3. ධ්‍යාන භාවනා හා මාර්ග භාවනා

ධ්‍යාන භාවනා

භාවනාවෙකින් අත්පත්කර ගනු ලබන ප්‍රතිඵලයනට සිත්යොමු කිරීමෙන් මේ ධ්‍යාන භාවනා හා මාර්ග භාවනා යන නම් දෙක යොදනු ලබන බව පෙනෙයි. ඇත්ත වශයෙන් ම මේ ඈතින් දිස්වෙන ප්‍රයෝජනයන් හැර ඉතා ළඟින් ම ද, ඉක්මනින් හා පහසුවෙන් ලැබෙන ප්‍රතිඵල -ආනිසංස රැසක් භාවනාව තුළ තිබෙන බව අප විසින් තේරුම් කරගෙන තිබිය යුතුය. ඔබ භාවනාවේ යෙදෙතොත්, බවුන් වඩතොත්, ඔබ අවට සිටින්නවුන්හට ද මෙය හඬ නගා කියනු ඇත. යනු මගේ තද විශ්වාසය යි.

ඔව්, ඔබ නොයෙක් විදියේ දේ වලට සිත යොදාගෙන වෙහෙසින් පෙළි පෙළී ගතකළ කාලය මතක ඇත. මොලය නරක් කර ගෙන, තද දැවිලි තැවිලි නො සැනැසිලි නිසා වින්දාවූ ද විඳින්නා වූ ද බලවත් ව දිග්ගැසී ගිය පීඩාකාරී දුක් වේදනා මතක ඇත. මේ පීඩාකාරී තත්ත්වයට ඔබ පත්වූයේ නිකම්ම නොවේ. හේතුවක් ඇතිව ය. මේ හේතුව නම් තමාගේ සිත කෙලෙස් කසළට යට කරගෙන දැඟලූ දැඟලිලි බව කෙටියෙන් පවසන්නට පුළුවනි.

මේ වචන ටිකෙහි අදහස ඔබට පැහැදිලි විය යුතුය. මේ වෙනුවෙන් තවත් මඳක් සැසැඳිල්ලක් දෙන්නෙමි. ඔබ ඔබේ සිත්ගත් දෙයක් පස්සේ තමාගේ සිත බොහෝ වේලාවක් ධාවනය කරවූ බව මතක්කර බලන්න. එය තමාට සම්බන්ධකර තබා ගැනීමට මහන්සි ගත්තා. එයට අනුන්ගෙන් පලුදු වෙන විට සිතේ ගැටුම් පහළ වුනා. එය දික්ගැස්සීමෙන් විවිධ කලහ, දබර, ශාරීරික පීඩා, මානසික පීඩාවලට අහුවුනා. අන්තිමට ජීවිතහානිවලට ද හේතු වෙන හැටි සලකන්න. මේ විපත් රැසකට ගොදුරු වූයේ සිත තැන්පත්කර නොගැන්ම හේතුවෙන් බව සලකාබලන්න. තවත් කෙටියෙන් සිතා ගැනීමට ඔබට කරුණක් ඉදිරිපත් කරමි. සිත යොමු කරන්න.

ඇසට හමුවෙන ප්‍රිය වස්තු පස්සේ සිත ගමන් කරනවා. දුවනවා, මෙසේ ම ප්‍රිය හඬ පස්සේ ද, රස, සුවඳ පස්සේ ද දුවනවා. එකෙකින් හෝ ඔබට නැවැතීමෙක් නැති සිතිවිලි සාගරයක වැටී නළියන ස්වභාවය නොවේ ද මේ සිදුවීම රැස? පැණි හැලියක දඟලන ඇඹලයා දෙස බලන්න. සිත යොදන්න.

මෙබඳු අවස්ථාවල දී අර ඇඹලයාගේ තත්ත්වය තේරුම් ගෙන එබඳු අවස්ථාවනට නො වැටී, ඉදිරිපත් වන දේ ගැන තරමක් නැවැතී සිත නවත්වා ගෙන, සිත යොමුකරන්නට සිතට ගන්න. අධ්‍යාත්මයට - (සිය සිරුරට) සිත නමන්න. තැන්පත් වී හිඳගන්න. තමාගේ හිසේ පටන් දෙපතුල දක්වාත්, දෙපතුල පටන් හිස දක්වාත් සිත ගමන් කරවන්න. මෙය කීපවරක් කරන්න.

මේ පිළිවෙළට සිත යොදාගෙන සෑහෙන වේලාවක් (මිනිට්ටු 10-15 පමණ) කාලය ගතකරන විට සිතේ තැන්පත් කමක් සැලසෙයි. මීට කලින් නොතිබූ සැනසිලි ගතියක් දැනෙයි. ප්‍රීතියක් දැනෙයි. සතුටක් දැනෙයි. නොයෙක් විදියේ විනෝදාංශවල යෙදුණු ඔබට කිසිදාක විදියේ සැනසිල්ලක් ප්‍රීතියක් සතුටක් නොලැබුණු බව ඔබට ම සිහිවනු ඇත. එබඳු අවස්ථාවලදී ලැබුණු තාවකාලික සැනසිලි ආදිය මකාගෙන පහළවූ චිත්ත විකාර නිසා එයින් කිසිදු ස්ථිර සැනැසිල්ලක් සිදු නොවන සැටි නුවණින් සලකන ඔබට වැටහී යා යුතු ය. අධ්‍යාත්මික චිත්ත සංවර්ධන ක්‍රමයන් අනුව සලකන කල්හි මේ දැක්වුණේ අතිශය ලේශ මාත්‍රයෙකි[1].

