10. තදධිමුත්තතා

star_outline

එහි අධිමුක්තිය ඇති බව නම්, සමාධියෙහි අදැහිලිමත් බවය. සමාධියට ගරුකරන බව ය. සමාධියට නැමුණු සිත් ඇති බවය. සමාධියෙහි නියැලි බවය. මේ අර්පණා කෞශල්‍යයෝ දශ දෙනායි.

මෙහි දැක්වූ අර්පණා කෞශල්‍ය කරුණු 10 මැනැවින් සම්පාදනය කරන යෝගාවචරයාහට අර්පණාව හෙවත් ධ්‍යානචිත්තය පහළවීමට ඉඩ තිබේ. ඉතා ටික දෙනෙකුන්හට මෙතරම් සිත දියුණුවට පත් කළත් අර්පණාව නොලැබෙන සැටියක් මීළඟ උපදේශයෙන් තේරුම් කරගත හැකිය.

එවංහි සම්පාදයතො - අප්පණා කොසල්ලං ඉමං,

පටිලද්ධෙ නිමිත්තම්හි - අප්පණා සප්පවත්තති.

එවම්පි පටිපන්නස්ස - සචෙ සා නප්පවත්තති,

තථාපි න ජහෙ යොගං - වායමෙථෙව පණ්ඩිතො.

යනුවෙන් ලැබගන්නා ලද ප්‍රතිභාග නිමිත්තෙහි මෙසේ මේ දස වැදෑරුම් අර්පණා කොසල්ල සම්පාදනය කරන්නාහට අර්පණාව උපදියි. මෙසේද පිළිපදින්නාහට ඒ අර්පණාව නොලැබේ නම් ඥානවත් යෝගවාචරයා මේ අලාභයෙන් උදාසීන නොවී භාවනා යෝගය අත් නොහැර තවත් මතුවටද උත්සාහ කරන්නේය.

හිත්‍වාහි සම්මා වායාමං - විසෙසං නාම මානවො,

අධිගච්ඡෙ පරත්තම්පි - ඨානමෙතං න විජ්ජති.

චිත්තප්පවත්ති ආකාරං - තස්මා සල්ලක්ඛයං බුධො,

සමතං විරියස්සෙව - යොජයෙථ පුනප්පුනං,

ඊසකම්පි ලයං යන්තං - පග්ගණ්හෙතෙව මානසං

අච්චාරද්ධං නිසෙධෙත්‍වා - සමමෙව පවත්තයෙ[1]

මේ ඉතාමත් ස්ථිර වූ මීළඟට කළමනා උපදේසයයි. එහි අදහස නම්:-

සම්‍යක් ව්‍යායාමයෙකින් තොර ව ඉතා කුඩා විශේෂ ගුණයකට පවා සත්ත්ව තෙමේ පත්වන්නේය, යන මේ කාරණය යම් හෙයකින් නැද්ද, එහෙයින් භාවනා සිතේ ලීන උද්ධච්ච වශයෙන් පවත්නා වූ ආකාර සලකන්නාවූ නුවණැති යෝගාවචරයා නො නැවත වීර්යයයේ

සම බවම යොදන්නේය. මඳෙකිනුදු ලීන බවට යන සිත නඟාලිය යුතුමය. ඉතා විසිරීගිය සිත වළකා සමවැමැ පැවැත්විය යුතුය.

මේ සඳහා නිදසුන් පහක් සිත ගැනීමට දක්වන ලදී. ඒ මෙසේ ය:-

1. මීමැසි නිදසුන: මල් රොන් එකතු කරන මී මැස්සන් අතර අධික වේගවත් මීමැස්සා අධික වේගය නිසා මල් පිපි ගස ඉක්ම ගොස් යළිත් පෙරළා එන විට හමුවන්නේ රොන් අවසන් කළ මල් ගසයි. හෙතෙමේ ද පිරිහෙයි. අදක්ෂ මී මැස්සා වේගය අඩුව යෙදූ නිසා සෙස්සන් රොන් අවසන් කළ මල් ගසය හමුකරගන්නේ. මධ්‍යම වූ වේගය යෙදූ මීමැස්සා පමණක් නියම තැනට නියම වේලාවට පැමිණ රොන් ලැබගන්නේය.

2. උපුල්පතේ නිදසුන: ශල්‍යකර්මය දන්නා වෙද ඇදුරන්ගේ අතවැසියන් දිය තල්ලෙහි[2] තිබූ මහනෙල් පෙත්තෙහි සිරාවේධාදි[3] සැත්කම් පුහුණුවන කල්හි, ඔවුන් අතුරෙන් එකෙක් අධික වේගයෙන් ආයුධ යොදමින් උපුල්පත දෙකට කඩයි. ඉක්මන්කම නිසා උපුල්පත දිය යටට හෝ බස්සයි. මෙසේ හෙතෙම සිප්සතරෙන් පිරිහෙයි. වේගය, වීර්‍ය්‍යය වැඩි යෝගවචරයාද මෙසේ ලද ගුණයෙන් පිරිහෙයි. ශල්‍ය වෛද්‍යවරයාගේ තවත් අතවැස්සෙක් අදක්ෂ වෙයි. අදක්ෂභාවයෙන්ම බියෙන් පෙළෙමින් පෙත්ත කැපේද, නැත්නම් දිය යටට යේද කියා සැකයෙන් වෙවුලමින් ආයුධය පෙත්තෙහි යොදන්නට පවා නොසමත් වෙයි. එපරිද්දෙන් ම වීර්යයෙන් දක්ෂතාවෙන් දුබල යෝගාවචරයා ද සැකයෙන් හෝ බියෙන් ද වැඩෙහි නොයෙදෙයි. නියම දක්ෂ අතවැසියා වනාහි සමවූ ප්‍රයෝගයෙන් ඒ උපුල්පතෙහි ආයුධ වැටෙන සැටි දක්වා ශිල්පයෙහි සම්පූර්ණතාවයට පත්වෙයි. එපරිද්දෙන් දක්ෂ කාර්ය්‍යක්ෂම යෝගාවචරයා සමවූ ප්‍රයෝගයෙන් භාවනා මනසිකාරයෙහි යෙදෙමින් නියම ප්‍රතිඵල ලබයි.

