මෙය දඹදිව උත්තරාපථයේ පිහිටියේ ය. කාශ්මීර රට ද මෙයට ඇතුළත් විය. බුද්‍ධ කාලයෙහි පුක්කුසාති නම් රජෙක් මෙය ආණ්ඩු කෙළේ ය. හෙතෙම බිම්සර රජු ගේ මිත්‍රයෙකි. පසු කලැ භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් බණ අසා අනාගාමි වී ය.
උක්කල පුරය
මෙය උත්තරාපථයෙහි නගරයෙකි. පුෂ්කරවතී නුවර මෙයට සමීප යැ යි සිතියැ හැකි ය. මෙහි තපුස්ස භල්ලික දෙදෙන සර්වඥ කේශධාතු නිදන් කොට චෛත්‍යයක් කළහ. බංගාලය වරාය අද්දරැ පිහිටි ඔරිස්සා පුරයට ද උත්කල යැ යි නමෙක් වේ.
තක්ෂශිලා පුරය
තක්ඛසිලා (තක්සලා) පුරය ගන්ධාරයේ අගනුවර යි. බුදුරජාණන් වහන්සේ මෙහි වැඩි බවක් පොතකින් නො දුටුමු.
පොක්ඛරවති පුරය
පුෂ්කරවති නුවර සින්ධු නදියේ අත්තක් වූ සුවාස්තු නදිය අද්දරැ පිහිටියේ ය. තපුස්ස භල්ලික දෙදෙනා මෙහි සාර්ථවාහකයකු ගේ පුත්‍රයෝ යි.
අසිතඤ්ජන
මෙය පොක්ඛරවතී පුර සමීපයේ වී යැයි හැඟේ. තපුස්ස භල්ලික දෙදෙනා ගේ ජාත භූමිය යි.
විශේෂ කරුණු
පුක්කුසාති රජ පැවිදි වූයේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ අළුතයි. එයින් පසු කවරෙක් රජ වී දැ යි බෞද්‍ධ පොතක නො පෙනේ. නග්ගති (නග්නජිත්) නම් රජකු එහි නිගණ්ඨනාතපුත්තයාට සම කාලයෙහි වූ බවත් ඔහු නිගණ්ඨ සමය පිළිගත්තකු බවත් ජෛන පොත්වලින් පෙනෙන බැවින් පුක්කුසාති රජුගෙන් පසු නග්නජින් රජ වූ යේ යි සිතීමට ඉඩ තිබේ. නිර්ග්‍රන්ථ ඥාතපුත්‍ර ධර්මයේ පොතක් වූ උත්තරාධ්‍යයන සූත්‍රයෙන් පංචාලයෙහි විමුඛ රජ, විදේහ රට නමි රජ, කාලිංගයෙහි කරකණ්ඩු රජ යන තුන් දෙනා නිගණ්ඨනාත පුත්තයාණන් සරණ ගිය බව පෙනේ.