ලද සමාධියේ දී පිළිපදින සැටි

මෙසේ පරිපන්‍ථ ධර්මයන්ගෙන් සිත්සතන් පිරිසුදුව තබාගෙන නිතර සමවැදිය යුතුය. සමවැදීම නම්, ලද ධ්‍යාන චිත්තය ලබාගෙන සිත් පැවැත්වීමය. මීළඟට වැඩිය යුතු කසිණයෙන් ලද සමාධි නිමිත්ත වැඩිය යුතුය. මෙම වැඩීමට සුදුසු අවස්ථාවෝ දෙදෙනෙකි. එනම්, උපචාර භූමියේදී වැඩිය යුතු ය. අර්පණා භූමියේදීද වැඩිය හැකිය. මේ වැඩීමේදී තමා ලද ධ්‍යාන නිමිත්ත අඟලක් දෑඟලක් තුනක් හතරක් යනාදී ක්‍රමයෙන් පරිච්ඡේද කොටගෙන අධිෂ්ඨානයෙන් වැඩිය යුතුය. පරිච්ඡේද නොකොට නොවැඩිය යුතුය. මෙසේ මුළු සක්වල කෙළවර කොටද තවත් ඔබ්බටද වැඩීම කළයුතුය.

පළමුවෙන් ධ්‍යානය ලත් යෝගාවචරයාට ආදිකර්මිකයා යයි කියනු ලැබේ. ඔහු මේ අවස්ථාවේදී කළ යුත්තේ සමාපජ්ජන බහුලවීමය. නිතර එයට සම වැදීම දියුණු කිරීමෙන් වසීභාවය දියුණුවෙයි. අඞ්ගයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නට යාමෙන් ඒ අඞ්ගයන් ඕළාරිකවැ වැටහෙයි. එහෙයින් එහි දොස් පෙනෙයි. දෙවැනි ධ්‍යානය ලබාගැනිමට සිත් පහළ වෙයි. එය වැළකිය හැකි නොවේ. ලත් ප්‍රථම ධ්‍යානය ප්‍රගුණ භාවයට පත්කර නො ගෙන දෙවැනි ධ්‍යානයට වැඩ කිරීමෙන් එයද නොලැබෙයි. ලද ධ්‍යානයද පිරිහී යයි. එහෙයින් වදාළහ:

“ඉධෙකච්චො භික්ඛු බාලො අව්‍යත්තො අඛෙත්තඤ්ඤ අකුසලො විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීති සුඛං පඨමං ඣානං උසපම්පජ්ජ විහරති, සො තං නිමිත්තං නාසෙවති න භාවෙති න බහූලීකරොති, න සම්මාධිට්ඨතං අධිට්ඨාති, තස්ස එවං හොති.” යන්නූනාහං විතක්ක විචාරානං වූපසමා අජඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරෙය්‍යන්ති” සො න සක්කොති විතක්ක විචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරිතුං තස්සෙවං හොති,” “යන්නූනාහං විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරෙය්‍යන්ති” සො න සක්කොති විවිච්චේව කාමෙහි - පඨමං

ඣානං උපසම්පජ්ජ විහරිතුං, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු උභතො භට්ඨො උභතො පරිහීනො සෙය්‍යථාපි භික්ඛවෙ ගාවී පබ්බතෙය්‍යා බාලා අව්‍යත්තා අඛෙත්තඤ්ඤු අකුසලා විසමෙ පබ්බතෙ චරිතුං”