3. මකුළුහුයේ නිදසුන: යමෙක් බඹයක් දිග මකුළු දැලක නූලක් ගෙන ඒ නම් හේ දහසක් රන්මිළ ලබන්නේයයි පුවත ඇසූ එක් වේගවත් පුද්ගලයෙක් ඉතා වේගකම් නිසා මකුළුහුයක් සොයා ගොස් එය තැනින් තැනින් කඩා දමයි. අදක්ෂයා කැඩේ යයි යන බියෙන් එහි අත තිබීමට ද නොසමත් වෙයි. නියම දක්ෂයා වනාහි කෙළවරක පටන් සමවූ ප්‍රයෝගයෙන් ලීකැබැල්ලක ඔතා ගෙනවුත් නියම තැනට දී නියමිත ලාභය ලබයි. විරිය වැඩි, විරිය නැති යෝගාවචරයෝ දෙන්නාම මෙසේ පිරිහෙති. නියම දක්ෂයාම භාවනා ප්‍රයෝජනය සලසා ගනියි.

4. නැවේ උපමාව: දක්ෂභාවය වැඩි ඉක්මන් නියමුවා බලවත් තද සුළඟෙහි රුවල සුළඟින් පුරවා වේගය වැඩි හෙයින් නැව විදේශයකට පමුණුවයි. අදක්‍ෂ, වීර්‍ය්‍යය අඩු, නැවියා මඳ සුළඟෙහි රුවල බහාගෙන නැව එහිම තබා ගනියි. දක්ෂයා තද සුළගෙහි රුවල අඩකුඹු කොට ද, මඳ සුළගෙහි රුවල සපුරා යොදාද කැමැති තැනකට පමුණවයි. එසේ ම වීර්‍ය්‍යය වැඩිවූ ද, වීර්‍ය්‍යය අඩුවූ ද, යෝගාවචරයන් දෙදෙනා ම භාවනාවෙන් පිරිහෙන්නාහ. සම වීර්‍ය්‍යයයෙන් යුත් යෝගාවචරයා භාවනාවෙන් නියම ප්‍රයෝජන ලබයි.

5. නැළියේ උපමාව: පිටත තෙල් නොඉසෙන සේ නැළියට තෙල් පුරවන්නා හට ලාභ ලැබේයයි ගුරුවරයා විසින් අතවැස්සන් හට කී කල්හි, ඒ අතවැසියන් අතර එකෙක් වැඩි ඉක්මන්කාරයෙක් වේද, ලාභයෙහි ගිජු වූ හෙතෙම වේගයෙන් පුරවමින් තෙල් බැහැරට ඉසියි. අදක්ෂයා තෙල පිටත ඉසේය යන බියෙන් තෙල් වත්කොට ලන්නටද නොපොහොසත් වෙයි. නියම දක්ෂයා සමවූ ප්‍රයෝගයෙන් එහි තෙල පුරවා ලාබ ලබයි.

එපරිද්දෙන්මැ එක් යෝගාවචරයෙක් ප්‍රතිභාග නිමිත්ත උපන් කල්හි, ඉක්මනින් ම අර්පණාවත් ලැබ ගන්නෙමියි සිතා වීර්‍ය්‍යය තර කෙරෙයි. ඔහුගේ සිත ඉතා වැඩි වීර්‍ය්‍යයෙන් මඬනා ලද බැවින් උද්ධච්චයෙහි පතිත වෙයි. අර්පණාවට පත්වන්නට නොපොහොසත් වෙයි. තවත් යෝගාවචරයෙක් වීර්‍ය්‍යය වැඩි කමෙහි දොස් දැක, ලද්දාමැ රැකගනිමි. මට අර්පණාවෙන් කවර වැඩෙක්දැයි සලකා වීර්‍ය්‍යය අඩුකරගනියි. ඔහුගේ සිත අතිශයින් හැකුළුණු වීර්‍ය්‍යය ඇති බැවින් කුසීත බවට වැටෙයි. යමෙක් වනාහි මඳෙකුදු ලීන වූ සිත ඒ ලීනභාවයෙන්ද, උද්ධතවූ සිත ඒ උද්ධච්චයෙන්ද, මුදාගෙන සම වූ ප්‍රයෝගයෙන් පටිභාග නිමිත්තට අභිමුඛ කොට[4] පවත්වාද, හෙතෙමේ අර්පණාවට පැමිණෙයි. එබඳු විය යුතුය.

රූපාවචර ප්‍රථම ධ්‍යානය කාම තණ්හාවට විෂයභාවයෙන්[5] නික්මැ සිටියේ ය. ඉතා සියුම් වූයේය. සියුම් බවට පත්වූයේය. උපචාර අවස්ථාවේදී පහළවූ ධ්‍යානාඞ්ගයනට වැඩියෙන් සිය ගුණයෙකින් දහස් ගුණයෙකින් මෙය ඉතාමත් ස්ථිර වූයේය.

පළමුවෙන් කියන ලද ප්‍රතිභාග නිමිත්තෙහි මෙබඳු වූ උපචාර ධ්‍යාන චිත්තය ඇතුළු වූවාක් මෙන් පවතියි. එය මේ ධ්‍යාන ලැබුණු අවස්ථාවයි.

“විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති” යනු සූත්‍ර පාලියයි.

කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිත විවේකයෙන් උපන් ප්‍රීතියෙන්ද, සැපයෙන්ද යුත් ප්‍රථම ධ්‍යානය ලැබගෙන වාසය කරයි, යනු අර්ථයි.

