අස්සක (අශ්මක) ජනපදය ගෝධාවරී මාහිස්සති (හෙවත් නර්මදා) යන දෙ නදීන් අතරැ පිහිටියේ ය. මේ සමීපයේ ම (ගෝධාවරියේ අනිත් තීරයේ) මූලක ජනපදය වි ය. මේ දෙරට ම ආන්ධ්‍ර තෙලිඟු රජහු රජය කරවූහ. මෙ රටවල් දක්ෂිණාපථ (දක්ෂිණ ජනපද) යට අයත් හ.
පෝතන හෙවත් පෝතලි
කාලිංග දේශය ද මූලක රට ද බුද්‍ධ කාලයේ අස්සක ජනපදයට යටත් ව පැවති බව පෙනේ. පෝතන පුරය සංස්කෘත පොත්හි පෞදන්‍ය යැ යි කියන ලදී. මේ අස්සක රටේ අගනුවර යි.
පතිට්ඨාන
පතිට්ඨාන පුරය මූලක රටේ අගනුවර යි. ගෝධාවරී නදී තීරයේ පිහිටියේ ය. මෙයට දැන් පෛතාන් යැ යි කියනු ලැබේ. ග්‍රීක ඉතිහාසයෙහි බෛතානා යි කියන ලදී.
විශේෂ කරුණු
අලහබාද් පෙදෙසේ දැන් ප්‍රයාග නම් වූ පුරය ද පෙර පතිට්ඨාන නම් විය. මෙහි වෙන නගර ග්‍රාමාදියක් ගැන පෙළ අටුවාවලැ නොදුටුමු. ගෝධාවරී නදිය දෙකට බෙදී ගලන තැන යොදුන් තුනක් පමණ වූ අතුරු දූපතෙක් වූයේ ය. කොසොල් රජු ගේ පුරෝහිත බාවරී බමුණු තෙම එහි අවුත් අසපුවක්[1] කොට තවුස්දම් රැක්කේ ය. බුදුරජාණන් වහන්සේ පහළ වූ පසු හෙතෙම එ පවත් අසා අජිත, තිස්ස, මෙත්තෙය්‍ය, පුණ්ණක, මෙත්තගු, ධෝතක, උපසීව, නන්ද, හෙමක, තෝදෙය්‍ය, කප්ප, ජතුකණ්ණි, භද්‍රාවුධ, උදය, පෝසාල, මෝඝරාජ, පිංගිය යන ශිෂ්‍යයන් භාග්‍යවතුන් වහන්සේ දක්නට එවී ය. උතුරු ජනපදයට එන ඔහු පතිට්ඨාන, මාහිස්සති, උජ්ජේනි, ගෝනද්‍ධ, වෙදිසා, වනසාවත්ථි, කොසම්බි, සාකේත, වෙසාලි, රාජගහ යන මේ නගරයන් පසු කොටැ මාගධ ක්ෂේත්‍රයෙහි පාෂාණක චෛත්‍ය විහාරයෙහි වැඩ උන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියෝ ය. දන්ත පුරය ද අස්සක රටේ වී යැයි සිතිය හැකි.
-
මෙය කපිත්ථ තිත්ථාරාම නම් විය. ↑