1. බුදුරජාණන් වහන්සේ වැනි, මුළු ලෝකධාතුව තුළ ශාන්ති රසය පතුරුවා නොයෙක් අතින් දෙවියනට, මිනිසුනට පමණක් නොව, නරරකුසනට හා තිරිසන් සතුන්හට ද නොනැසෙන සැනසිල්ලක් සාදා දුන් උතුමෙකුගේ අරහාදී ගුණයන් තමන්ගේ සිත් තුළ රඳවාගෙන විසීමේ ක්‍රමය වූ බුදුගුණ භාවනාව පුරුදු කිරීමෙන් ඉතා උසස් වූ සැනසිල්ලක් ලැබෙන බව අත්දැකීම් අනුව ඔබ ඉදිරියෙහි තැබීමට හැකිව තිබේ. (පිටු 56-61 බලනු)

2. ඔබ සිතට කරදර කරමින් නර රකුස් ගති, තිරිසන් ගති නිතර නිතර මවා පානා, වෛර ක්‍රෝධ තරහ, දුක් දොම්නස්, ඊර්ෂ්‍යාදී දුර්ගුණයන් නිවාලමින් සිත් සතන් සනසා, ආත්මාර්ථකාමීකම් මකාගෙන ලොව ඇති සැමදෙනා එක ගෙදර වසන සම අදහස් ඇති නෑදෑ මිතුරු පිරිසක් බවට හරවා සැළැකීමේ ක්‍රමය වූ මෛත්‍රී භාවනාව පුරුදු කිරීමෙන් ලබාගත හැකි සැනැසිල්ල ගැන ඔබ සිත් සතන් යොමු කරන ලෙස මතක් කරන්නේ අප්‍රමාණ මෛත්‍රියෙකිනි. (පිටු 62-68 බලනු.)

3. සිරුරු කූඩුව පිළිබඳව පවත්නා ඡවිරාගය, වර්ණ රාගය, සංස්ථාන (ශරීර අවයව පිහිටීම පිළිබඳ) රාගය, නිසා පහළ වන ශුභ හැඟීමෙන් මත් වී සිදුවෙන නොසැනසිලි ගතියෙන් සිත වෙන් කොට සැනසිලි සලසා ගැනීම සඳහා අසුභ භාවනාවේ (පිළිකුල් භාවනාවේ) යෙදීම ඉතාමත් ප්‍රයෝජන සහිත බව මතක් කරදෙමි. (පිටු 68-71 බලනු.)

4. ප්‍රමාදය හැම පිරිහීමකට ම මුලය, හැම විපතකට ම දොරටුව ය. ඒ ප්‍රමාදයෙන් වෙන්වී අප්‍රමාද ප්‍රතිපදාව සලසා ගැනීම සඳහා මරණ සතිය වැඩීම මැනවි. එයින් ඔබට මහත් සැනසිල්ලක් සැලැසෙනු ඇත. (පිටු 71-73 බලනු.)

5. තවත් ඉදිරියට ඔබේ සිත් සතන්හි හොඳින් නිවීමක් සැනසිල්ලක් සැලැසෙන සැටි මතුකර දැක්වීමට මා උත්සාහ දරන්නේ “මුළු සත්ත්ව සංහතියට ම උසස් ප්‍රයෝජනයක් සැලැසෙනවා ඇත.” යන නිරාමිෂ ප්‍රාර්ථනාව උඩබව සලකනු ලැබේවා.

රූප කාමය, ශබ්ද කාමය, ගන්ධ කාමය, රස කාමය, ස්පර්ශ කාමය, විතර්ක කාමය යන පිළිවෙළේ කාම සංකල්පනාවේ වැටී පීඩා විදීම්, ක්‍රෝධ-පර-හිංසාදී අවේගයන්ගෙන් මතුවන පීඩා විදීම්, සිතේ කයේ අකර්මණ්‍යතා[2] නිසා පහළ වන අලාභ සිතේ නොසන්සුන්කම් හා විචිකිච්ඡාවන් නිසා පහළවන පාඩු ද මග හරවාගෙන කොටින් කියතොත් සිත නීවරණයන්ගෙන් වෙන් කරගෙන විසීමෙන් ලැබෙන මුල් ධ්‍යාන සිත උපදවා ගෙන වාසය කිරීමේ දී ඔබට වින්දනය කළ හැකි වනුයේ ඉතා ඉහළ පන්තියේ සැනැසිල්ලකි. දෙවන, තුන්වන හා හතරවන ධ්‍යානයන් උපදවා ගතහොත් ඊටත් වඩා උසස් සැනැසීමක් අත්පත් කරගත හැකිවනු ඇත.

අනු මාතෘකා
keyboard_arrow_rightධ්‍යාන චිත්තය
  1. සුළු ප්‍රමාණයක්

  2. වැඩෙහි යෙදිය නොහැකි බව