  1. නීවරණ සංඛ්‍යාත පංචාඞ්ගයෙන් තොරවීම,
  2. විතක්කාදී ධ්‍යානාඞ්ග පසින් යුක්තවීම,
  3. ඇතුළත පිහිටි ත්‍රිවිධ කල්‍යාණයෙන් හා දශ ලක්ෂණයෙකින් යුක්තවීම,

යනු එහි විශේෂ හැඳින්වීම යි.

එහි සසඳාලීම මෙසේයි:-

1. “විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යන සූත්‍ර පාඨයෙහි සඳහන් වූයේ, කාමච්ඡන්‍දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව යන අඞ්ග පසෙකින් තොරවීමය. මෙම ප්‍රහීණවීම වික්ඛම්භන ප්‍රහාණය නමින් හඳුන්වන ලදී. කාමච්ඡන්දාදිය ප්‍රහීණ නැතිනම් ධ්‍යාන චිත්තයද නැත. විශේෂයෙන් ධ්‍යාන සිතට මේ කාමච්ඡන්‍දාදිය අන්තරාකරය. ඒ මෙසේය:-

කාමච්ඡන්‍දයෙන් නොයෙක් අරමුණෙහි පොළඹන ලද සිත ඒකත්‍වාරම්මණයෙක තැන්පත් කිරීම වළකනු ලැබේ. කාමච්ඡන්‍දයෙන් මඬනා ලද ඒ සිත කාමධාතු ප්‍රහාණය පිණිස පිළිවෙතට පත්නොවෙයි. ව්‍යාපාදයෙන් ද අරමුණෙහි ගැටෙන සිත නිරන්තර ව නොපවතියි.

ථීන මිද්ධයෙන් මඬනා ලද සිත අකර්මණ්‍ය වේ. භාවනා කර්මයට යෝග්‍ය නොවේ. උද්ධච්ච කුක්කුච්චයෙන් මඬනා ලද සිත නොසන්සුන්වැ කැරකැවෙයි. විචිකිච්ඡායෙන් පහරන ලද්දේ[6] ධ්‍යානාධිගම[7] සාධක පිළිවතට නොනැඟෙයි. මෙසේ විශේෂයෙන් ධ්‍යාන සිතට අන්තරායකර හෙයින් මේවාමැ ප්‍රහීණාඞ්ග වශයෙන් දැක්වූහ.

2. සම්ප්‍රයුක්තාඞ්ග වශයෙන් කියවෙන්නේ සූත්‍ර පාඨයෙහි සඳහන් “සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං” යන කොටස්වලින් දැක්වෙන විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා යන අඞ්ග පසයි. එහි විතක්කය අරමුණෙහි සිත නගයි. විචාරය අරමුණෙහි සිත බඳියි. ධ්‍යානාධිගමනයට ප්‍රත්‍යය වූ ඒ දෙකින් වික්‍ෂේපය නොවනු පිණිස සම්පාදනය කරන ලද භාවනා සංඛ්‍යාත ප්‍රයෝග ඇති යෝගාවචරයාගේ සිතේ, පිනවීමක්, වැඩීමක් භවනා ප්‍රයෝගයෙන් උපන් ප්‍රීතිය හා සුඛය සිදුකෙරෙයි. ඉක්බිති සෙසු ස්පර්ශාදි වූ සම්ප්‍රයුක්ත ධර්ම සහිත ඒ සිතට විතර්කයෙන් ලැබෙන අනුග්‍රහය අභිනිරෝපණ (අරමුණට ඇතුළුවීම) කෘත්‍යයයි. විචාරයෙන් ලැබෙන අනුග්‍රහය නම් අනුබන්ධන (නැවත නැවත බැඳීම) ක්‍රියාවයි. ප්‍රීතියෙන් ලැබෙන අනුග්‍රහය නම් පිනවීමයි. සුඛයෙන් ලැබෙන අනුග්‍රහය නම් උපබ්‍රෑහනය (වැඩීම) යි. මෙසේ පස් ආකාරයකින් අනුග්‍රහ ලද ඒකාග්‍රතාව ඒකත්‍වාලම්බනයෙහි ඉන්‍ද්‍රිය සමතා වශයෙන් සමකොට ප්‍රතිපක්ෂ ධර්මයන්ගේ දූරීභාවයෙන්[8] ලීනද, උද්ධතද නොවන බැවින් මනාකොට පිහිටුවයි. ඒකාග්‍රතාව සමාධාන කෘත්‍යයෙන් චිත්තය ද සම්ප්‍රයුක්ත ධර්මයන්ද අනුකරණය කරන්නී ධ්‍යාන ක්‍ෂණයෙහි සාතිශයවැමැ[9] සමාහිත කෙරෙයි. මෙසේ විතර්කාදී අඞ්ගපසේ උපත අනුව පඤ්චාඞ්ග සමන්නාගතභාවය දතයුතුය.

මේ අඞ්ග පස ධ්‍යානාවස්ථාවට මුලින් ලැබෙන උපචාර අවස්ථාවේද ලැබෙයි. එහි දී ඒ අඞ්ගයෝ එතරම් බලවත් නොවෙති. එහෙත් ප්‍රකෘති චිත්තයට[10] වඩා ඉතාමත් බලවත්ය. මෙහිදී මේ ධ්‍යානාවස්ථාවේදී නම් උපචාරාවස්ථාවේ තත්ත්වයටද වඩා බලවත්ය. රූපාවචර ලක්‍ෂණයට පත්වූ හෙයිනි. මෙහි විතර්කය වනාහි කෙලෙසනුගෙන් මිදී ඇති හෙයින් මැනවින් ප්‍රකටවූ ආකාරයෙකින් අරමුණට සිත නංවාලමින් උපදියි. විචාරය අතිශයෙන්ම අරමුණ පිරිමදිමින් උපදියි. ප්‍රීතියත් සුඛයත් යන දෙක මුළු සිරුරෙහි පැතිරෙමින් උපදි යි. එහෙයින්ම වදාළහ:-“නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති” යි.