“මහණෙනි මේ සසුනෙහි සමාධිපරිපන්‍ථ ධර්මයන්ගේ විශෝධනය නොදැන්මෙන් බාලවූයේ ධ්‍යානය පුහුණුබවට පැමිණවීමෙහි තේරුමක් නැති මතුයෙහි ධ්‍යානයට පිහිටවන බව හා නොවන බව නොදන්නා ඇතැම් යෝගාවචරයෙක් කාමයෙන් වෙන්වැ, අකුශල ධර්මයෙන් වෙන්වැ, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කිරීමට සමාපත්ති කෞශල්‍යය නැති බැවින් අදක්ෂවැ වෙසෙමින් ඒ ලද සමාධි නිමිත්ත සේවය නොකරයි. නොවඩයි. බහුල නොකෙරෙයි. මනාව සිටියා කොට නොසිටුවාද, ඔහුට ඉදින් මම විතර්ක විචාරයන් සංසිඳුවාලීමෙන් විතර්ක නැති විචාර නැති සමාධියෙන් ජනිත ප්‍රීති සැප ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කෙරෙම්නම් මැනවැයි කියා මෙබඳු අදහසෙක් වෙයි. හෙතෙමේ ඒ දෙවන ධ්‍යානයට පැමිණ වාසය කිරීමට නොපොහොසත් වෙයි. යළිත් ඔහුට ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙම්නම් මැනැවයි කියා මෙබඳු අදහසෙක් වෙයි. හෙතෙමේ එයට පැමිණ වාසය කිරීමටද නොපොහොසත් වෙයි. මහණෙනි, මේතෙමේ දෙකින්ම පිරිහුණේයැයි කියනු ලැබේ. කඳුකරයෙහි ගැවසෙන බාල, අව්‍යක්ත ගොදුරු බිම් නිසි පරිදි නොදන්නා ගවදෙන යම්සේද එමෙනි.

වසීභාව පස නම් කිම.

ලැබගත් ධ්‍යානයෙන් පිරිහීමට හේතු වන මෙම දුබලතාවන් මගහරවා ගැන්මට පුරුදු කළයුත්තේ වසීභාව පසය, එනම්:-

  1. ආවජ්ජනා වසී,
  2. සමාපජ්ජන වසී,
  3. අධිට්ඨාන වසී,
  4. වුට්ඨාන වසී,
  5. පච්චචෙක්ඛණා වසී යනුය.

“වසියොති යථාරුචි පවත්තියො” යනු ටීකායි. අවජ්ජනා වසී නම් රිසිසේ ධ්‍යානාඞ්ගයන් ආවර්ජනයෙහි, සලකා බැලීමෙහි, පිළිවන්කමය. සමාපජ්ජන වසී නම් රිසි පරිදි ධ්‍යානයට සම වැදීමෙහි සමත්බවය. අධිට්ඨාන වසී නම් කාලනියමයක් අනුව සමාපත්තිය තබාගැනීමෙහි පොහොසත් බවයි. වුට්ඨාන වසී නම් රිසිපරිදි සමවන් ධ්‍යානයෙන් නැගී සිටින්නට සමත් බවයි.

ඒ මෙසේයි:- ආවජ්ජන වසිය පුහුණු කරන සැටි:- පළමු වෙන් ලැබගෙන ඇති ප්‍රථම ධ්‍යානයට සමවැදී එයින් නැගී, එම ධ්‍යාන චිත්තයෙහි ලැබෙන විතර්කය ආවර්ජනා කෙරෙයි. ඊළඟට විචාරයද, ඉක්බිති ප්‍රීතියද, අනතුරුව සුඛයද, එයින්පසු ඒකග්ගතාවද ආවර්ජනා කෙරෙයි. සිතින් සලකා බලයි. මේ ආකාරයෙන් නැවත නැවත ධ්‍යානාඞ්ගයන් මුල සිට අගටත් අග සිට මුලටත් සලකන්නාහට යම් කලෙක ධ්‍යානාඞ්ගයන් අරමුණු කොටගත් චිත්තවාරයෝ ඒවා අතරට පත් භවාඞ්ග කිහිපයකින් පිරිසිදී නිරතුරුවැ පවතී නම්, එකලැ ආවජ්ජනා වසියත් පච්චවෙක්ඛණ වසියත් ප්‍රගුණය යි කිවහැකි වෙයි. මේ වසීභාවය සර්වඥ බුදුවරයන් වහන්සේලාට මස්තක ප්‍රාප්තියෙන් ප්‍රගුණවී ඇත. යමා මහ පෙළහර ආදිය පැවැත්වීමේදී සැහැල්ලු සිත් පැවැත්මක් කැමතිවන උන්වහන්සේලාට ධ්‍යානාඞ්ගයන් අරමුණුකොට පැවති චිත්ත වීථින්හි ජවන සතරකට හෝ පසකට සීමා වෙති. චිත්ත විථියකින් චිත්ත වීථියක අතර ලැබෙන භවාඞ්ගයෝ ද පශ්චිම වාරයට උපචාරවූ භවාඞ්ග චලන[1] දෙදෙනාම වෙති. මේ භවාඞ්ග චලන දෙක ලැබෙන්නේ තවත් ධ්‍යානාඞ්ගයක් ආපාථවූ සමයෙහිය.

