6. සම්පහංසිතබ්බ (සතුටු කළ යුතු) චිත්තාවස්ථාව:

star_outline

සිත සම්පහංසනය කළ යුතු අවස්ථා සලකා සම්පහංසනය කරන්නේ කෙසේ ද?

යම් කලෙක මේ යෝගාවචරයාගේ සිත අරමුණට නොබැසීමෙන් කමටහන් අරමුණට ඇතුළු නොවීමෙන් පිට පනිනා ස්වභාවයට පත්වෙයිද, එසේ වන්නේ කරුණු දෙකක් හේතු කොට ගෙන බව තේරුම් ගතයුතුය. එනම් කමටහන හා යෙදියයුතු නුවණ අඩුවීම නිසා කමටහන නිරස්වාද වීම එක් කරුණෙකි. අනෙක නම් ඒකාග්‍රතාව නැතිවැ උපසමසුඛය[1] නැතිවීමෙන් කමටහන නිරාස්වාද[2] වීමය. මේ සිදුවීම් දෙකමැ භාවනා මනසිකාරය අතින් ඉතා ඉහළට ගිය යෝගාවචරයාටත් සිදුවීමට ඉඩ තිබේ. එකලැ කළයුත්තේ සිත සංවේගයට පත් කිරීමයි. ඒ සඳහා සංවේග වස්තු අට වෙත සිත තදින් යොදා ඒවා සලකා ගෙන යායුතු යි.

සංවේග වස්තු අට සලකන සැටි මෙසේයි:-

1. ජාති දුක බිහිසුණුය, ඝෝරය, කටුකය, සත්ත්වයකු පැමිණෙන සියලු දුක් මේ ජාති දුක මුල් කරගෙන පැමිණෙන්නේය. මෙය, මේ බිහිසුණු කටුක ඝෝර දුක, මා තවමත් ඉක්ම සිටියේ නැත. කොයි වේලාවක මෙයින් මට යට වී ඉමක් කොනක් නැති, හිස ඔසවාලන්නට නොහැකි මහදුක් ගොඩකට යටවේදැයි සිතා ගත නොහැකිය. අහෝ! මේ දුකින් පෙළෙන්නට - යට කරගන්නට, මත්තෙන් මා විසින් එයින් නිදහස් වීමට උත්සාහ ගත යුතුය. පමාවුවහොත් මට පසුතැවෙන්නට, අඬන්නට, අඬ අඬා නිරයාදී අනන්ත දුක් රැසකට අසුවීමට, ඒවා විඳින්නට සිදුවේ. ඊට කලින් මම උත්සාහ ගනිමි. හැම දුකක්මැ විඳ දරාගෙන භාවනාවේ යෙදෙමි.

2. උපතක් ලද්දහුට ඒ එක්ක මැ මුහුණු දෙන්නට වන බිහිසුණු දුක නම් ජරා[3] දුක ය. මේ දුක ජාති දුකටත් වඩා දරුණු ය. පීඩාකරය. තමාගේ අදහස් රිසිසේ ක්‍රියාවේ යොදවන්නට බැරි අවස්ථාවේ පහළවන්නේ බලවත් ඉච්ඡා විඝාත දුකෙකි[4]. මේ පීඩාව නියමයෙන් පීඩාකර බව දැනෙන්නේ තමාගේ අත් පා ආදී අවයවයන් සිතන හැටියට වලංගු නො වන අවස්ථාවේදීය.

තමාගේයයි කියා සිටියා වූ නෑදෑ හිතවතුන්හට මෙන්ම තමාටත් එපා වූ මේ ජීවිතය දිවිගෙවා ජරා රකුසිය විසින් ඔබ කොයි මොහොතක හෝ යට කර ගනු ලබන බව ඔබ විසින් දැන්ම සලකා බැලිය යුතුය. ඔබ ජරා රකුසියගෙන් නිදහස් වී නැත. යටකරගත් විට ඔබට ඇති සියලු හපන්කමක් මැ නවත්වන්නට සිදුවන බව සලකා, ගතට වැර තිබෙන මේ මොහොතේ නිෂ්ඵල සිතුවිලිවලින් මැඩී කල් නොගෙවා ඒ හැම දුකෙන් මිදීමට උපාය වූ භාවනා මනසිකාරයෙහි යෙදෙන්න.

3. උපතත් ජරා රකුසියත් සමග අත්වැල් බැඳගෙන පැනනගින බිහිසුනු දරුණු දුකෙකි, ව්‍යාධි[5] දුක. මේ බිහිසුණු ව්‍යාධි දුකෙන් මේ තාක් මම නිදහස් නොවූයෙමි. මේ ව්‍යාධි සතුරා විසින් යටකරගත්විට මම මගේ ඇති ශක්තියෙන් පිරිහී අන්ත දුබලයෙක් වන්නෙමි. ඇතැම්විට දිගහරින්නට පුළුවන් අත්පා, සොලවන්නට පුළුවන් ශරීර අවයව, ක්‍රියාකරවීමට බැරිවන තරමට ව්‍යාධි සතුරා මා පෙළනවා ඇත. එබඳු අවස්ථාවක මම ජාති දුකටත් ජරා දුකටත් වැඩිය බරපතල දුකෙකින් පෙළෙමි. මෙය පැමිණෙන්ට පළමු මම උත්සාහ ගනිමි. මම උනන්දුවෙන් භාවනාවේ යෙදෙමි.