(මේ යෝගවචරයා හැම අවයවයක් සහිත කරජ කය පිළිබඳව කිසිදු තැනෙක විවේකයෙන් උපන් පීති සුඛ දෙකින් නො පැතුරුණේ නොවේ.) ඒකග්ගතාව ද පෙට්ටියක යටි පියනෙහි උඩු පියන එකට වැදී ඒකාබද්ධවැ පවත්නා පරිද්දෙන් අරමුණෙහි මැනවින් වැදී පවතියි.

3. ධ්‍යාන විත්තය පිළිබඳ ත්‍රිවිධ කල්‍යාණ සහ දස ලක්‍ෂණයෝ:-

ත්‍රිවිධ කල්‍යාණයෝ:

  1. පඨමස්ස ඣානස්ස පටිපදා විසුද්ධි ආදී.
  2. උපෙක්ඛානුබ්‍රෑහණා මජ්ඣෙ.
  3. සම්පහංසනා පරියොසානං.

මෙසේ කියන ලද ආදියෙහි[11] පටිපදා විසුද්ධිය[12], මධ්‍යයෙහි වූ උපෙක්ඛානුබ්‍රෑහනය[13], අවසානයෙහි වූ සම්පහංසනයැ[14] යි ත්‍රිවිධ කල්‍යාණයෝ දතයුතු වෙති.

අර්පණා චිත්තයෙහි ආරම්භයේ පටන් ගෝත්‍රභූ චිත්තය ලැබෙන අවස්ථාව දක්වා ඇති භාවනා විධිය පටිපදා (ප්‍රතිපත්ති) නම් වෙයි. ඒ ප්‍රතිපදාව නීවරණාදී විරුද්ධ ධර්මයන්ගෙන් තොරවූ හෙයින් ප්‍රතිපදා විශුද්ධි නම්වේ. ඒ ප්‍රතිපදා විශුද්ධිය ලැබෙන්නේ ධ්‍යානයාගේ උත්පාදක්‍ෂණයෙහිය. එහෙයින් එය ආදි නම් වේ. තත්‍රමජ්ඣත්තුපෙක්ඛාව[15]ගේ කෘත්‍ය වශයෙන් උපෙක්ඛානුබ්‍රෑහණාව දත යුතු වෙයි. ධර්මයන් පිළිබඳ ඔවුනොවුන් ඉක්මැ නොපැවැත්වීමය. ඉන්‍ද්‍රියයන්ගේ ඒකරස භාවය, එයට සුදුසු වීර්‍ය්‍යය පැවතීමය අසේවනය[16] යන මොවුන් සිදු කිරීමෙන් පිරිසුදු කරන ඥානයාගේ කෘත්‍ය නිෂ්පත්ති[17] වශයෙන් සම්පහංසනය දත යුතුය.

  1. එහි පටිපදා විසුද්ධිය ලක්‍ෂණ තුනෙකින් සම්පූර්ණ වෙයි.
  2. උපෙක්ඛානුබ්‍රෑහණාවද ලක්ෂණ තුනෙකින් සම්පූර්ණ වෙයි.
  3. සම්පහංසනාව ලක්ෂණ සතරකින් සම්පූර්ණ වෙයි.

එහි පටිපදාවිසුද්ධියේ අඞ්ග තුන නම්:-

  1. යො තස්ස පරිපත්‍ථො තතො විත්තං විසුජ්ඣති, (ධ්‍යාන චිත්තයට යම් බාධකයෙක් ඇද්ද එයින් සිත පිරිසිදු වේ.)
  2. විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථ නිමිත්තං පටිපජ්ජති.
  3. (පිරිසිදු වූ හෙයින් සිත මධ්‍යම සමථ නිමිත්තට පිළිපන්නේ වේ.)
  4. පටිපන්නත්තා තත්‍ථ චිත්තං පක්ඛන්‍දති.
  5. (පිළිපන් හෙයින් එයට සිත පනී) යනු ය.

මෙයින් ධ්‍යානයට විරුද්ධ ධර්මයන් කෙරෙන් සිතේ පිරිසිදු වන ආකාරය, මධ්‍යම සමථ නිමිත්තට පැමිණෙන ආකාරය, එයට ඇතුළු වන ආකරය යන ලක්ෂණ තුන පටිපදා විසුද්ධියේ ඇතැයි කී හෙයින් ධ්‍යානයාගේ ආදියෙහි හෙවත් උත්පාදක්ෂණයෙහි අර්පණා ප්‍රාප්ති ලක්‍ෂණයෝ වෙති. මේ ආකාර නැතිව අර්පණාවට පත්වීමෙක් නැත. එහෙයින් ඒ ලක්ෂණයෝ ධ්‍යානයේ ආදියෙහි ලැබිය යුතුය.

මධ්‍යයෙහි උපෙක්ඛානුබ්‍රෑහණාවේ ලක්ෂණ තුන නම් මේ අවස්ථා තුන අනුව උපේක්‍ෂාව පැවැත්වීමේ කෘත්‍ය තුනයි. ඒ ලක්ෂණ තුන නම්:-

  1. විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති,
  2. සමථ පටිපන්නං අජ්ඣුපෙක්ඛති,
  3. එකත්තු පට්ඨානං අජ්ඣුපෙක්ඛති, යනු යි.
  1. පිරිසුදු වූ සිත ගැන උපේක්ෂාව පැවැත්වීමයි, යන්නෙන් දක්වන්නේ සිත පිරිසිදු වූයේ ප්‍රතිපදාවේ බලයෙනි. එසේ පිරිසිදුවූ සිත යළිත් පිරිසිදු නොකළමනා හෙයින් විශෝධනයෙහි[18] ව්‍යාපාර නොකරමින්[19] උපේක්‍ෂාව පැවැත්වීමයි.
  2. දෙවැන්නේ දක්වන්නේ සමථ භාවයට පැමිණි හෙයින් යළිත් සමාධානයෙහි[20] ව්‍යාපාර නොකෙරෙමින් උපේක්‍ෂාව පවත්වයි යනුය.
  3. තුන්වැන්නෙහි, සමථ ප්‍රතිපන්න බැවින් මැ කෙලෙස් හා සම්බන්ධය හැරපියා ඒකත්වයෙන් වැටහුණු සමාධිය පිළිබඳ යළිත් එකත්තුපට්ඨානයෙහි[21] ව්‍යාපාර නොකෙරෙමින් උපේක්‍ෂාව පවත්වයි.