අරමුණුක් ආපාථයට නොපත් කල්හි භවාඞ්ග චලනය සිදු නොවේ. භවාඞ්ග චලනයක් නැතිව ආවර්ජනාවේ පහළවීමකුත් නැත. මේ ආකාරයෙන් භවාඞ්ගයන්ගේ පැවැත්ම සර්වඥ බුදුවරයනට හැර වසීප්‍රාපතයනට ද අතරතුර භවාඞ්ගවාරයෙහි ගණනෙක් නම් නැතැයි පටිසමභිදා අටුවාවේ කියන ලදී. ධ්‍යානයට ඉතා ඉක්මනින් සම වදින්නට සමත් බව සමාපජ්ජන වසිතා නම් වේ. එසේමැ සමවන් ධ්‍යානය තත්පරය - දෙක - තුන ආදී වශයෙන් නියමිත කාලයක් නවත්වා ගන්නට සමත් බව අධිට්ඨාන වසිතා නම්වේ. සමවන් ධ්‍යානයෙන් ඉතා ඉක්මනින් නැගී සිටීමට සමත් බව වුට්ඨාන වසිතා නම් වේ. පච්චවෙක්ඛණ වසිය ආවර්ජන වසියෙන්ම සිදුවේ. වුට්ඨාන වසිතාවද අධිට්ඨාන වසිතාව සිද්ධ නම් සිදුවෙයි.

“පඨමං ඣානං යත්‍ථිච්ඡකං යදිච්ඡකං යාවදිච්ඡකං ආවජ්ජතී ආවජ්ජනාය දන්‍ධායිතත්තං නත්‍ථිති ආවජ්ජන වසී. පඨමං ඣානං යත්‍ථිච්ඡකං යදිච්ඡකං යදිච්ඡකං යාවදිච්ඡකං සමාපජ්ජති සමාපජ්ජනාය දන්‍ධායිතත්තං නත්‍ථිති සමාපජ්ජන වසී” ........ ප්‍රථම ධ්‍යානය යම් ප්‍රදේශයකදී ආවර්ජනා කරනු කැමැති වේද, ඒ ප්‍රදේශයෙහි ආවර්ජනා කෙරෙයි. යම් කලෙක යම් ධ්‍යානාඞ්ගයෙක හෝ ආවජ්ජනා කරනු කැමැතිවේද, ඒ ඒ කලැ ඒ ඒ ධ්‍යානාඞ්ගයෙහි ආවර්ජනා කෙරෙයි. යම්තාක් කල් ආවජ්ජනා කරන්නට කැමැති වේද, ඒතාක් කල් ආවර්ජනා කෙරෙයි. ආවර්ජනා කිරීමෙහි පමාබවෙක් නැත. සමාපජ්ජනාදියෙහිදු මෙම ක්‍රමයයි.

  1. භවාඞ්ගප්‍රවාහයේ සෙලවීම