4. උප්පත්ති දුකේ ප්‍රධාන පලිගැනීම මරණ දුක නොවේද? ජීවිතයේ දී දිවි පවත්වන සමයේ ගන්නා හැම ප්‍රයාශයෙකමැ අවසානය මේ මරණයෙන් සිදුවෙනවා නොවේද? මුලු ජීවිතයේදීම එකතුකළ හැමදෙයකටම අහිමිවී, ඒ සියල්ල අතහැර යායුතු අවස්ථාවක් පැමිණෙනවා නොවේද? ඒ මේ මරණ අවස්ථාව නොවේද? ලොකු කුඩා, බලවත් දුබල, ගුණවත් නිර්ගුණ මුළු ලෝකවාසී හැම සත්ත්වයකු ම නොහැර යටකරගෙන යන්නාවූ මේ මරණ ස්වභාවයෙන් මම තවමත් නිදහස් නොවූයෙමි. යම්කිසි අවස්ථාවකදී ඒ මරණ නැමැති මත්තහස්තියා[6] මා යටපත් කරගෙන යන්නේය. එයට මා සූදානම් විය යුතුය. ඒ අවස්ථාව පැමිණීමට කලින් මා උත්සාහ ගත යුතුය. භාවනාවට උනන්දු විය යුතුය.

5. කෙලෙස් බරට යට වී සසර සැරිසරන සත්ත්ව වර්ගයාහට මිනිස්ලෝ, දෙව්ලෝ, බඹලෝ, භූමීන්හි උපත නොව වැඩිපුර අයිතිය අටමහ නරකයෙහි උපතය. ඔසුපත් නිරාවල උපතය. තිරිසන් යෝනිවල උපතය. කෙලෙස් බරින් ඔබ යටවී සිටී නම්. ඒ ඔබ අටමහ නරකයේ උපතින් හිමිවන පස් ආකාර වද බන්ධනවලින් නිදහස් නෑ නොවේද? ප්‍රේත ආපායික කටුක දුක්වලින් නිදහස් නෑ නොවේද? මේ සතර අපායෙහි බිහිසුණු කටුක දුක්රැසින් නිදහසක් සලසා ගතහැකි උතුම් එකම අවස්ථාව අද ඔබ ලබාගත්තෙහිය. ඒ අද ලබාගෙන ඇති ක්ෂණ සම්පත්තියෙන් නියම ප්‍රයෝජනය ගැනීමට හැකි අවස්ථාවට මුහුණ දී ඉන්නා ඔබ එයින් ප්‍රයෝජනයක් සලසා ගැනීමට පමානොවී, උනන්දුවන්න. උනන්දුවන්න.

6. කෙලෙසුන්ගෙන් පීඩා ලබ ලබා කෙලෙසුන් රැස්කරමින් මේ සසර ගමන් කරන ඔබ ඒ කෙලෙසුන් විසින් කම් ස්වරූපයෙන් ලබාදුන් කොතරම් දුක්රැසක් වින්දාද? මේසා දීර්ඝ සංසාරයෙහි ඔබ නොවින්ද දුකක් නෑ නොවේද? අටමහ නරකවල ඉපද, අසුර නිකායවල ඉපිද, මේ මිනිස් ලොවම ඉපිද මොන තරම් දුක් රැසක් වින්දාද?

ඔබ එළුවකු වී, ගොනකු වී, කුකුළකු වී, අනුන්ගෙන් බෙලි කැපුම් කෑ කාලයෝ කොපමණද කියා බුදු මුවෙකින් පවා පවසා අවසන් කළ නොහෙන සේ දිගය. මේ සසර දුක මෙසේ නිසා මේ දුකෙන් නිදහස් වීමට ඔබ විසින් කළයුත්තේ නොපමාව භාවනාවේ යෙදීම නොවේද? එහෙයින් දැන් මේ ලද මොහොතෙන් ප්‍රයෝජනයක්, නියම ප්‍රයෝජනයක් ගැනීමට උනන්දුවන්න, උනන්දුවන්න.

7. නිරතුරුව පීඩා කරන, දුක් දෙන, කෙලෙස් බරට යටවී වසන තුරු නිදහසක් නො ලැබෙන බිහිසුනු දුකෙකි, සසරමහාදුක. යම් තරම් දුක් රැසක් වෙතොත් ඒ සියල්ල විඳීමට හිමිවන්නා නම් මේ කෙලෙස් බරින් බරවූ පුද්ගලයා ය. එහෙයින් මත්තට විඳින්නට ඇති මේ අනාගත සංසාරදුක සලකා එයින් නිදහස් වීමට භාවනාවේ යෙදෙන්න. එයට උනන්දුවන්න, උනන්දුවන්න.

8. ආහාර සෙවීමේ දුක කාටත් පොදු ය. ඔබටද එය සාධාරණ ය. ආහාර සෙවීමේ දුකින් පෙළීමක් නොවන්නට නම් කෙලෙස් බරින් සම්පූර්ණයෙන් නිදහස් විය යුතුය. ඔබ මේ මහදුකෙන් නොපෙළී නිවී සැනසීගන්නට නම් භාවනාවේ යෙදෙන්න. එයට උනන්දුවන්න, උනන්දුවන්න.

මෙසේ මේ සංවේග වස්තු අට මැනවින් මෙනෙහි කරන්නා හට සිත් තුළ බලවත් සංවේගය පහළවේ. එය චිත්ත සම්පහංසනයට උපකාර වෙයි. බුදු ගුණය, දහම් ගුණය, සග ගුණය යන තුණුරුවනෙහි ගුණයන් නිතර නිතර මැනවින් මෙනෙහි කරන්නාගේ සිත පැහදී යයි. සම්පහංසනයට සුදුසු අවස්ථාවෙහි සම්පහංසනය කළමනා හැටි මෙසේ ය.

  1. සන්සිඳීමෙන් ඇතිවන සුඛය

  2. නීරස

  3. දිරීම, මහලුවීම

  4. බලාපොරොත්තු කඩවීමේ දුක

  5. ලෙඩ

  6. මත්වූ ඇතා