සම්පහංසනය නම් වූ අවසානයෙහි ලක්ෂණ සතරෙකි. ඒ මෙසේයි:-

  1. තත්‍ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන සම්පහංසනා,
  2. ඉන්‍ද්‍රියානං එකරසට්ඨෙන සම්පහංසනා,
  3. තදුපග විරිය වාහනට්ඨෙන සම්පහංසනා,
  4. ආසෙවනට්ඨෙන සම්පහංසනා යනු ය.
  1. ඒ සිතෙහි හටගත් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් යන ධර්ම දෙකේ ඔවුනොවුන් නොඉක්ම සිටුනා ස්වභාවයෙන් සම්පහංසනය.
  2. ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් නා නා කෙලෙසුන්ගෙන් මිදුණු බැවින් විමුක්ති රසයෙන් ඒකරස බැවින් සම්පහංසනය.
  3. ඒ අනතිවර්තනභාවයට[22] හා ඒකරසභාවයට අනුරූප වූ වීර්ය පවත්වන හෙයින් සම්පහංසනය.
  4. නැවත නැවත සේවනාර්ථයෙන්[23] සම්පහංසනයැයි ඒ සතරාකාරයේ තේරුම වෙයි. මේ දක්වන ලද්දේ දශලක්‍ෂණයයි.

මෙය ලැබෙන සැටි මෙසේ යි :-

භාවනා මනසිකාරයේ යෙදෙන යෝගාවචරයාගේ භාවනා සමෘද්ධිය සිදුවන්නේ ක්‍රමික දියුණුවෙකිනි. මුල් දියුණුව පසු දියුණුවට හේතුවෙයි. මෙසේ ක්‍රමික දියුණුවට පත් ඉන්‍ද්‍රියයෝ සමතාවෙනුත් දියුණුවට පත්වන්නාහ. ඉන්‍ද්‍රියයන් දියුණුවට පත්වන්නේ ධ්‍යානයට පරිපන්ථ වූ කෙලෙස් සමූහය ක්‍රමයෙන් ඉවත් කර දුරට තල්ලු කර දැමීමෙනි. භාවනා මනසිකාර විධිය මෙසේ බොහෝ වාරයක් පවත්නා කල්හි යම් වාරයක දී ධ්‍යාන චිත්තය පහළ වේ නම්, ඒ වාරයේ දී ඒ ධ්‍යාන චිත්තයට ප්‍රතිපක්ෂ නීවරණ සමූහයෙන් ඒ සිත පිරිසිදු වෙයි. මෙය සිදුවනු යෝගාවචරයාහට නොදැනුණත් ඒ නීවරණයන්ගෙන් සැනැසිල්ලක් තමාට පහළ වී ඇති බව පසුව වැටහෙන්නට පටන් ගනියි. මේ පරිශුද්ධිය නිසා සිත් තුළ බලවත් එළියක් දැනෙන්නටද පුළුවන. දැන් මේ අවස්ථාවට පත් යෝගාවචරයා හට කෙලෙසුන්ගෙන් වන ආවාරණ බලපෑම් නොමැත. නීවරණයන්ගෙන් සිත පිරිසිදුය. මෙය මධ්‍යම සමථ නිමිත්තට සිත වැටෙන අවස්ථාවයි. මධ්‍යම ශමථ නිමිත්ත නම් සමවැ පැවැති ධ්‍යාන සමාධියයි. අර්පණා සමාධියයි කියනු ලබන්නේ ද මෙයමැයි. එය සමවැ පැවැතීමය කියන්නේ ලීනතාවට හෝ උද්ධච්චයට පෙරැළීමෙන් පුන පුනා පහළවීමටය. විශේෂයෙන් විරුද්ධ ධර්මයන් සන්සිඳුවන හෙයින් ශමථ නම් ද, යෝගාවචරයාගේ සිත්හි සුවයට කාරණ හෙයින් නමිත්ත නම් ද වෙයි. අර්පණා තත්ත්වයට සිත මෝරා යන්නේ ක්‍රමයෙනි. එකම චිත්ත සන්තතිය ක්‍රම ක්‍රමයෙන් මේරිමට පත්වීමෙන් මේ ස්වභාවය ඇසුරු කරන බව සැලකිය යුතුය.

එය සිදුවන ක්‍රමය මෙසේයි :-

යෝගාවචරයා මේ සඳහා පරිත්‍යාග රාශියක් කෙරෙයි. දොස් සතරින් තොරකොට දියුණුවට පත්කරගත් ඡන්දාදීසෘද්ධිපාදයන් ප්‍රයෝජනය සඳහා යොදයි. නීවරණයන් අතරින් පතර බලපාන දුබල තත්ත්වයක් ප්‍රදර්ශනය කෙරෙමින් කලක් ඔවුන් සමග සටන් කිරීමටද ඔහුට සිදුවෙයි.

