දෙවන ධ්‍යානය සඳහා වැඩ කිරීම

මෙහි කියන ලද්දා වූ ආකාරයෙන් ලද ප්‍රථම ධ්‍යානයෙහි මැනවින් වසීභාවය උපදවා ගෙන, එහි සමවැදෙමින් වාසය කරන යෝගාවචරයාහට විතර්ක විචාර යන අඞ්ගදෙකමැ හෝ ඒ දෙකින් එකක් හෝ ඕළාරික වශයෙන් වැටැහෙන්නට පටන් ගනියි. ධ්‍යාන විරුද්ධ ධර්ම වූ නීවරණයන්ට එය ආසන්න හෙයින්ය. ඒ අඞ්ගයන්ගේ දුබල බව ද දැනෙයි. එකල ඒ යෝගාවචරයාට “අහෝ මට විතර්කය නැති ධ්‍යානයක් ලදහොත් මැනවයි” අදහස පහළවෙයි. එකල ඔහු විසින් කළයුත්තේ තමා සමවදින ප්‍රථම ධ්‍යානයෙහි නිකාන්තිය වික්ඛම්භනය කිරීමයි. එසේ කොට දැන් මීළඟට අවිතර්ක සමාධිය ලැබ ගන්නෙමියි අධිට්ඨානයෙන් යුතුවැ ඒ මුල් පටිභාග නිමිත්තෙහි පරිකර්ම කළ යුතුය. එකලැ ඒ ඔහුගේ භාවනාව විතක්ක විරාග භාවනා නම් වෙයි. ප්‍රථම

ධ්‍යානයේ ආසාව ගෙවීගිය විට එය උපවාර භාවනාවයි. සෙසු උපවාර භාවනාවන්හිදු මෙමැ ක්‍රමයයි. මේ ක්‍රමයෙන් උපචාර භාවනාව පවත්වාගෙන යාමේ දී විචාරාදී සියුම් අඞ්ග සතරින් යුත් ද්විතීය ධ්‍යානය පහළ වේ. තෘතීය ධ්‍යානාදිය ද මෙම පිළිවෙළින් ලැබෙන බව සලකනු.

  1. ප්‍රථම ධ්‍යානයට ප්‍රහීණාඞ්ග 5 යි, සම්ප්‍රයුක්තාඞ්ග 5 යි.
  2. ද්විතීය ධ්‍යානයට ප්‍රහීණාඞ්ග 1 යි, සම්ප්‍රයුක්තාඞ්ග 4 යි.
  3. තෘතීය ධ්‍යානයට ප්‍රහීණාඞ්ග 2 යි, සම්ප්‍රයුකතාඞ්ග 3 යි.
  4. චතුර්ථ ධ්‍යානයට ප්‍රහීණාඞ්ග 3 යි, සම්ප්‍රයුක්තාඞ්ග 2 යි.
  5. පඤ්චම ධ්‍යානයට ප්‍රහීණාඞ්ග 4 යි, සම්ප්‍රයුක්තාඞ්ග 2 යි.

ධ්‍යාන සතරේ ක්‍රමය අනුව නම් මීට වෙනස් වෙයි. ඒ මෙසේ යි:

  1. ප්‍රථමධ්‍යාන සිතේ ප්‍රහීණාඞ්ග නම් නීවරණ 5 ය. සම්ප්‍රයුක්තාඞ්ග නම් විතක්කාදී අංග 5 යි.
  2. ද්විතීය ධ්‍යානයට පැමිණීමේදී ඔහුට විතක්ක විචාර දෙක ම ඕළාරික වශයෙන් වැටහෙති, එහෙයින් ඒ ධ්‍යාන ලැබෙන විට ඒ දෙක ප්‍රහීණාඞ්ගයෝ වෙති. එහි පීති, සුඛ, එකග්ගතා තුන සම්ප්‍රයුක්තාඞ්ගයෝ වන්නාහ.
  3. තෘතිය ධ්‍යානයෙහි විතක්කාදී අඞ්ග තුන ප්‍රහීණ වෙයි. සුඛය හා එකග්ගතාව යන දෙක සම්ප්‍රයුක්තාඞ්ග වේ.
  4. චතුර්ථ ධ්‍යානයහි දී විතක්ක, විචාර, පීති, සුඛ යන සතර ප්‍රහීණාඞ්ගයෝය, උපෙක්ඛා - එකග්ගතා යන දෙක සම්ප්‍රයුක්තාඞ්ග වේ.

