ග්‍රාම, භාණ්ඩග්‍රාම, වේසාලි, පාටලීග්‍රාම, නාලන්දා, රාජගෘහ, ගයා යන මොහු යි.

බරණැස සිට තාමලිත්ති පටුන දක්වා ගයාව පසු කරැ යන තවත් මාර්ගයෙක් වී ය. මෙය ද උතුරැ සිට ගිනිකොණ දක්වා වූයේ ය. නැගෙනහිරැ පටන් බටහිරට දියෙන් යෑ යුතු විය. එ ගමන ගංගා නදිය දිගේ ඉහළට යාත්‍රා කොට සහජාත තොටුපළ ළඟදී යමුනා නදියට වැද බටහිර අතට කොසැඹෑ පුර තෙක් යෑ යුතු විය. කොසැඹෑ පුරැ සිට යමුනාව දිගේ පහළට (නැගෙනහිරට) යාත්‍රා කැරැ ගංගා නදියට වැදැ බටහිරට එය දිගේ ගොස් මුහුදට පැමිණ මූදු වෙරළ සමීපයෙන් යාත්‍රා කොට ස්වර්ණ භූමියට (බුරුමයේ දැන් ථාටෝන් නම් වූ පළාතට) වෙළෙඳුන් ගේ යාත්‍රා කිරීම ද වූ බව පෙනේ.

වේරංජාපුර සිට බරණැස දක්වා වූ දීර්ඝ මාර්ගයේ ප්‍රධාන ස්ථානයේ සෝරෙය්‍ය, සංකස්ස, කඤ්ඤකුජ්ජ, පයාගපතිට්ඨාන (මෙහිදී ගංගා නදියෙන් එගොඩ විය යුතුයි.), බරණැස් යන නගර ග්‍රාමයෝ යි. විදේහ රටින් ගන්ධාරයට ද, මගධයෙන් සෝවීර රටට ද මහා මාර්ග විය. ඒ මාර්ග දෙක්හි වාලුකා කාන්තාරයන් පසු කළ යුතු බව ද පෙනේ. එ වැලි බිමැ යන විට රාත්‍රියෙහි ම යෑ යුතු වේ. එ ගමනේ දී තාරකා ලකුණින් මඟ පෙන්වන නියාමක පුරුෂයෝ ද ආවශ්‍යක වූ හ..

භාරුකච්චය පටන් කොට ඉන්දියාවේ වෙරළ සමීපයෙන් යාත්‍රා කොට සුවර්ණ භූමියට යන තවත් සමුද්‍ර මාර්ගයෙක් වී ය. බබිලෝනියට ද දඹදිවින් ඇත්දත් ආදී අගනා දෑ නැව්වල පටවා ගෙන ගිය බව බෞද්‍ධ පොත්වලින් ද ඉතිහාසයෙන් ද පැනේ. බබිලෝනිය බෞද්‍ධ පොත්හි බාවෙරු රට යැ යි කියන ලදී.