ප්‍රතිපක්ෂ ධර්මයන් මැඬලීමට ගන්නා උත්සාහය සාර්ථකවන විට ඉන්‍ද්‍රියයන් සමතත්වයේ තබා ගැනිමට ඥානාන්විත මහත් පරිශ්‍රමයක යෙදෙන්නට ද සිදුවෙයි. එය සකස්වීමෙන් පසුද පහතට වැටෙන්නට ඉඩ තිබේ. පහතට වැටෙන්නට ඉඩ නොදී සෘද්ධිපාදයන් සපුරා වැඩෙන විට, යම් වාරයක් චිත්ත සන්තතිය ධ්‍යාන තත්ත්වයට පෙරළෙයි නම්, ඒ චිත්ත සන්තතියේ මූල පරිකර්ම අවස්ථාවයි[24]. එහිදී සෘද්ධිපාදයන් යට සඳහන් වැරැදිවලින් මිදී වැඩීමෙන් ඉන්‍ද්‍රිය සමතාවද සම්පූර්ණ වෙයි. උපචාර අනුලෝම[25] යන නම්වලින් හඳුන්වන අවස්ථාද ක්‍රමයෙන් ඉක්ම සිටියි. දියුණුවී පහළ වෙයි. එය ගොත්‍රභූ නමින් හැඳින්වෙයි. ඒ චිත්ත සන්තතියමැ මෝරා මේ අර්පණා චිත්ත නමින් හැඳින්වෙන මධ්‍යම සමථ නිමිත්තට පත්වීම ඊළඟට සිදුවෙයි. මෙය පටිපජ්ජනයයි. මෙසේ පිළිපන් හෙයින් එකෙණෙහි අර්පණා සමාධියෙන් සමාහිත භාවය සිදුවීමෙන් පක්ඛන්දනය වෙයි. පක්ඛන්දනය නම් පැනීමයි. වැදීමයි. සෙසු ධර්මයන්ගේ පැනීමක් මෙන් නොවැ ඒකත්ව නයින් පරිණාමයෙන් ගොත්‍රභූව අර්පණාසමාධි භාවයට එළඹීමමැ අර්පණා සමාධියට වැදීම, පැනීමයයි දත යුතුය.

උපෙක්ඛානුබ්‍රෑහණය පිළිබඳ අංග 3

1. පරිපන්ථයෙන් විමුක්ත වූ සිත ගැන උපෙක්ඛා පවත්වයි. පරිපන්ථයෙන් පිරිසිදු හෙයින් පිරිසිදු සිතේ යළිත් පිරිසිදු කළ යුතු බවක් ඒ අවස්ථාවට ආවශ්‍යක නොවන හෙයින් පිරිසිදු කිරීමේ ව්‍යාපාරය නොකෙරෙමින් එහිලා උපෙක්ඛාව පවත්වයි. හෙවත් තත්‍රමජ්ඣත්තතාවගේ කෘත්‍ය වශයෙන් යෝගාවචරයා මේ ලද විසුද්ධ සිතෙහි මධ්‍යස්ථ සිත පහළ කර ගැනීමට පුරුදුවිය යුතුය. ඊළඟ අවස්ථා දෙකේදීත් එසේමය. මෙබඳු අවස්ථාවේ දී පහළ වන ප්‍රමාණාතික්‍රාන්ත තුෂ්ටිය[26] මැ අනතුරු සහිත හෙයිනි.

2. එහි දෙවන අවස්ථාව වනවිට ශමථ භාවයට සිත පැමිණ ඇත. එහිලා යළිත් සමාධාන ව්‍යාපාරයක් අනවශ්‍යය. එහෙයින් යෝගාවචරයා යළිත් සමාධානයෙහි ව්‍යාපාර නොකෙරෙමින් එහි මැදහත් වෙයි.

3. සමථයට පත්වූ හෙයින්මැ ඒ චිත්තයෙහි කෙලෙස් එකතුව නැත. මුලැදී කෙසේ නම් කෙලෙස් දුරු කෙරෙම්දෝයි පිළිපන්නා වූ යෝගාවචරයා හට සමථ ප්‍රතිපත්තියේ ආනුභාවයෙන් දැන් ඒ කෙලෙසුන් ප්‍රහීණ වූ හෙයින් කෙලෙස් එකතුව නැත. එහෙයින් කෙලෙසුන්ගෙන් තොරවැ සිටි ඒ ධ්‍යානසිත යළිත් ඒකත්වයෙක තැබීමේ ව්‍යාපාරයක් නොකෙරෙමින් ඒකත්වයෙන් තැබීමෙහි මැදහත්වීම වෙයි.

මෙසේ තත්‍ර මධ්‍යස්ථතාවේ කෘත්‍ය වශයෙන් උපේක්‍ෂාවගේ වැඩීම දතයුතුය. ධ්‍යාන චිත්තය සකස්වීමට පවා උපේක්‍ෂාව මහෝපකාරී වෙයි. වැඩුණු ධ්‍යාන චිත්තයට එය විශේෂයෙන් උපකාර බව මෙයින් උගන්වයි. මෙහි සඳහන් වනුයේ එයයි.

“පරිපන්‍ථ විශුද්ධි, මධ්‍යම ශමථ ප්‍රතිපත්තිය, පක්ඛන්දනය යන මෙහි අනුබ්‍රෑහිත ධ්‍යාන චිත්තයෙහි[27] අවකාශ ලද තත්‍රමජ්ඣත්තුපෙක්ඛා තොමෝ සම්ප්‍රයුක්ත ධර්මයන් සමකොට පවත්වන්නී බවුන් වඩන්නියක මෙන් වේනුයි.

“තත්‍රමජ්ඣත්තුපෙක්ඛාය කිච්චවසෙන උපෙක්ඛානුබ්‍රූහණතා වෙදිතබ්බා”[28]යි කීහු.

අවසාන සම්පහංසනයෙහි අඞ්ග 4

සම්පහංසනය නම් භාවනා චිත්තයට අත්‍යාවශ්‍යක වූ ඥාන කෘත්‍යයෙකි. නුවණින් සිදුකරනු ලබන වැඩෙකි. මෙහිදී එය සිදුවන්නේ උපෙක්ඛාවෙන් වැඩුණු සමාධි චිත්තයෙහි සතර ආකාරයෙකින් බව පැහැදිලි විය යුතුය. මෙහි දක්වන්නට බලාපොරොත්තු වන්නේ ඒ ඥාන කෘත්‍ය සතරය.