ධ්‍යාන සතර සඳහන් පෙළ

1. විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීති සුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති.

(යෝගී තෙමේ කාමයන් කෙරෙන් වෙන්වැමැ අකුසල ධර්මයන් කෙරෙන්ද වෙන්වැමැ විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් පීති සුඛ ඇති ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කෙරෙයි.)

2. විතර්ක විචාරානං වුපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති.

(ප්‍රථම ධ්‍යානය ලැබගත් යෝගී තෙමේ විතක්ක විචාරයන්ගේ ව්‍යුපශම හේතුවෙන් ස්වසන්තානයෙහි උපන් සම්පසාදනයෙන් යුක්තවූ සිතේ සමාධිය වඩන්නාවූ විතර්ක නැති, විචාර නැති සමාධියෙන් උපන් පීති-සුඛ දෙකින් යුක්ත වූ ද්විතීය ධ්‍යානය උපදවා වාසය කෙරෙයි.)

3. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති, “උපෙක්ඛකො සතිමා සුඛ විහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති”

(ප්‍රීතියගේ ද, විරාගයෙන් උපෙක්ෂකවැ ද වෙසෙයි. සිහි ඇත්තේද, නුවණ ඇත්තේද සුවද කයින් විඳියි. යම් ධ්‍යානයක් හේතුකොට ගෙන ඒ තුන්වෙනි ධ්‍යානයෙන් යුතු පුද්ගලයා” “උපෙක්‍ෂකයා, සිහි ඇත්තේය, සුව විහරණ ඇත්තේය” යි ආර්යයෝ කියද් ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපදවා වාසය කෙරෙයි.)

4. සුඛස්සච පහාන දුක්ඛස්සච පහානා පුබ්බෙව සොමනස්ස - දොමනස්සානං අත්‍ථංගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛා සති පරිසුද්ධිං චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති.

(තුන්වන ධ්‍යානය ලද යෝගී තෙමේ සුඛ දුක්ඛ දෙක ප්‍රහාණය කිරීමෙන් දුක් නොවූ සුව නොවූ උපෙක්ෂාවෙන් හා සතියෙන් ලත් පරිශුද්ධිය ඇති සතරවෙනි ධ්‍යානය උපදවා වාසය කෙරෙයි.)

පටිපදා අභිඤ්ඤා ක්ෂේත්‍රයෝ

ධ්‍යානයෙහි යෙදෙන්නහුගේ නිමිත්ත උපදින්නට මුල් අවස්ථාව ප්‍රතිපදා ක්ෂේත්‍රයයි. එයින් පසු අවස්ථාව අභිඤ්ඤා ක්ෂේත්‍රයයි. එහි පූර්වයෙහි විරුද්ධ ප්‍රත්‍යයන්ගේ ළඟාවීමෙන් දුකසේ පිළිපදින්නාගේ ප්‍රතිපදාව දුක් නම් වෙයි. සුවසේ පිළිපදින්නහුගේ ප්‍රතිපදාව සුඛ නම් වෙයි. පසුව ලැසිවැ අර්පණාවට පත්වූවහුගේ භාවනාව දන්‍ධාභිඤ්ඤා නම්වෙයි. වහා අර්පණාවට පත්වූවහුගේ භාවනාව ඛිප්පාභිඤ්ඤා නම් වෙයි.