මධ්‍යම සමථ නිමිත්තට ඇතුළු වූ සමාධි චිත්තයෙහි සමාධියත් ප්‍රඥාවත් දෙක යුගයෙහි-වියගසෙහි බැඳ තුබූ ලෙසින් සමවැ පවත්නා හෙයින් ඒ දෙකින් දෙක නොඉක්මැ පවත්නා තත්ත්වයක් උසුළා සිටින්නාහ. ඒ අවස්ථාවෙහි සමාධියද වැඩියෙන් නැගයන්නේද නැත. ප්‍රඥාව අඩුවී හෝ වැඩිවී යන්නේත් නැත. මෙය පළමු කරුණයි.

සමාධියත් ප්‍රඥාවත් යන දෙක යුගනද්ධවැ පවත්නා හෙයින් සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්‍ද්‍රියයෝ පස් දෙන නොයෙක් ආකාර ඇති කෙලෙසුන්ගෙන් ඉවත් වී ඇති හෙයින් ද මිදීම් ක්‍රියාවෙන් එක කෘත්‍යයක් ඇති හෙයින් ද එක කෘත්‍ය ඇතිව පටන් ගනිති. මෙය දෙවන කරුණයි.

සමාධි පඤ්ඤා දෙක ඔවුනොවුන් නොඉක්ම පැවතීමටත් ඉන්‍ද්‍රියයන්ගේ ඒකරසභාවයටත් සුදුසු අන්දමේ විරිය පැවැත්වීම තෙවන කරුණයි.

ඒ අවස්ථාවේ පුර්වොක්ත ආකාර තුනෙන් ආසේවනය පැවැත්වීම සතරවන කරුණයි.

මේ සතර තැන ලැබෙන සංකිලෙස වොදානයන්[29] පිළිබඳ ආදීනවත් ආනිසංසත් දැන නුවණින් පිරිසිදුකළ හෙයින් ඥානයේ කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් සම්පහංසනාව දත යුතුය.

මෙසේ ප්‍රථමධ්‍යානය ලැබගත්තහු විසින් පළමුවෙන් ම සිත යොමු කළ යුත්තේ එය ලබා ගැනීමට තමහට උපකාර වූ කෘත්‍ය සම්භාරය දෙසය. ඒ මෙසේය:- මෙබඳු සප්පාය භෝජන ආසන ආදියක් ඇසුරු කොටගෙන මෙබඳු ඉරියව්වක් පවත්වමින් මෙබඳු කාලයෙක මා විසින් මේ ගුණ විශේෂය ලැබගන්නා ලද්දේය” යනුය. එසේ සිතට ගැනීමෙන් නැවත එය නැතිවූ විටක එය යළිත් ලබා ගැනිමට ඒ ආකාරයන් ඇසුරු කිරීමෙන් පිළිවන් වන්නේය. ප්‍රගුණ නැති සමාධිය නැවත නැවත ප්‍රගුණ කරගැනීමටද ඒ මගින් පිළිවන් වන්නේය.

“එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො පණ්ඩිතො වියත්තො කුසලො භික්‍ෂු කායෙ කායානුපස්සී විහරති ආතාපි -පෙ- විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං තස්ස කායෙ කායානුපස්සිනො විහරතො චිත්තං සමාධියති, උපක්ලෙසා පහීයන්ති, සො තං නිමිත්තං උග්ගණ්හාති, වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු -පෙ- සඛො සො භික්ඛවෙ පණ්ඩිතො වියත්තො කුසලො භික්ඛුලාභී චෙව හොති දිට්ඨධම්මසුඛවිහාරානං ලාභී සතිසම්පජඤ්ඤස්ස, තං කිස්සහෙතු? තථාහි සො භික්ඛවෙ පණ්ඩිතො වියත්තො කුසලො භික්ඛු සකස්ස චිත්තස්ස නිමිත්තං ගණ්හාති” යනු ශාස්තෘෘ උපදේශයයි.[30]

“මහණෙනි, එපරිද්දෙන්ම මේ ශාසනයෙහි පණ්ඩිතවූ, ව්‍යක්තවූ, දක්ෂවූ ඇතැම් මහණෙක් කයෙහි කය අනුව නුවණින් දක්නා සුළුව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතුව, මනා දැනුම් ඇතිව, සිහිඇතිව, කාය ලෝකයෙහි දැඩි ලෝභය හා දොම්නස දුරුකොට වෙසේ. කයෙහි කය අනුව නුවණින් දක්නා සුළුව, නුවණ ඇතිව, වසන ඔහුගේ සිත එකග වේ. කෙලෙස් ප්‍රහීණවේ. හෙතෙම ඒ නිමිත්ත උගනී. වේදනාහි...... සිත්හි....... දහම්හි දහම් අනුව දක්නා සුළුව, නුවණින් දක්නා සුළුව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතුව, මනා දැනුම් ඇතිව, සිහි ඇතිව දහම් ලෙව්හි දැඩි ලෝභය හා දොම්නස දුරුකොට වෙසේ. දහම්හි දහම් අනුව නුවණින් දක්නා සුළුව, නුවණ ඇතිව, වසන ඔහුගේ සිත එකඟ වේ. කෙලෙස් ප්‍රහීණ වේ. හෙතෙම ඒ නිමිත්ත උගනී.” යනු එහි භාවයයි.

ධ්‍යානය ලැබීමට ළඟින් ම උපකාර වූවා වූ නිමිත්ත තේරුම් කරගෙන එහි යෙදීමෙන් ධ්‍යානය ලබාගැනීම පමණක් සිදුකරගත හැකි වෙයි. එසේ ලැබූ ධ්‍යානය කලක් තබා ගැනීමට එය පිහිට නොවෙයි. ලැබගත් ධ්‍යානය බොහෝ කලක් පවත්වා ගැනීමට උපකාර වන්නේ සමාධි පරිපන්‍ථවූ නීවරණයන්ගෙන් සිත පිරිසිදු කොට ගෙන එයට සමවැදීමයි. සමාධි පරිපන්ථ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරගන්නා සැටි මෙසේ යි:

1. ලොකු කුඩා තෘෂ්ණා සංකල්පනාවන්ගෙන් ඉතා හොඳින් සිත් පිරිසිදු කරගත යුතුය. ඒ සංකල්පනාවනට සිත සම්බන්ධ වී තිබුණොත් ඉක්මනින්ම සමාධියෙන් සිත අයින් වෙයි. සමාධි නැති සිතක් බවට පත්වෙයි. එහෙයින් සමවැදීමට ප්‍රථමයෙන් කාමාදීනව මැනවින් සලකා එයින් සිත පිරිසිදු කරගත යුතුය.[31] අශුභ මනසිකාරය ද ඉතා ප්‍රයෝජනවත් වෙයි. සත්ත්ව සංස්කාරයන් කෙරෙහි ඇතිවන ආලයෙන් තොරවිය යුතුය.

2. සත්ත්ව සංස්කාරයන්[32] කෙරෙහි ගැටීමෙන් සිත පිරිසිදු කරගත යුතුය. කාය පස්සද්ධිය පහළවන අයුරින් කායික පීඩාවන්, කායික දරථයන් දුරුකරගත යුතුය. පුරුදුකළ මෙත් කමටහනට සිත් යොමාගෙන සෑහෙන කලක් ගතකිරීම මෙයට බොහෝ උපකාර වෙයි.

3. මොන මොන කරුණු නිසා හෝ ථිනමිද්ධයේ ලකුණු වන ඇඟමැලි ගති ආදිය ඇතහොත් විරිය සම්බොජ්ඣඞ්ගට්ඨානිය කරුණු වන ආරම්භධාතු, නික්කමධාතු, පරක්කමධාතු මෙනෙහි කිරීමෙන් හා ආලෝක සඤ්ඤා මෙනෙහි කිරීමෙන් හා චංකමනාධිෂ්ඨානාදියෙන්[33] ද ථිනමිද්ධය ඉවත්කර ගත යුතුය. එසේ නොකළහොත් පැමිණි ධ්‍යානයෙන් පිරිහෙයි. සමවැදීමද අපහසුය.

4. කවර කරුණෙකින් හෝ සිත්සතන් තුළ පහළවන්නට ඉඩ ඇති උද්ධච්ච කුක්කුච්චය සමථ නිමිත්ත මෙනෙහි කිරීමෙන් හෝ ධර්ම ස්වභාවය සැලැකීමෙන් හෝ ඉවත් කරගත යුතුය. එසේ නැතහොත් ලද සමාධියට පැමිණෙන්නටද නොහැකි වෙයි. පැමිණි ධ්‍යානයෙන් ද ඉක්මනින් පිරිහෙයි.

5. යම්කිසි ආකාරයෙකින් සිත්සතන් තුළ යම්තාක් හෝ බලපාන විචිකිච්ඡාවන් ඇතොත් මේ බාධාව සිදුවෙයි. එයද සද්ධර්ම මනස්කාර, වෘද්ධ සේවනාදියෙන් සංසිඳුවාගත යුතුය. නැතහොත් පිරිහීම සිදුවෙයි.

6. ගිලන්බව නිසාද, කම්මාරාමතා නිසාද, හස්සාරාමාතා නිසාද, අසප්පාය උතුගුණ නිසාද, අසප්පාය පුද්ගල ඇසුර නිසාද මේ පිරිහීම සිදුවන හෙයින් ආරක්ෂාවීමට යෝගාවචරයන් විසින් විශේෂයෙන් සිතට ගත යුතුය.

  1. වි. ම. 100 පිට.

  2. දිය බඳුනෙහි

  3. නහර විදීම

  4. මුහුණ ලා

  5. හසුවන බැවින්

  6. පහර දෙන ලද්දේ

  7. ධ්‍යාන ලාභය සිදු කරන ක්‍රියාමාර්‍ගය

  8. ඈත්වීම නිසා

  9. අතිශයටත් වඩා

  10. ස්වභාවයෙන් පවතින සිත

  11. මුලදී

  12. උදයබ්බයාදි ඥාන පිළිවෙලින් ලැබෙන පිරිසිදු බව

  13. උපෙක්‍ෂාව වැඩීම

  14. උනන්‍දුව ඇතිකරවීම

  15. සුඛ දුක්ඛ දෙකින් ඉවත්වීමෙන් ලැබෙන මැදහත් බව

  16. නැවත නැවත ඇතිකර ගැනීමෙන් විශේෂ ශක්තියක් මතුකර ගැනීම

  17. කළයුතු වැඩය ඉටුවීම

  18. පිරිසිදු කිරීමෙහි

  19. යෙදී නොසිටිමින්

  20. එකඟ කිරීමෙහි

  21. ඒකත්‍වයෙන් වැටහීමෙහි

  22. නොඉක්මවා යන බව

  23. යෙදිමේ අර්ථයෙන්, යෙදීමේ අදහසින්

  24. මූලික වැඩ පිළිබඳ අවස්ථාව

  25. අනුකූලවීම

  26. පමණ ඉක්මවාගිය (සීමාන්තික) සතුට

  27. ක්‍රමයෙන් වැඩුණු ධ්‍යාන චිත්තය

  28. වි.ම.

  29. කිලිටිවීම හා පිරිසිදුවීම්

  30. සං.නි. මහා වග්ග ix 276 බු.ජ.

  31. ම. නි. 2x38

  32. සත්ත්‍වයන් හා සංස්කාරයන්

  33. සක්මන් කිරීමට අධිෂ්ඨාන කිරීම් ආදියෙන්